UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චුල්ලපන්ථක චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටු පවුලක් විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක් පමණක් ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක් වූයේ නැත. ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම් මෙහෙකරුවෙකි. නොබෝ කලකින් ඇය ඔහු හා පැන ගියා ය.මවුපියන් ඇය සිටු පවුලෙන් ඉවත් කළේ මියගියා යැයි සලකමිනි.

තම කුළුදුල් දරුවා ලබන්නට සූදානම් වූ ඇයට තම මව් සෙනෙහස ලැබීම අවැසි විය. ඇය සැමියා සමග තම මව වෙත යන්නේ, අතරමගදී දරුවා බිහිවිය. ඔවුහු මහ මග උපන් දරුවාට “පන්ථක” යැයි නම් තැබූහ. කාලය ගලා ගියේ ය. දැන් ඇය තම දෙවෙනි දරු උපතට ද සූදානම් ය. ඇය තම සැමියා සමග මව වෙත යන්නේ අතර මගදී දෙවන දරුවා ද බිහිවිය. ඔවුන් තම පුංචි සුරතලාටද නම තැබුවේ “ පන්ථක” කියා ය. දැන් වැඩිමලා මහා පන්ථකය. පුංචි පුතා චුල්ල පන්ථක ය. නොබෝ කලකින් මේ සුරතල් දරුවන් දෙදෙනාට තම මුතුන්මිත්තන් දැකීමට සිත් විය. අසල්වැසි ගම්දරුවන් සමඟ සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා, මුත්තා, අත්තම්මා කියනු අසා ”අපට නෑයෝ නැද්දැ” යි මවගෙන් ඇසී ය.

”රජගහනුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝ ය. එහි බොහෝ නෑයෝ වෙති” යි මව කීවා ය. එහි නො යාමට හේතු පහදා දුන් නමුත්, දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් රජගහ නුවරට යාමට තීරණය කළහ. එසේ ගිය පසු නුවර දොරටුවෙහි නවාතැන් ගත් ඔවුහු තමන් ආ බව දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා “මුන් දෙදෙනා අපගේ වංශයට හානි කළහ. අපේ ඇසට පෙනෙමින් ළඟ නො සිටිය යුතුය” කියා කැමති තැනෙක ගොස් ජීවත් වීමට වස්තු සම්පත් දෙවා සිටු යුවල චුල්ල පන්ථක හා මහා පන්ථක තම සිටුමැදුරේ නවතා ගැනීමට කැමති වූහ.

දැන් ඔවුන් දෙදෙනා ජීවත්වන්නේ තම ආච්චි හා සීයා භාරයේ ය. මහාපන්ථක සීයාගෙන් අවසර ගෙන පැවිදි විය. උන්වහන්සේ නොබෝ කලකින් විදසුන් වඩා රහත් වූහ. ටික දවසක් යනවිට චුල්ලපන්ථකටත් ගිහි ජීවිතය එපා විය. ඔහුත් මහා පන්ථක හාමුදුරුවන්ගේ පන්සලට ගොස් මහණ විය . මහණ වූ දවසේ සිටම කාල සටහනක් අනුව වැඩ කරන්නත්, ගාථා කට පාඩම් කරන්නත් පන්ථක පොඩි හාමුදුරුවන්ට සිදු විය. මහා පන්ථක හාමුදුරුවෝ ගාථාවක් කට පාඩම් කරන්න යැයි චුල්ලපන්ථක හාමුදුරුවන්ට උගැන්වූහ. ගාථාවේ පදයෙන් පදය අර්ථය සමග වටහා දුන්හ. එහෙත් පොඩි පන්ථක හාමුදුරුවන්ට කට පාඩම් කරන එක සිතට වද දෙන වැඩක් විය.

දස දහස් වාරයක් පාඩම් කළද එක පදයක් හෝ මතක තබා ගැනීමට නොහැකි විය.මාස හතරක් තිස්සේ උත්සාහ කළත් එක අකුරක් හෝ මතක තබා ගත නොහැකි විය. මහා පන්ථක හිමියෝ පොඩි පන්ථක හිමි කැඳවූහ. “පන්ථක ඔබට මහණකම් හරියන්නේ නැහැ. එක බණ පදයක් මතක තියා ගන්න බැරිව මොන මහණකම ද? ඒ නිසා ඔබ ගෙදර යන්නයි පැවසූහ.”

මේ අතර ජීවක වෙද මහතා පන්සලට පැමිණ, බුදුරදුන් ප්‍රධාන මහ සඟනට පසුවදා දවල් දනට ආරාධනා කළේය.

මහා පන්ථක හිමියෝ චුල්ල පන්ථක හිමියන් හැර ආරාධනාව පිළිගත්හ. ඒ බව දැනගත් චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ කනගාටුව, ශෝකය, කලකිරීම තව තවත් වැඩිවිය. මේ පන්සලේ නොරැඳෙමි සිතූ චුල්ල පන්ථක හිමියෝ පසු දා උදෙන් ම පන්සලෙන් පිටත් වූහ. මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලන බුදු පියාණෝ කලකිරී ගෙදර යන චුල්ල පන්ථක පොඩි හිමියන් දුටු සේක. පා සිවුරු ගත් බුදු පියාණෝ පන්ථක හිමි යන මගට සෘද්ධියෙන් වැඩිසේක. “පන්ථක කොහෙද මේ යන්නෙ?” බුදුපියාණෝ විමසූහ. “අයියා කිව්වා මට මහණකම් කරන්න බැරි බව. ඒ නිසා මම ගෙදර යනවා බුදුහාමුදුරුවනේ” මහා කරුණාවෙන් ළතෙත් සිතැති මහා ශාන්ති නායකයාණෝ චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ගේ හිස පිරිමදිමින් මෙසේ වදාළහ.

“පන්ථක, ගාථා පාඩම් කර ගන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. නුඹට එක දෙයක් කරන්න පුළුවන්ද?” “ඒ මොකක්ද, බුදුහාමුදුරුවනේ?,,” “පන්ථක ඔබට සිත හදා ගන්න පුළුවන් ද?” “පුළුවන් බුදුහාමුදුරුවනේ” ඉන්පසු බුදුහාමුදුරුවෝ සුදුරෙදි කැබැල්ලක් දී එය කිළිටි හරිමි, කිළිටි හරිමි යි කියමින් අත්ලේ පිරිමදින්නැයි පන්ථක හිමියන්ට කීහ.

පන්ථක පොඩි හාමුදුරුවෝ බුදුපියාණන් වදාළ පරිදි කමටහන ක්‍රියාත්මක කළහ. ක්‍රමයෙන් අත්ලේ පිරිමැදි රෙදි කැබැල්ල කිළිටි වන්නට විය. ඒ කෙරේ සිහිය ඇති කරගත් පන්ථක හිමියෝ, පෙර වැඩූ කුසල් ඇත්තේ සිතේ කිළිටි ස්වභාවයත්, සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මැනවින් තේරුම් ගෙන සියලු කෙලෙසුන් නසා රහත් බව ලබා සියලු දුකින් මිදුණහ.

චුල්ලපන්ථක තෙරණුවෝ පෙර භවයෙක රජෙක් ව ඉපිද නුවර පැදකුණු කරන වේලෙහි නළලින් ගැලූ දහ¼ඩිය පිරිසුදු සළුවෙන් පිසදැමී ය. සළුව කිළිටි විය. අපවිත්‍ර ශරීරය නිසා පවිත්‍ර සළුව කිළිටි විය. ඒ හේතුවෙන් උපන් සියල්ල මෙසේ අනිත්‍යතාවයෙන් යුක්තය කියා ඇති වූ අනිත්‍ය සංඥාවම මෙකල රජෝහරණය ම උන්වහන්සේට රහත්වීම සඳහා හේතු වූයේ ය.

ජීවක භාග්‍යවතුන් වහන්සේට පැන් පිළිගැන්වී ය. උන්වහන්සේ ආරාමයේ තව භික්ෂූහු සිටිති” යි යි අතින් පාත්‍රය වැසූ සේක. මහාපන්ථක තෙර ”ස්වාමීනි, විහාරයෙහි භික්ෂූහු නැතැ” යි කීය. භාග්‍යවතුන් වහන්සේ ඇති නැති බව දැන එව’ යි මිනිසකු යැවූහ. චුල්ලපන්ථක තෙරණුවෝ ”මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමි” සිතා සිවුරු මහන, සිවුරු හෝදන, සිවුරු පඬු පොවන, පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹ වනය පුරා මැවූහ. ඒ පුරුෂයා දිවගොස් අපමණ භික්ෂූහු සිටිතැයි සැළකළේ ය.

”චුල්ලපන්ථක කැඳවා ගෙන එව” බුදුන් වදාළ කල්හි එහි ගිය පුරුෂයා චුල්ලපන්ථකයන් කැඳවතියී කීය. සියල්ලෝම ”මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි” නැගී සිටියහ. ඔහු ගොස් ඒ බව සැළ කළේය. ”එසේ නම් පළමු කීවහු අතින් අල්වා ගන්න. එවිට සෙස්සන් අතුරුදහන් වෙති” වදාළහ. එපරිද්දෙන් චුල්ලපන්ථක තෙරුන් කැඳවාගෙන ආපසු දන් වළඳා අනුමෙවෙනි බණ දෙසීම පන්ථක තෙරුන්ට පවරා විහාරයට වැඩි සේක. සවස් වේලෙහි දම් සභාවට රැස් වූ භික්ෂූන් වහන්සේ මේ පුවත මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කථා කියමින් හුන්හ. එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ ”චුල්ලපන්ථක දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණියේ ය. පෙර මා නිසා භෝග මහත්වයට පැමිණියේ ය” යි වදාළ සේක.

චුල්ල පන්ථක මහ රහතන් වහන්සේගේ අතීත කථාව පැහැදිළි කළහ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේ දී පැවිදි ජීවිතයක් ගත කළ චුල්ල පන්ථක හිමියෝ එකල වියත් තෙරණු කෙනෙක් වූහ. ඉගෙනීමෙහි දක්ෂ වූහ. එහෙත් උන්වහන්සේ වැඩසිටි පන්සලේ නුවණ මඳ, ඉගනීමෙහි අදක්ෂ, පාඩම් නො සිටින ස්වාමීන් වහන්සේ නමක් වූහ. එකල පණ්ඩිතමානි වැනි වූ චුල්ල පන්ථක හිමියෝ නුවණ මඳ හිමියන්ට නොයෙක් අපහාස උපහාස කරමින් සිනාසුනහ. එහි ප්‍රථිඵලයක් වශයෙන් රහත්වීමට පින තිබූ උන්වහන්සේට මෙකල සිව් මසක් ගත වුවත් එක ගාථා පදයක්වත් පාඩම් කරගත නොහැකි විය.

චුල්ල පන්ථක හිමියන්ගේ කතාව පණ්ඩිතමානි නුවණ මඳ, නිසි උගත්කමක් නොමැති පුද්ගලයන්ට ගරහන, ඔවුන් හිනාවට උපහාසයට, අපහාසයට ලක් කරන අයට කදිම පාඩමකි.

 

වප් මස අමාවක පෝය


වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි.
20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.


මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]