UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

හාල්දඬුවන ධම්මරක්ඛිත නා හිමි

මීට වසර 36 කට පෙර අපවත් වී වදාළ සාහිත්‍යශූරී අතිපූජ්‍ය හාල්දඬුවන ධම්මරක්ඛිතාභිධාන සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

1894 දෙසැම්බර් මස 11 වන දින වයඹ පළාතේ හලාවත දිස්ත්‍රික්කයේ ඕතර ප්‍රදේශයේ පිහිටි හාල්දඬුවන නම් ගම්වරයෙහි විසූ මාපා හාමිල්ලාගේ කර්නිස් අප්පුහාමි හා දෝන කතිරිනා උපාසිකා මාතාව දෙමාපිය කොට උපන්හ. 1903 දී කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති ව වැඩ විසූ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට ඉඳුරුවේ පියදස්සී, හාල්දඬුවන බුද්ධරක්ඛිත යන මහා ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් පැල්මඩුලු රාජමහා විහාරස්ථානයෙහි දී පැවිදි බව ලැබීය. සිය ඇදුරුපාණන් වෙතින් හෙරණ බණ දහම් ඉගෙන රත්නපුර ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබී ය. 1915 දී උන්වහන්සේ මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථගාරයේ දී උපසම්පදාව ලැබූහ. උන්වහන්සේ 1919 දී පැල්මඩුල්ලට වැඩම කළේ ප්‍රදේශයට විශාල සේවාවක් සිදු කිරීමේ අරමුණෙනි. ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට අවට පාඨශාලා සඳහා භූමි භාගයන් පරිත්‍යාග කරමින් ද තමන් වහන්සේගේ වියදමින් විද්‍යස්ථාන ඉදි කරමින් ද ගිහි පැවිදි දෙපක්ෂයේ ම බුද්ධි වර්ධනය සඳහා කළ සේවාව අතිවිශාල ය.

බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට පුරෝගාමීව ක්‍රියා කළහ. උන්වහන්සේගේ පුරෝගාමීත්වයෙන් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ වූ අතර කාමරංගාපිටිය විද්‍යාලය, පනාවැන්න විද්‍යාලය, පාතකඩ විද්‍යාලය අරඹා රත්නපුර බෞද්ධ සංගමයට භාරදී ලියාපදිංචි කිරීමට කටයුතු කළේ ය. සබරගමු පළාතේ දහම් පාසල් ආරම්භකයාණෝ උන්වහන්සේ ය. කුඩා දරු දැරියන්ගේ චරිත සංවර්ධනය සඳහා 1925 දී ශ්‍රී සුමංගල දහම් පාසල ආරම්භ කළ උන්වහන්සේ විනය ගරුක භික්ෂු පරපුරක් බිහි කිරීමේ අරමුණින් රූප අරුණ පිරිවෙන ඇරඹී ය. පැල්මඩුලු රාජමහා විහාරස්ථානය පසුබිම් කරගෙන ශ්‍රී සුදර්ශන ධර්ම ශාලාව තනවා බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, ඉඳුරුවේ ශ්‍රී සුමංගල නා හිමි ආදී මාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විනය සංගායනාවක් සිදුකර ඇත. මෙම ඓතිහාසික විනය සංගායනාව සිදුකළ විහාරස්ථානයේ වැඩ වෙසෙන උගත් පඬිරුවනකට උපහාරයක් වශයෙන් ලංකා බෞද්ධ මණ්ඩලය ත්‍රිපිටක පරිවර්තන සභාවේ සාමාජිකත්වය නාහිමිපාණන් වහන්සේට පිරිනමා “චුල්ලවග්ග පාළිය” නම් විනය ග්‍රන්ථය පරිවර්තනය සඳහා භාරදීම විශේෂ සිද්ධියකි. උන්වහන්සේ බුරුම ජට්ඨ සංගායනාවේ වර්ෂ තුන හමාරක් යෙදී සිටි අතර මේ කාලය තුළ සිවු වාරයක් බුරුම රටට වැඩම කර ඇත. බුද්ධ ශාසන කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලැබූ උන්වහන්සේ වසර පහළොවක් විද්‍යෝදය පිරිවෙනේ ප්‍රශ්න කතෘ ධූරය දැරූ අතර, ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභික ධූරයක් ද දරා ඇත. විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භයේ පටන් බුද්ධ ධර්මය පිළිබඳ කථිකාචාර්ය පදවියක් ඉසුලූ උන්වහන්සේගේ නිහඬ ධර්ම ශාස්ත්‍රීය සේවාවට උපහාරයක් වශයෙන් ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිදයාලය මගින් “සාහිත්‍යශූරී” සම්මාන උපාධිය පිරිනමනු ලැබීය. නායක මාහිමිපාණන් වහන්සේගේ ඒ උදාර ජීවිතයෙන් සිදුවූ ශාසනික සේවා ගෞරවාන්විතව සලකමින් පළාත් පදවි උරුමය නැවත පැල්මඩුලු මහා විහාරයට හිමිකර දෙමින් පිදූ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානනීයත්වයට පත්වූහ. උන්වහන්සේගේ ගුණ සමරා 2017 සැප්තැම්බර් මස 03 වන දින අර්ධ ශතාධික සඟ සතු දානමය පින්කමත් ඓතිහාසික පැල්මඩුලු රාජමහා විහාරාධිපති, රත්නපුර කරංගොඩ පොත්ගුල් රාජමහා විහාරාධිපති. ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්නාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කටයුතු කර තිබිණි.

නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා.


කිතලගම නන්දසාර හිමි

දකුණු ලක, මාතර දිස්ත්‍රික්කයෙහි කිතලගම ගම් පියසෙහි හේවාපත්තිනිගේ ආරියදාස හා හේවා පැලැන්දගේ ඩැනී නෝනා නම් වූ බෞද්ධ මහෝපාසක මාපියන්ට දාව 1989 සැප්තැම්බර් 13 දා මෙලොව එළිය දුටු පින්වත් කුමරු හේවා පත්තිනිගේ සුමිත් චන්දිම නම් විය. මාතර, කිතලගම බටහිර මහා විද්‍යාලයේ මූලික සිප් සතර හදාරමින් සිටිය දී මාතර, වේරදුර, ක්ෂේත්‍රාරාම විහාරාධිපති, ත්‍රිපිටකවේදී ගංගොඩගම පඤ්ඤාවේධ නාහිමිගේ ආචාර්යත්වයෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස මාතර, වේරදූව, ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ දී 1991 ඔක්තෝබර් මස 24 වෙනි දින “කිතලගම නන්දසාර” නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේ ය.

වේරදූව, ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ වසර කිහිපයක් වැඩ වාසය කොට, මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනය වෙත වැඩම කළ උන්වහන්සේ එහි වැඩ වෙසෙමින් මහරගම ශ්‍රී පඥානන්ද පිරිවෙනෙන් හා ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතනය වෙතින් අධ්‍යාපන කටයුතුවල නියැලිව සිටියදී 2003 දී මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතන සීමාමාලකයේ දී උපසම්පදා වූයේ, ක්ෂේත්‍රාරාම විහාරාධිපති ත්‍රිපිටකවේදී, ගංගොඩගම පඤ්ඤාවේද නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙනි.

සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් ප්‍රගුණ කළ උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව ද හසල දැනුමක් ලබා ගත් අතර මෙසේ ධර්ම ශාස්ත්‍රෝද් ග්‍රහණය ලැබූ උන්වහන්සේ නුගේගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගත්හ.

පැලෑනේ සද්ධම්මවංශ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධූරය, කළුතර පළාතේ අධිකරණ සංඝනායක, දෙල්දූව සුමන නායක ස්වාමීන් වහන්සේ අතට පත් වූ අතර උන්වහන්සේගේ භාරකාරත්වයෙන් පවතින මොරවින්ත ශ්‍රී සුධර්මාරාමය, මස්විල ශෛලතලාරාමය, මැළෑගම සුගතබිම්බාරාමය හා දෙල්දූව, ගනේවත්ත පුරාණ රජමහා විහාරය යන විහාරස්ථානවල චතුර් විහාරාධිපති, දේල්දූවේ සුමන නාහිමියෝ දෙල්දූව ගනේවත්ත රජමහා විහාරස්ථානයේ කටයුතු, කිතලගම නන්දසාර හිමියන්ට භාර කළහ.

ගනේවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් නේවාසිකව වැඩ සිටින කුඩා සාමණේර හිමිවරුන් 55 නමකගේ පහසුකම් හා නේවාසික කුටි සඳහා සිවුමහල් ධර්ම මන්දිරයක් ද ඉදිකරවමින් පවතින අතර, ම විහාරස්ථානයේ භෞතික වෙනස්කම් රැසක්ම දක්නට ඇත.

බෝධි ප්‍රාකාර දෙකක්, ඝන්ඨාර කුළුණක්, නව දර්ශනීය වාහල්කඩ, බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැට හා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ විශාල ප්‍රමාණයේ පිළිම, ඒ අතර වේ. මේ වන විට ගනේවත්ත පුරාණ විහාරස්ථ ශ්‍රී පේමරතන ධර්ම විද්‍යාලයේ ද ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 900 ඉක්මවා ඇති අතර ගුරු මණ්ඩලය 26 කි.

කිතලගම නන්දසාර හිමි විසින් මෙතෙක් ශාසනික, සමාජීය, අධ්‍යාපනික සහ පොදු ජනතාව වෙනුවෙන් ඉටු කරන ලද කාර්යභාරය හා විශිෂ්ට වූ සමාජ මෙහෙවර ඇගයීමට ලක් කළ, අතරඋන්වහන්සේට ‘ශාසන සෝභණ කීර්ති ශ්‍රී’ ගෞරව නාමය ද, දිවයිනටම බලපැවැත්වෙන පරිදි ‘සාම විනිසුරු’ පදවිය ද අවස්ථා දෙකක දී ප්‍රදානය කර ඇත.

දිවිමගේ 34 වෙනි ජන්ම දිනය හා උතුම් වූ පැවිදි දිවියෙහි 26 වෙනි වසර සැමරීමට,උන්වහන්සේට ආශිර්වාද පතා ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙන පින්කම් මාලාවක් සැප්තැම්බර් 6 සිට 10 දක්වා පැවැත්විණි.


අරඹේපොල දේවානන්ද හිමි

කන්ද උඩරට හාරිස්පත්තුව අරඹේපොල දී 1918 මැයි මස 14 දින මෙලොව එළිය ලබා 1935 මැයි මස 25 වන දින තිබ්බටුමුල්ල පුරාණ විහාරයේ දී පැවිදි බව ලැබූ දේවානන්ද හිමිපාණෝ 1940 මැයි මස 25 දින උපසම්පදාව ලබා යක්දෙස්සා වේ ශ්‍රී සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ ඇරයුමෙන් 1962 දී කොස්වත්ත තුලාවල නාගවනාරාම විහාරස්ථානයට වැඩම කළහ.

තුලාවල ශ්‍රී සීලානන්ද දහම් පාසල ආරම්භ කර එහි පැවැත් වූ සංඝරාජ ශිෂ්‍ය සමිතිය දරුවන්ට අනාගත මංපෙත් විවර කළ අගනා තෝතැන්නක් විය. දහම් පාසල් ඉගෙනුම් කටයුතුවලට අමතරව දහම් දැනුම තරග පැවැත්වීම, ගුවන්විදුලි නාලිකාවන් හි දැනුම මිනුම තරගවලට ළමුන් සහභාගී කරවීම, ශීල සමාදාන වැඩසටහන් කිරීම, ධර්ම දේශනාමය පින්කම් පැවැත්වීම, බොදු බැතිය වඩවන තොරණ ඉදි කිරීම, බෞද්ධ පෙරහර පැවැත්වීම, දහම් අධ්‍යාපන චාරිකා සංවිධානය, ආදී විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් දරුවන්ට විවිධ අත්දැකීම් ලබාගැනීමට එම අත්දැකීම් තම අනාගතය ජීවිතයේ යහපත සඳහා යොදවා ගැනීමට බොහෝ අවස්ථා ලබා දුන්හ.

1995 සැප්තැම්බර් 17 දින ලොකු හාමුදුරුවන් වහන්සේගේ අපවත්වීමෙන’ වසර 24 ක් ගෙවෙන සැප්තැම්බර් මස 16 වන දින රාත්‍රී 7.00 ට ගුණානුස්මරණ ධර්ම දේශනාමය පින්කමක් තුලාවෙල නාගවනාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]