UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසූ පමණින්නො රැවටෙන්න

ඇසූ පමණින්නො රැවටෙන්න

බොහොම ඉස්සර රස කැවිලිවලට ප්‍රිය රජ කෙනෙක් සිටියා. රට වැසියන් හැකි සෑම වෙලාවක ම රජතුමාට කැවිලි ගෙනැවිත් දුන්නා. ඒ අතර දවසක් ඉතා ම ප්‍රණීත රසයෙන් යුතු කැවුමක් ආහාරයට ලැබුණා. ‘මේ තරම් රසවත් කැවිල්ලක් මේ තරම් කාලයකට මට ලැබී නෑ.’ මේ කැවුම් සාදන පිළිවෙළ දැන ගන්නට රජතුමාට ආශාවක් ඇතිවුණා. ඒ ගැන සොයන්නට ඇමතිවරුන්ට නියම කළා.

ඔවුන් මෙලෙස පැවසුවා.

‘රජතුමනි, මේ කැවුම් සාදන තැන හරිම පිරිසුදුයි. උඩු වියන් බැඳි මුළුතැන්ගෙය ද සුදු රෙද්දෙන් ආවරණය කරලයි තිබෙන්නේ. කැවුම් පිසින තැනැත්තා ද මුඛවාඩම් බැඳගෙන බොහොම පිරිසුදුවටයි මුළුතැන්ගෙයි වැඩ කරන්නේ’

ඇමැතිවරු එහෙම පැවසුවත් රජතුමාට ඒ ගැන කුකුසක් ඇතිවුණා. කැවුම් පිසින සැටි බලන්නට වෙස්වලාගෙන අදාළ නිවෙසට ගියා. රස කැවිලි සාදන පුද්ගලයා මුණගැසුණා. ඔහු අන්ධයි. රජු ඔහු සමඟ හිතවත් වුණා. වැඩපළවලට උදවු කළා. ඒ අතර ඔහු පිසින රස කැවිල්ලකුත් අනුභව කළා. “ඔබගේ කැවුම් හරිම ප්‍රණීතයි. මේ තරම් රසවත් ලෙස ඒවා සාදන්නේ කෙලෙස ද?

අන්ධ පුද්ගලයා සිනාසෙමින් මෙලෙස පැවසුවා.

‘මම අනිත් අය සාදන පිළිවෙළටමයි කැවිලි පිසින්නේ. ඒත් ඉතාම ආශාවෙන්, ඕනෑකමින් යුතුවයි ආහාර පිසින්නේ. අපේ රටේ ගුණවන්ත රජතුමාටත් හැමදාම මේ කැවුම් පිළිගන්වනවා. එතුමා ධාර්මිකව රට පාලනය කරන රජ කෙනෙක්. හරියට අම්මා කෙනෙක් දරුවන්ට කෑම පිසිනවා වගේ ආශාවෙන්, කරුණාවෙන් මෛත්‍රී සිතින් මම එතුමාට කැවුම් පිස දෙනවා.

මේ කතාව සරලව වූව ද ඉන් අපට අපූර්ව ආදර්ශයක් ලබා දෙනවා.

බුදු දහමේ විමුක්ති මාර්ගය පෙන්නුම් කරන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා යනුවෙන්. සුතමය පඤ්ඤා නම් අප අසන දේ යි. එනම් ඇසූ දෙයින් දැනුම ලබා ගැනීමයි. එදා සම්බුද්ධ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් ධර්මය අවබෝධ කර ගත්තේ ඇසීමෙන්. සුභද්‍ර පිරිවැජියාගේ කතාව ඇසීම පිළිබඳ වැදගත් අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් වූ අවස්ථාවේ සුභද්‍ර උන්වහන්සේ හමුවීමට ගියා. ඒත් ආනන්ද හිමියන් අවස්ථා තුනකදී ම ඒ ඉල්ලී ම ප්‍රතික්ෂේප කළා. බුදු හිමියන්ට මේ සංවාදය ඇසී සුභද්‍රට තමන් වහන්සේ වෙත එන්නට අවසර දෙන ලෙස පැවසුවා.

‘අනේ බුදු හාමුදුරුවනේ. මට ගැටලුවක් තිබෙනවා. ෂට් ශාස්තෘන්ගේ ධර්මය පිළිබඳ ඔබ වහන්සේ කුමක් ද කියන්නේ? ‘සුභද්‍ර, ඒ ගැන කතා කරන්නට මේ වෙලාව නොවෙයි. එය දීර්ඝව කතා කළ යුතු දෙයක්. යම් ධර්මයක ආර්ය අෂ්ටාංගික මාර්ගය තිබෙනවා නම් එතැන සෝවාන්, සකදාගාමී, අනාගාමී මාර්ගඵල තිබෙනවා. එම ධර්ම මාර්ගය නොවේ නම් ඔය කියන මාර්ග ඵල නෑ. ඔබ ඒ ගැන හොඳින් සිතන්න. සිතා තේරුම් ගන්න.’

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ ධර්මයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති බව සුභද්‍ර පිරිවැජියා තේරුම් ගත්තා. බුදු දහම ගැන පැහැදී බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. කෙලෙසුන් නසා රහත් වුණා. අසන දේ හොඳින් සිතා බැලිය යුතු බව සුභද්‍ර හාමුදුරුවන්ගේ කතා පුවතෙන් පැහැදිලි වෙනවා. ඇසූ දේ ඒ ලෙස ම පිළිගැනීමෙන් ද වරදින්නට පුළුවන්. විමර්ශනාත්මකව සිතන්න ඕනෑ. පෙර සඳහන් කළ කතා පුවතේ දී ත් රජු ඇමැතිවරු කී දේ ගැන හොඳින් විමසූ නිසයි ඇත්ත අවබෝධ කරගත්තේ.

ගිහි ජීවිතයේ දී දරුවන් ගැන, අඹුසැමියන් ගැන නොයෙක් දෙනා වැරැදි කතා කියන්නට පුළුවන්. කල්පනාවෙන් ඒ ගැන විමසන්නට ඕනෑ. හදිසි තීරණ ගැනීම සුදුසු නෑ.

‘නා චින්තයන්තො පුරිසෝ - විශේෂ මධිගච්ඡති’

නොසිතා කටයුතු කිරීමෙන් ලෝකයේ කිසිදු තැනෙක විශේෂත්වයක් ලද නොහැකි බව ධර්මයෙහි සඳහන් වෙනවා.

යමක් කරන්නට පෙර මේ කාර්යය තමන්ට අහිතකර, ප්‍රශ්නයක්, වරදක්, අකුසලයක් සිදුවන දෙයක් ද (අත්තානුවාද භය) එසේ නම් නොකළ යුතුයි. තමන් කරන දෙයින් අනුන්ට ප්‍රශ්නයක්, වරදක්, අකුසලයක් සිදු වන්නේ ද (පරූපවාද භය) එය නොකළ යුතුයි.

තමන් කරන දේ නීතියට පටහැනි ද (දණ්ඩ භය) එයින් ඉවත් විය යුතුයි. තමන් කරන දෙය නිසා මරණින් මතු අපායට යන්නට සිදුවේ ද, අනන්තදුක් විඳින්නට මඟ පෑදේ ද එසේ නම් එයින් ද ඉවත් වන්න. එලෙස කටයුතු කිරීම සැනසීමට හේතු වෙනවා.

භාවනාමය පඤ්ඤා නම් ඉතා නිවැරැදි ව තෝරාගත් දේ ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන් බුදු දහම අනුව අප සිතේ කෙලෙස් අවස්ථා තුනක් දක්වා ඇත. අනුසය අවස්ථාව, පරියුට්ඨාන අවස්ථාව, වීතික්කමන අවස්ථාව යනුවෙනි.

අනුසය අවස්ථාව නම් සාමාන්‍ය ජීවිතයේ සිතේ තිබෙන කෙලෙස් නිද්‍රෝපගත ව තිබෙන වෙලාවයි. රාගය, ක්‍රෝධය වැනි කෙලෙස් තිබෙනවා. ඒත් ක්‍රියාත්මක නෑ.

එම කෙලෙස් මතුවන අවස්ථාව පිරියුට්ඨාන අවස්ථාවයි. උදාහරණ ලෙස ලස්සන රූපයක් දුටු විට එය අයිති කර ගන්නට තණ්හාවක් ඇතිවෙනවා.

කෙලෙස් ක්‍රියාත්මක වන අවස්ථාව වීතික්කමන අවස්ථාවයි. උදාහරණ ලෙස ලස්සන රූපය අයිතිකර ගන්නට බැරි වූ විට තරහ උපදවා එය ක්‍රියාත්මක කරන්නට යනවා. රණ්ඩු දබර ඇති කරගන්නවා.

මේ අවස්ථා ජීවිතයෙන් දුරස් කරන්නට අප ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුයි.

වීතික්කමන අවස්ථාව හෙවත් සීලය බිඳෙන අවස්ථාව නැති කර ගන්නට සිල්වත් වෙන්නට ඕනෑ. පන්සිල්, අටසිල් ආදී සීලයන් අනුගමනය කරන්නට ඕනෑ. පරියුට්ඨාන අවස්ථාව හෙවත් හැඟීම් මතුවන වෙලාව එනම් රාගය, තණ්හාව ආදී කෙලෙස් සමාධියෙන් නැති කර ගන්නට ඕනෑ. සම්බුදු දහම මේ සඳහා කර්මස්ථාන හතළිහක් හඳුන්වා දී තිබෙනවා. තමන්ට ගැලපෙන කර්මස්ථානයක් තෝරා ගත යුතුයි. උදාහරණ ලෙස බුදු හාමුදුරුවන්ගේ ගුණ අනන්තයි. ඒ අනන්ත ගුණ ඇති බුදු හිමියන්ට මම මොන තරම් ගරු කරනවා ද? ඒ නිසා මම මේ වගේ වැරැදි කරන්ට හොඳ නෑ. යනුවෙන් කෙලෙස් මතු වන්නට ඉඩ නොදීමයි.

අනුසය අවස්ථාවේ එනම් නිද්‍රෝපගත හැඟීම් විදර්ශනා භාවනාවෙන් සම්පූර්ණයෙන් නැති කර ගත යුතුයි. එනම් මූලච්ඡේදනය කළ යුතුයි. විදර්ශනාව නම් යථා ස්වභාවය තේරුම් ගැනීමයි. එවිට අල්ලාගැනීම නැතිවෙනවා. උපාදානය නැති වෙනවා. සියල්ල අත් හරින්නට පුරුදු වෙනවා.

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk