UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මා සමාධිය ලැබීමට අනුගමනය කිරීමේ ප්‍රතිපදාව

සම්මා සමාධිය ලැබීමට අනුගමනය කිරීමේ ප්‍රතිපදාව

අප තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් මාර්ග සමාධිය පිළිබඳව හෙවත් උතුම් සම්‍යක් සමාධිය පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ අනුපද වර්ගයට අයත් මහා චත්තාරීසක සූත්‍රය ඇසුරෙන් දහම් පෙළක් දේශනා කරන ලදී.

එක් සමයක අප භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයේ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයේ වැඩ වාසය කළ සේක. එහි දී උන් වහන්සේ විසින් මේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව දේශනා කළ සේක.

මහණෙනි, නුඹලාට නිර්දෝෂ වූ මාර්ග සමාධිය හේතුප්‍රත්‍යය ඇතිව මනා කොට දේශනා කරන්නෙමි. එය ශ්‍රවණය කරන්න. මනා කොට මෙනෙහි කරන්න; යනුවෙනි.

මහණෙනි, ප්‍රත්‍ය සහිත හා පරිවාර සහිත වූ ආර්ය සම්‍යයක් සමාධිය කවරේද? එය මෙසේයි.

සම්මා දිට්ඨි
සම්මා සංකප්ප
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි
යන මේ අංග අටෙහි ම යම් ඒකාග්‍ර බවක් පරිවාර බවක් වේද? මහණෙනි, මෙය ම ආර්ය සම්‍යක් සමාධිය, සප්‍රත්‍යය යැයි ද, සපරිවාර යැයි ද කියනු ලැබේ.

මෙහි දී අප විසින් විස්තර කළ යුතු දහම් කොටසක් තිබේ. එනම් මෙතෙක් දහම්පෙළෙහි අප විසින් නිරන්තරයෙන් මාර්ගාංග ලෙස සාකච්ඡා කරනු ලබන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා සමාධිය වෙන් ව සාකච්ඡා කරනු ලබන අතර, එයට ප්‍රත්‍යවන ආකාරයෙන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප වශයෙන් අනෙකුත් මාර්ගාංග දක්වයි.

භාග්‍යවතුන් වහන්සේ මෙයට හේතු වශයෙන් පෙන්වා දෙන දහම් කොටස විමසා බලමු. මහණෙනි, මෙහිලා විපස්සනා සම්මා දිට්ඨි, මග්ග සම්මා දිට්ඨි යන කොටස් දෙක සම්‍යයක් දෘෂ්ඨිය පූර්වාංග වෙනවා. සම්මා සමාධියට විපස්සනා සම්මා දිට්ඨි, මග්ග සම්මා දිට්ඨි නම් වූ කොටස් දෙක පූර්වාංගම වෙනවා. ඒ කෙසේ ද? සම්‍යයක් දෘෂ්ඨිය පූර්වාංගවීම යනුවෙන් අදහස් කරන්නේ මිථ්‍යාදෘෂ්ඨි ලක්ෂණ යම් අවස්ථාවක දී පවතියි ද? එය අරමුණු වශයෙන් දැන වටහා ගන්නවා. සම්‍යයක් දෘෂ්ඨියත්, මෙම මාර්ගයේ දී මනා වූ සිහියෙන් යුක්තව වටහා ගන්නවා.

මෙසේ ඒ දැනුම ඔහුට හෝ ඇයට සම්මා දිට්ඨි නම් වේ. මෙහි දී පැහැදිලි කරනු ලබන්නේ, සම්මා සමාධියයි. යහපත් වූ චිත්ත ඒකාග්‍රතාවය නිවන අරමුණු කොටගෙන පවත්නා විට යම් වූ ද මිථ්‍යාදෘෂ්ඨියක් හෝ සම්‍යයක් දෘෂ්ඨියක් වේ නම් එය දැන ගත යුතු වේ. එය හැබෑවයි. සම්මා සමාධිය සකස්වීමේ දී කුසල අරමුණක ම සිහිය පිහිටුවා ගත යුතුයි. යම් වූ ද මිථ්‍යාදෘෂ්ඨියකට එකතුවන අරමුණක් සකස්වන්නේ නම් එය සම්මා සමාධියට බාධාවක් වේ.

මේ නිසා සම්මා සමාධියෙන් මිථ්‍යා දෘෂ්ඨියට එකතුවෙන අරමුණු දැනගෙන නිවන් මාර්ගයට උපකාර කරන යහපත් වූ කුසල අරමුණු දැන ගත යුතු වෙයි. ප්‍රතිවේදයෙන් ම අවබෝධ කොට ගත යුතු වෙයි. මේ නිසා එම අවබෝධයෙන් ම සම්මා සමාධියට පූර්වාංගම වේ.

මහණෙනි, මිථ්‍යාදෘෂ්ඨිය කවරේ ද යත්, භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. දුන් දෙයක විපාක නැත. සිරිත් විරිත්වල විපාක නැත. පූජාවෙහි විපාක නැත. හොඳ හෝ නරක වශයෙන් කර්මයන්ගේ පළවිපාක නැත. පරලොවක් කියා යමක් නැත. මෙලොවක් කියා යමක් නැත. මව්පියන් කෙරෙහි සැලකිය යුතුයි යන අදහසින් මවෙක් නැත. පියා කෙරෙහි උපස්ථාන කළ යුතුයි යන අදහසින් පියෙක් නැත. ඕපපාතික නම් සත්ත්වයෝ නැත. ලොව යම් කෙනෙක් මෙලොව පරලොව විශිෂ්ට ඥානයෙන් තමා ම ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ප්‍රකාශ කෙරෙත් ද එබඳු මනා වූ දැනුමෙන් යුතු පිළිවෙත් මාර්ගයෙහි ගමන් කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත. මෙය ම මිථ්‍යාදෘෂ්ඨිය නම් වේ. ධර්ම කතාවෙහි දස වස්තුක මිථ්‍යාදෘෂ්ඨිය ලෙස දක්වන්නේ ත් මෙයයි.

භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කළහ. මහණෙනි, සම්‍යක් දෘෂ්ඨිය කවරේ ද යත්, “මහණෙනි සම්‍යක් දෘෂ්ඨිය කොටස් දෙකක් කොට දේශනා කරමි.”

එනම් ආශ්‍රව සහිත පුණ්‍යභාගය වූ උපදි සංඛ්‍යාත වූ විපාක දෙන සම්‍යක්දෘෂ්ඨියක් ඇත. මහණෙනි, ආර්ය වූ කෙලෙස්වලින් බැහැර වූ ලෝකෝත්තර මාර්ග අංග වූ සම්‍යක් දෘෂ්ඨියක් පවතියි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන කොටස් දෙක මෙසේ විවරණය කර ගනිමු.

යහපත් දැකීමෙහි කෙලෙස් සහිතව පුණ්‍යවන්ත මාර්ගයට එකතු වූ කර්ම සහිත විපාක ගෙන දෙන්නා වූ මාර්ගයක් පවතිනවා. එමෙන් ම සෝවාන් ආදී මාර්ග ඵලාවබෝධයෙන් යුක්තව කෙලෙස් බැහැර කරමින් ලෝකෝත්තර මාර්ගය ම මුල් කරගත්තා වූ සම්‍යක් දෘෂ්ඨියක් පවතිනවා කියන අදහසයි.

භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට අනුව එම අදහස් පෙළ මෙසේ දැක්විය හැකියි. “සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා" යනුවෙනුයි. අනෙක් අදහස නම් “සම්මා දිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගංගා” යනුවෙනුයි. එනම් අනාරියන්ගේ සම්‍යක් දෘෂ්ඨිය හා ආර්යන්ගේ සම්‍යක් දෘෂ්ඨියයි. මේ දෘෂ්ඨි දෙක ම යහපත් ය. වෙනස නම් අනාර්ය ස්වභාවයේ සිට සම්‍යක් දෘෂ්ඨිය අනුගමනය කිරීමත්, ලෝකෝත්තර මාර්ගයේ සම්‍යක් දෘෂ්ඨිය අනුගමනය කිරීමත් ය; යන වෙනසයි.

මහණෙනි, කෙලෙස් සහිත පුණ්‍යවන්ත වූ විපාක දෙන කර්ම සහිත සම්‍යක් දෘෂ්ඨිය කුමක් ද? දුන් දේ හි විපාක ඇත. සිරිත් විරිත්වල විපාක ඇත. වැඩිහිටියන්ට කරන ගෞරවයෙහි, සත්කාර්යයෙහි විපාක ඇත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. විශේෂයෙන් සැලකිය යුතු මව් ඇත. විශේෂයෙන් ගෞරව කළ යුතු පියා ඇත. ඕපපාතිකව උපදිනා සත්ත්වයෝ ඇත. ලොව යම් කෙනෙක් මෙලොවක්, පරලොවක් විශිෂ්ට ඥානයෙන් තමා ම අවබෝධ කොටගෙන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු මගෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත යනුවෙනි.

මෙය ආශ්‍රව සහිත පුණ්‍යවන්ත වූ කර්ම විපාක සහිත වූ එනම් කර්ම විපාක ලබාදෙන සම්මා දිට්ඨිය නම් වේ. අශ්‍රැතවත් පෘතග්ජන පිරිස් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ දී ලෝකෝත්තර මාර්ගයට පෙරාතුව ගමන් කරන්නේ මේ මාර්ගයේ ය. දානයේ විපාක තිබේය. සිරිත් විරිත්වල විපාක තිබේ ය. වැඩිහිටියන්ට හා උතුමන්ට ගෞරව කළ යුතු වන්නේ ය. හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත්තේ ය ආදී වශයෙන් ධර්ම මාර්ගයෙහි බැසගත් ශ්‍රාවකයන් බවට පත්විය යුතුවෙයි.

මෙයට පෙරාතුව සඳහන් කළ දස වස්තුක මිථ්‍යාදෘෂ්ඨියට අනුව දානයේ විපාක නැත. සිරිත් විරිත්වල විපාක නැත. වැඩිහිටියන්ට උතුමන්ට ගෞරව කිරීමේ ප්‍රයෝජනයක් නැත. හොඳ නරක කර්මවල විපාකයක් නැත යන අදහස් පෙළ මුළුමනින් ම ආර්ය මාර්ගයට ඇතුළු වීමට තිබෙන දොරටු වසා දමයි. සැබවින් ම එය මිථ්‍යාදෘෂ්ඨි මාර්ගයක් ලෙස හඳුන්වනු ලැබේ.

මෙහි දී සම්‍යක්දෘෂ්ඨි මාර්ගය දක්වමින් ලෝකෝත්තර මාර්ගයට ඇතුළුවීමට අවස්ථාව සලසා දී තිබේ. නිදසුනක් ලෙස දානයේ විපාක ඇත යනුවෙන් දීමට හෙවත් තෘෂ්ණාවෙන් බැහැරවීමට සිහිය යොමු කරන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව අවසානයේ අරමුණු කරන්නේ, අත්හැරීමයි. එනම් සියලු කෙලෙසුන්ගේ මිදීමයි. මේ නිසා අනාර්ය ස්වභාවයේ සිටියත්, සම්මා දෘෂ්ඨිය නිවන් මඟ ම අරමුණු කරගෙන ඇති කරගත යුතු ප්‍රතිපදාවක් විය යුතු වන්නේ ය.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]