UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: ඉවත් කළ යුතු කිළිටි ජීවිතය

ඉවත් කළ යුතු කිළිටි ජීවිතය

පව් කිරීමේ දී ලජ්ජා භය නැතිව පව් කරනවා නම්, එයින් බොහෝ අකුසල් රැස්වෙයි. සමාජයේ ඇතැම් අවස්ථාවල දී එවැනි තත්ත්වයන් දක්නට ලැබෙයි. අනෙකාගේ වැරැදිම මතුකරමින් අකුසල් සිදුවන ආකාරයෙන් අදාළ කාරණාව අදාළ පුද්ගලයාට නොකියා වෙනත් පුද්ගලයෙකු සමඟ ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ දීන ස්වභාවය පෙන්නුම් කරයි. එවැනි ගති ස්වභාවයන් සහිත පුද්ගලයන් හමුවූ විට ඔවුන් ගේ එම වැරැදි ස්වභාවය පහදා දීම ඔබගේ යුතුකමක්.

උපදෙස් ලබාදීමේ දී ද, උපදේශයක් ලබාදීමට සුදුසු ද, නැති ද, යන වග පළමුව සොයා බලා විමසිලිමත් ව සුදුසු නම්, පමණක් අවවාද ලබා දිය යුතුයි. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතමින් ධර්මය දේශනා නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව ද වදාරා ඇත. ඇතැම් පුද්ගලයන්ගේ කර්ම ශක්තීන් වෙනස් කිරීම අපහසුයි. අහිරික ගති ස්වභාවය ඔබ තුළ තිබෙනවා ද ? කියා විමසිලිමත් වීම වැදගත්. එවැනි තත්ත්වයන් අවබෝධ කරගෙන එම ස්වභාවය ඉවත්කර ගැනීමට කටයුතු කිරීම බෞද්ධ ඔබගේ යුතුකම යි.

කිළිටි ජීවිත ගත කරන පුද්ගලයන්ගේ තවත් කිළිටි ගතියක් ලෙස කාක සූරේන ලක්ෂණය හඳුනාගත හැකියි. කපුටා සැම විටම කුසගින්නේ පසුවෙමින් යමක් ඩැහැගැනීමට මාන බලයි. උපාය ශීලීව තමන්ගේ වාසිය පමණක් සිතයි. කෑම රැගෙනවිත් කොතැනක හෝ සැඟවුව ද, එම ස්ථානය සොයා ගැනීමට නොහැකි නිසා ම ලබාගත් දෙය ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වෙයි. සූරාකන ස්වභාවයක් කපුටා තුළින් දක්නට ලැබෙයි. කාක සූරේන යන උපමාවෙන් හඳුන්වන්නේ කපුටා වගේ යන අදහසයි. යම් ස්ථානයකට ගිය විට තමා පිළිබඳ පමණක් සිතමින් තමාට අවශ්‍ය යමක් ඩැහැගැනීමට මාන බලන පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් ජීවත් වෙයි. කපුටාගේ ගති සිරිත තමන්ට අවශ්‍ය දෙය ඩැහැ ගැනීමයි.

සාමයෙන් ඩැහැ ගැනීමට බැරි නම්,හොඳින් හෝ නරකින් දෙදෙනා බේද කරමින් හෝ තමාගේ අවශ්‍යතා ඉෂ්ටකර ගනී. එකිනෙකා අතර ගැටුම් ඇතිකරමින් තමාගේ අවශ්‍යතා ඉටුකරගැනීමට මානබලයි. තමා පිළිබඳ පමණක් සිතයි. අනෙකා නින්දාවට පත් වුණත්,වෙනත් හානියක් සිදු වුණත් , ඔහු මරණයට පත් වුණත් තමන් පිළිබඳ ව පමණක් සිතන පුද්ගලයන් මේ සමාජයෙහි ජීවත් වෙයි. පොදුවේ රට, ජාතිය, ආගම විනාශ වුණත් තමාගේ බඩ කට පිරෙයි නම්, ඔහුට ප්‍රශ්නයක් නොවෙයි. එවැනි කාක සූරේන පුද්ගලයන් සමාජයේ නැතිවා නොවෙයි. එම කිළිටි ස්වභාවය ඔබ ළඟ තිබේ නම්, එය ඉවත් කර ගත යුතුයි. අත්ථහිත පරහිත දෙපැත්තෙහි ම මනස සමබර කරගත යුතුයි. තමන් කරන ක්‍රියාවෙන් තමාට යහපතක් වන්නා සේ ම සමාජයට ද යහපතක් විය යුතුයි. සාහසික ලෙස මුදල් ඉපයීමෙන් සාහසික ආකාරයට තමන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට යාම යහපත් නොවෙයි. මෙවැනි පුද්ගලයන් සෑම සමාජයක ම සෑම ක්ෂේත්‍රයක් තුළම ජීවත්වීම සාමාන්‍ය ස්වභාවයක්. බුදු බණ සියලු ස්ථානයටම පොදු වූවක් වෙයි.

ධන් සිනා කිළිටි ජීවිතයක තුන්වන කාරණාවයි. ගුණ ධර්ම සිහිත පුද්ගලයාගේ උතුම් ගුණ මකමින් උපහාසයට ලක්කරමින් ,ගුණ ධර්ම නැති බවට අඟවමින් සමාජයේ සෙසු පුද්ගලයන් හා කතා කිරීම ධන් සිනා ලක්ෂණයයි..පන්සිල් සමඟ ජීවත් වීම ගිහියෙකුගේ ශිල සම්පන්න බවයි. නිත්‍ය ශීලය වන පංච ශීලයට අනුකූලව ජීවත් වෙනවා නම්, ඔහුට වැරැදිය නොහැකියි. වැරැදීම් සිදුවෙනවා නම්, ශීලය ආරක්ෂා කිරීමේ අඩුවක් තිබිය හැකියි. පංචශීලය ආරක්ෂා කරගනිමින් ජීවත් වීමට උත්සාහ කළ යුතුයි. ඔබගේ සිත, කය, වචනය සංවර කරගෙන පංචශීලයත් සමඟ කෙතරම් දුරක් යා හැකි ද ? යනුවෙන් ඔබ ම තීරණය කළ යුතුයි. පංචශීලයවත් ආරක්ෂා නොකර බොරුවට අටසිල් ගැනීමෙන් ඇති ප්‍රතිපලය කුමක් ද ? පන්සිල් නොරකින පුද්ගලයා අටසිල් රකින්නේ කොහොම ද? අනුපූර්ව ක්‍රමයට යා යුතුයි. ගුණ ධර්ම නොමැති ව සමාජයේ රඟපාන පුද්ගලයන්ගේ ගුණ ධර්ම නැති බවට ප්‍රකාශ කිරීමෙන් අකුසලයක් සිදු නොවුණත්, ගුණ ධර්ම සහිත පුද්ගලයාගේ ගුණ මකන පුද්ගලයන් මේ සමාජයේ ජීවත් වෙයි.

තාක්ෂණය දියුණු වන විට අකුසල් කරන ප්‍රමාණය ද දියුණු වෙයි. තාක්ෂණය මඟින් මිනිස් ජීවිතය පහසු කරන විට අකුසල් කළ හැකි ප්‍රමාණය ද පහසු කරයි. කුසල් කරන ප්‍රමාණය ද පහසු කරයි. තමන්ගේ වචනයෙන් තමන්ගේ හැකියාවෙන් උතුම් ගුණ ධර්ම සහිත පුද්ගලයන්ගේ ගුණවත්කම මකා දමයි. යහපත් පින්කමක් කළ විට එහි උතුම් ස්්වභාවය කතා නොකර එම පින්කමේ අඩුපාඩුවක්, ඇදක් මාතෘකා කරගනිමින් කතා කරයි. යහපත් ක්‍රියාවක් කළ අවස්ථාවක එය අධ්‍යනය කර යහපත් ක්‍රියාවක් බව නොමැළි ව ප්‍රකාශ කිරීම වැදගත්. ඒ පිළිබඳ කතා නොකර සිටීම වරදක්. යහපත් ක්‍රියාවක් කරන අවස්ථාවක දී එහි යහපත් බවට වඩා යහපත අයහපත්බවෙන් පුරවන්න උත්සාහ කරනවා නම්, එය කිළිටි ජීවිතයක ස්වභාවයයි.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]