UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 77: බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහ සඟරුවන ඇමතීම

බුදුපිළිමයේ උපත - 77:

බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහ සඟරුවන ඇමතීම

භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන පිඬු පිණිස වේසාලි නුවරට වැඩම කළ සේක. පිණ්ඩපාතය අවසන් කළ භාග්‍යවතුන් වහන්සේ ඇත් රජෙකු ලීලායෙන් මෙන් වේසාලි නුවර දෙස ආපසු හැරී බලා අනඳ තෙරුන් ඇමතු සේක.

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ අවසාන කාලය පිළිබඳ විස්තර සඳහන් වන ප්‍රධාන සූත්‍ර දේශනාව මහා පරිනිර්වාණ සූත්‍රයයි.

‘ආනන්දය සියලු පි‍්‍රයමනාප දේවලින් වෙන්වීම ,ඈත්වීම වෙනසකට පත්වීම ගැන මුලදී ම මා විසින් ඔබ සැමට කියා තිබෙනවා නොවේ ද? ආනන්ද ඉපදුණු ඇතිවුණු සංඛ්‍යතවූ පලුදු වන සුලු දෙයක් පලුදු නොවේවා යැයි පැතුවත් කෙසේනම් එය සිදුවිය හැකි ද? එබන්ඳක් සිදුවිය නොහැකිමය. මේ යමක් තථාගතයාණන් විසින් අත්හරින ලදදේ ද ඉවත දමන ලද්දේ ද, මුදා හරින ලද්දේ ද, පහකරන ලද්දේද ඒ සම්බන්ධයෙන් තථාගතන් වහන්සේ ඒකාන්ත වශයෙන් තමන් ප්‍රකාශයක් කර ඇත. වැඩිකල් නොගොස් තථාගතයන්ගේ පරිනිර්වාණය සිදු වන්නේ ය. මෙයින් තුන්මසක් ගිය තැන තථාගතයන්ගේ පරිනිර්වාණය සිදුවන්නේ ය. තථාගතයාණෝ ජීවිතය නිසාවත් එය බොරුවක් නොකරන්නේ ම ය. එ බන්ඳක් සිදුවීමට ඉඩක් ඇත්තේ ම නැත. ආනන්ද අපි මහා වනයෙහි කූඨාගාරශාලාව වෙත යමු.”


ගන්ධාර සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේ

“එසේය ස්වාමීනි යැයි ආනන්ද තෙරණුවෝ සමඟ කූඨාගාර ශාලාව වෙත වැඩි සේක.

“ආනන්ද වේසාලිය අවට සියලුම භික්ෂූන් උපස්ථාන ශාලාවෙහි රැස් කරවන්න.” භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ට වදාළ සේක.

‘එසේය ස්වාමීනි’ යැයි පැවැසූ ආනන්ද හිමියෝ ඒ සියලුම භික්ෂූන් වහන්සේ උපස්ථාන ශාලාවට රැස්කරවා භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැන්වූ හ.

ශාසනයෙහි දිගු කල් පැවැත්ම සඳහා මහා සංඝයා වහන්සේට අනුශාසනා කළ භාග්‍යවතුන් වහන්සේ බහුජන හිත සුව පිණිස ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිස් හිත සුව පිණිස කටයුතු කළ යුතු බවද වදාළ සේක.

ඉක්බිති භික්ෂූන් ඇමතු භාග්‍යවතුන් වහන්සේ, දැන් මම ඔබ සැම අමතා මෙසේ ප්‍රකාශ කරමි. මේ සියලු සංස්කාර ධර්මයන් විනාශවන සුළුය. විමුක්තිය සඳහා අප්‍රමාදව කටයුතු කළ යුතු ය. වැඩිකල් යන්නට පෙර තව තෙමසක් ගිය තැන තථාගතයන් පිරිනිවන් පානු ඇත.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන පිඬු පිණිස වේසාලි නුවරට වැඩම කළ සේක. පිණ්ඩපාතය අවසන් කළ භාග්‍යවතුන් වහන්සේ ඇත් රජෙකු ලීලායෙන් මෙන් වේසාලි නුවර දෙස ආපසු හැරී බලා අනඳ තෙරුන් ඇමතු සේක.

“ආනන්ද, මේ තථාගතයන් වේසාලි නුවර දකින අන්තිම වතාවයි. දැන් අපි භණ්ඩගාමයට යමු.

භික්ෂු සංඝයා සමඟ භණ්ඩගාමයට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතු සේක. ධර්ම සතරක් මනාව විනිවිද අවබෝධ කොට නොගත් හේතුවෙන් මාගේ මෙන් ම ඔබ සැමගේත් මේ දිගු සසර සැරි සැරීම සිදු විය.ඒ අවබෝධ කොට නොගත් ධර්ම සතර නම් ආර්යශීලය, ආර්ය සමාධිය,ආර්ය ප්‍රඥාව හා ආර්ය විමුක්තියයි. සතර ධර්මයන් (මවිසින්) මනා කොට විනිවිද අවබෝධ කරගන්නා ලද්දේ වෙයි. ඒ හේතුවෙන් භව තෘෂ්ණාව ක්ෂය විය. දැන් පුනර්භවයක් නැත.

සතර මහාපදේශ

බුදුරජාණන් වහන්සේ සතර මහා පදේශ වදාළ සේක. එය වදාළේ භෝග නගරයට වැඩම කොට ආනන්ද චෛත්‍යයෙහි වැඩ වසන අතර දී ය.

එම මහාපදේශවලින් එකක් අපි මෙහි දී මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන අයුරින් දක්වමු.

“භික්ෂුන් වහන්ස, මේ ධර්මය ය.මේ විනය ය. මේ ශාස්තෘවරයාගේ ශාසනය, මා මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා දැන ගතිමි. යැයි යම් භික්ෂුවක් කියයි නම්, එපමණකින් ම එම කියමන කෙරෙහි පැහැදීමක් ඇති කරගත යුතු නැත. එමෙන් ම එය ප්‍රතික්ෂේප කළ යුතුද නැත. එපමණින් ඒ ගැන පැහැදීමකට පත් නොවී, ප්‍රතික්ෂේප ද නොකර ඒකියන ලද පද ව්‍යංජන මනාකොට ඉගෙන සූත්‍ර හා ගැළපිය යුතුය. විනය හා සැසඳිය යුතුය. එසේ කළ විට සූත්‍ර හා නොගැළපෙන දේ විනය හා සැසඳෙන දේ පිළිබඳව මෙසේ නිගමනය කළ යුතු ය. මෙය නිසැකයෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවේ. මේ භික්ෂුව වරදවා ගත් දෙයකි. එසේ නිගමනය කොට එය බැහැර කළ යුතුය. සූත්‍ර හා ගැළපේ නම් විනය හා සැසඳේ නම් නිසැකයෙන්ම මෙය භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මෙය මේ භික්ෂුව විසින් මනාව අවබෝධ කොට ගත් දෙයකි. යැයි නිගමනය කළ යුතුය. මේ පළමු මහාපදේශය වශයෙන් සිත් හි තබාගත යුතු ය.

(මහා පරිනිර්වාණ සූත්‍රය – පරිවර්තනය සනත් නානායක්කාර – පි. 55-56 (2005)

අනාගතයේ දී බුදුදහම පිළිබඳ පිළිපැදිය යුතු අන්දම මහා සංඝයා වහන්සේලාට අවබෝධ කරදීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද එම සතර මහාපදේශ” ඉතා වැදගත් වන්නේ ය.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 76: අනඳ තෙරුන් වහන්සේගේ ආයාචනය පිළිනොගැනීම

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]