UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 25: ශ්‍රී කාලකණ්ණි ජාතකය: වාසනාව කැඳවාගන්නේ තමා විසින්මය

ශ්‍රී කාලකණ්ණි ජාතකය:

වාසනාව කැඳවාගන්නේ තමා විසින්මය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අනේපිඬු සිටුවරයා අරභයා මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. අනේපිඬු සිටුවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සේවක සේවිකාවන් ද නිති පන්සිල් හා පොහොය අටසිල් රකිමින් දැහැමි පිවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් භික්ෂූන්වහන්සේලා අතර සාකච්ඡාවක් ඇතිවිය. එම අවස්ථාවෙහි දම්සභා මණ්ඩපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අනේ පිඬු සිටුවරයා පමණක් නොව පෙරත් උත්තම පුරුෂයන් විසින් සදාචාර සම්පන්න දිවිපෙවෙතක් ගතකරමින් පරිවාර සම්පත් ලැබුවේ යැයි දේශනා කළහ.

මෙහි දී භික්ෂූන් වහන්සේලා විසින් ආරාධිත තථාගතයන් වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ එක්තරා සිටු කුලයක උපන්නහ. සිටුවරයා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයනුත් සේවක පිරිසත් නිති පන්සිල් රකිමින් දැහැමි දිවියක් ගත කරන හෙයින් සුචිපරිවාර සිටාණෝ යැයි හඳුන්වනු ලැබූහ. ඔහුගේ සිටු මැඳුරෙහි තමන්ට වඩා උසස් ගුණයන්ගෙන් යුත් කෙනෙකු පැමිණියහොත් නිදා ගැනීම පිණිස විශේෂ සයනයක් පිළියෙලකර තිබුණේය.

එසමයෙහි ධෘතරාෂ්ට්‍ර නම් දිව්‍ය රජුගේ දියණිය වූ ශ්‍රී කාන්තාවද, විරුල්හක නම් දිව්‍ය රජුගේ කාලකණ්ණි නම් දියණියද යන කාන්තාවන් දෙදෙනා ස්නානය සඳහා අනෝතත්ත විලට ගියහ. කාන්තාවෝ දෙදෙන අනෝතත්ත විලෙහි දිව්‍ය ස්ත්‍රීන් ස්නානය කරන තොටුපොළට පැමිණ ඔවුනොවුන් සතු බලවත්කම් ගෙනහැර පාමින් පළමුව දියට බසින්නේ තමන් යැයි එකිනෙකා අතර රණ්ඩුවක් ඇතිකරගත්තෝය. ඔවුනොවුන්ගේ රණ්ඩුව සමතයකට පත්කර ගැනීමට අපොහොසත් ව තම පියවරුන් වෙත ගොස් එපවත් කීහ.

පියවරුන් දෙදෙනා ද අපගේ දරුවන්ගේ ගුණ නුගුණ නොකියමුයි එකඟතාවකට පැමිණියහ. අනතුරුව කාන්තාවන් දෙදෙනා විරූපාක්ෂ හා වෛශ්‍රවන දෙවිවරුන් කරා ගොස් කරුණු විමසූහ. තමන් හා සමාන දෙවිවරුන් අයත් දරුවන්ගේ ගුණනුගුණ නොකියමුයි එකඟතාවකට පැමිණ එයට මැදිහත් නොවී ශක්‍ර දිව්‍යරාජයා වෙත ගොස් විමසා බලන මෙන් දැන්වී ය. අනතුරුව කාන්තාවෝ දෙදෙන ශක්‍රයා වෙත ගොස් ඔවුනොවුන් අතර පවතින අරගලය පිළිබඳ දැනුවත් කළහ.

සියල්ල අසා සිටි සක්දෙව් රජු ඒ සම්බන්ධයෙන් කිසිදු විනිශ්චයක් නොදී සුචිපරිවාර සිටානන්ගේ මැඳුරෙහි කිසිවිවෙකුත් පරිහරණය නොකළ අසුනක් තිබෙන බවත් එම අසුන පළමුකොට ගත් තැනැත්තා වඩාත් උතුම්වන බවත් පැවසී ය. සක්දෙව් රජුගෙන් සමුගත් කාන්තාවෝ දෙදෙන සුචිපරිවාර සිටු මැදුර බලා පිටත්ව ගියහ. පළමුකොට විරූල්හක දිව්‍ය රජ්ජුරුවන්ගේ දියණිය වූ කාලකණ්ණි නමැත්තිය සිටුවරයා වෙත ගොස් නොඉඳුල් සයනය එක් රැයක් සඳහා ලබාදෙන්නැයි ඉල්ලා සිටියා ය.

තමා සතු ගුණ කවරේදයි ප්‍රකාශ කරන්නැයි සිටුවරයා කාලකණ්ණියට දැන්වී ය. අනතුරුව ඇය කවරෙක්දැයි හඳුන්වා දෙමින් “ යමෙක් කෙලෙහි ගුණ නොසළකයිද, මිත්‍රද්‍රෝහීව කටයුතු කරයිද, ලාමක වූ හැසිරීම් ඇත්තේ වේ ද, කිසිවෙකුත් කෙරෙහි දයාවක් නැත්තේ ද, කේලාම් බස් කියන්නේ වේ ද, මෝහයෙන් යුක්තව කටයුතු කරත්ද, මසුරු සිතින් වෙසේ ද, එවැනි දුර්ගගුණවලින් සමන්විත පුද්ගලයා සමග මාගේ ඇසුරු පවතී ” යනුවෙන් ප්‍රකාශ කළා ය. සියල්ල සාවධානව අසා සිටි සිටුවරයා එසේ නම් ඔබ වැනි තැනැත්තියක මෙහි තබා මේ නගරයේ වුව වාසයට සුදුසු නොවේයැයි පවසා වහාම ඉවත්ව යන ලෙස කාලකණ්ණියට දන්වා සිටියේ ය. තමා ඇලුම් කරන මිනිසුන් සතු ලක්ෂණ සුචිපරිවාර සිටුවරයා ළඟ නොමැති හෙයින් තමාට ඔහු රුචි නොවන්නේයැයි දන්වා කාලකණ්ණිය වහාම එතැනින් අතුරු දහන් වූවා ය.

එකිනෙහි ම ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රජ්ජුරුවන්ගේ දියණිය වූ ශ්‍රී කාන්තාව රන්වන් වස්ත්‍රයක් හැඳ අලංකාර ලෙස සැරසී සුචිපරිවාර සිටුවරයා ඉදිරියේ පෙනී සිටියා ය. අලංකාර ලෙස සැරසුණු ශ්‍රී කාන්තාව දුටු සිටුවරයා ඔබ කවරෙක්දැයි විමසී ය. තමා ධෘතරාෂ්ට්‍ර දිව්‍ය රජුගේ දියණිය වූ ශ්‍රී කාන්තාව බවත් තමා හැඳින්වීම සඳහා ලක්ෂමී හා භූරිපඤ්ඤ යනුවෙන් තවත් අපරනාම දෙකක් තිබෙන බවත් දන්වා සිටි අතර එක් රැයක් ගතකිරීම පිණිස නොඉඳුල් සයනය ලබාදිය හැකිදැයි විමසා සිටියා ය.

නොඉඳුල් අසුන දීමට නම් තමා ළඟ තිබෙන ආචාර ශීලයේ ස්වභාවය පැහැදිලි කරන්නැයි සිටුවරයා ශ්‍රී කාන්තාවට දන්වා සිටියේ ය. එයට පිළිවදන් දුන් ශ්‍රී කාන්තාව “සිටුතුමනි යම් පුද්ගලයෙක් ශීතල උණුසුම සුළං හා මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩා මෙන් ම කුසගින්න හා පිපාසය විඳදරා ගනිමින් දිවා රෑ දෙකෙහි වෙහෙස මහන්සිව වැඩෙහි නිරත වේද, නිසි කලට කළයුතු ගොවිතැන් වෙළෙහෙලදාම් ආදියෙහි මැනවින් නිරතවේද, එවැනි පුද්ගලයෝ මට රුචි වෙයි. එසේම යමෙක් ක්‍රෝධ නොකරයි ද, මිත්‍රශීලි වේ ද, පරිත්‍යාගශීලි වෙත්ද, කායවාග් සුචරිතයෙන් යුක්ත වේ ද, සතර සංග්‍රහවස්තුවෙන් අන් අයට සංග්‍රහ කෙරෙත් ද, එවැනි පුරුෂයා මට රුචිවෙයි. එසේම සිටුතුමනි ලොවෙහි යම් කෙනෙක් තම දුර්ගුණ නිසා තමා විසින් ම තමා වෙත කාලකණ්ණිය පවරා ගන්නේ ය.

යම් කෙනෙක් තම යහපත් ගුණ හේතුවෙන් තමා විසින් ම තමා වෙත ලක්ෂ්මිය පමුණුවා ගන්නේ ය. සිටුතුමනි, ඒ අනුව වාසනාව හා අවාසනාව තමා වෙත කැඳවා ගන්නේ තමා විසින්ම ය. කිසිවෙකුත් කිසිවෙකු කෙරෙහි වාසනාව හෝ අවාසනාව නොපමුණුවන්නේ ය.” යනුවෙන් තමා පිළිබඳ දීර්ඝ ලෙස කරුණු ගෙනහැර දැක්වූවා ය. සියල්ල අසා සිටි සිටුවරයා ශ්‍රී කාන්තාව කෙරෙහි පැහැදී තම නොඉඳුල් අසුන ඇයට පරිත්‍යාග කළේය. ඇය එහි එක් රැයක් සැතපී සිට පසුදින පළමුව අනෝතත්ත විලට බැස ස්නානාය කළා ය.

එතැන් පටන් ලෝකයේ ශ්‍රී කාන්තාව පිළිබඳ ව්‍යවහාරය ප්‍රකට විය. සියල්ල සමෝදානය කරමින් බුදුරජාණන් වහන්සේ කාලකණ්ණි ජාතකය නිමවා වදාළ සේක. මෙම ජාතක කථාවෙන් සෞභාග්‍ය හා දුර්භාග්‍ය පිළිබඳ පොදුජන විශ්වාසය ප්‍රකට වෙයි.

මේ දෙක අතර නිරන්තරයෙන් ම ගැටුමක් පවතින බව ජාතක කථාවේ එන කාලකණ්ණිය හා ශ්‍රී කාන්තාව යන චරිත දෙකින් සංකේතවත් වේ. සෞභාග්‍ය හා දුර්භාග්‍ය යන දෙක පුද්ගලයා වෙත ළඟා වෙන්නේ එම තැනැත්තාගේ උත්සාහය හා සදාචාරාත්මක පැවැත්ම අනුව ය. කෙනෙකුගේ වාසනාව හෝ අවාසනාව වෙනත් අයෙකු විසින් කැඳවාගෙන එනු ලබන්නක් නොවේ එය තමා විසින්ම රැගෙන එන්නක්ය යන්න මෙම කථාවෙන් ප්‍රකටවන තවත් සත්‍යයකි. බොහෝ දෙනෙකු වාසනාව හෝ අවාසනාව තීරණය කරන්නේ බාහිර වස්තූන් හා දේවල් මත ය.

ඇතැම් අය සෞභාග්‍ය ගසක හෝ ගලක නැතහොත් කිසියම් සංකේතයක පවතින්නකැයි විශ්වාස කොට ඒවා තමා අසලින් තබා ගැනීමට උත්සුක වෙති. එබඳු වස්තු හා සංකේත වෙනුවෙන් විශාල මුදලක් වැය කරන අවස්ථා ද තිබේ. එහෙත් වාසනාව පවතින්නේ තම උත්සාහය හා සදාචාරමත් පිළිවෙත තුළය. එසේම අලසකම හා දුරාචාරය සමග අවාසනාව අත්වැල් බැඳ ගනී. යම් තැනක උත්සාහය හා සදාචාරය පවතින්නේ ද, එතැන නිරන්තරයෙන් ම ශ්‍රී කාන්තාව හෙවත් ලක්ෂ්මියගේ වාසස්ථානය වේ.

අලසකම, කම්මැලිකම මෙන් ම දුරාචාරය යම් තැනක පවතී ද එය කාලකණ්ණියගේ වාස භූමිය බවට පත් වේ. සෞභාග්‍ය හා දුර්භාග්‍ය පුද්ගලත්වානුරූපයෙන් සංකේතවත්කොට ඇත්තේ පොදු ජනයාට පහසුවෙන් වටහා ගැනීම සඳහා ය. සෞභාග්‍ය හෝ දුර්භාග්‍ය ලබාදෙන අධිමානුෂික බලයක් සහිත පුද්ගලයෙක් හෝ සංකේතයක් පවතීය යන විශ්වාසය බුදුසමයෙන් බැහැරකොට ඇත. එය පුද්ගල උත්සාහයේ හා සදාචාරාත්මක පැවැත්මේ ප්‍රතිඵලයක් යන්න බුදුසමයේ පිළිගැනීමයි.

ඒ අනුව දියුණුවේ මෙන් ම පරිහානියේත් නිමැවුම් කරුවා වන්නේ පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය මිස බාහිර පුද්ගලයෙක්, සංකේතයක් හෝ ද්‍රව්‍යයක් නොවේ. උත්සාහවන්ත ධෛර්ය සම්පන්න ගුණවත් මිනිසා සමඟ ලක්ෂ්මිය හෙවත් සෞභාග්‍ය එක්ව වාසය කරයි.


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 24:  ලටුකික ජාතකය - සැමට මෙත් සිත

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk