UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික ආගමික සංහිඳීයාවේ ආදර්ශවත් කැපවීම

ජාතික ආගමික සංහිඳීයාවේ ආදර්ශවත් කැපවීම

සෑම රටවැසියෙකුගේ ම යුතුකම නම් ගැටුමෙන් තොරව සංවරශීලීව කටයුතු කිරීම ය. බෞද්ධ, හින්දු, ඉස්ලාම් කවර ආගමිකයෙකු වුවද වෛරී පදනමෙන් තොර විය යුතු ය. මෛත්‍රිය, සමානාත්මතාවයේ පදනමට යොමුවිය යුතු ය. වෛරයෙන්, ක්‍රෝධයෙන් තවත් අයෙකු පහත හෙලා කටයුතු සිදුකරන්නේ නම් එය සදාචාරවත් සමාජයක් අනුමත නොකරනු ඇත.

ලොව පහළ වී වදාළ ගෞතම බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාවත්, මහා ප්‍රඥාවත් නිසාම තුන් ලෝ වාසීන් අපමණ සැනසිල්ලක් ලැබූහ. බුදුපියාණන් වහන්සේගේ සම සිතින් , සම මෙතින් පිහිට ලැබුවෝ අනන්තය. අප්‍රමාණ ය. සඳකිරණෙහි සෞම්‍යාලෝකයෙන් පොළෝ තලයම ආලෝකමත් වූවා සේ පටු භේදාදියෙන් තොරව සෑම දෙනාම ධර්මාලෝකයෙන් ඒකාලෝක වූහ. එය අසිරිමත් සම්බුදු සිරිතෙහි වූ අසහාය සුවිශේෂී ලක්ෂණයකි.

බෞද්ධ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහඟු ආදර්ශ අනුගමනය කරන පිරිසක් වේ. ‘පරත්ථං පටිපජ්ජත’ අනෙකුත් අයගේ සුවසෙත සඳහා කටයුතු කිරීම බුදුරදුන්ගේ අනුශාසනාවයි. චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය..... ආදී වශයෙන්ද ඒ බව පැහැදිලි කර තිබේ.


මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝ නායක, අත්තනගල්ල රජමහා විහාරාධිපති, මහෝපාධ්‍යාය, ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි

‘බහුජන හිතාය’ බොහෝ ජනයාගේ හිතසුව පිණිස මිස එක් එක් පිරිසකට පමණක් සීමාවූවක්, සේවයක් නොවේ. එහි දී මිනිස් සමාජය කොටස් ලෙස වෙන්කර දක්වා නොමැත.

වර්තමානයේ දී පටු මතිමතාන්තර කර පින්නා ගනිමින් ඇතැමෙක් පටුභේද ඇතිකිරීමටත් එමඟින් විවිධ හේතුන්ට අනුව ඔවුනොවුන් වෙන්කර දැක්වීමටත් උනන්දු ගන්නා බව රහසක් නොවේ. පුද්ගලික අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට බුදුදහමටත් නිගරුවන අයුරෙන් කටයුතු කරන අවස්ථා ද නැතුවා නොවේ. ථෙරවාදී සම්බුදු දහම පවතින රටක් ලෙස ලොව ප්‍රචලිතව ඇති අපේ රට පටුවාද භේද අනුව ක්‍රියා කළහොත් රටටත් බුදුදහමටත් හිමිව ඇති කීර්තියට එමගින් හානිවීමට ඉඩ ඇති බව කල්පනා කළ යුත්තකි.

අපේ රට ආගමික සංහිඳියාව පවතින රටක් ලෙස ලොවට පෙන්වීමට කාලය දැන් එළඹ තිබේ. එබැවින් ඒ සඳහා වාද භේද අමතක කර අපි සියලු දෙනා ඒකරාශී වී කටයුතු කළ යුතු වෙමු.

අපගේ පෞරාණික සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියකි. විවිධ කරුණු හේතුවෙන් අපේ රටට විවිධ සංස්කෘතීන් පැමිණීමෙන් කලක සිට සංස්කෘතීන් කීපයක් එකමුතුව ජීවත් වූ රටක් බව ද අමතක නොකළයුතු වෙමු.

විවිධ භේද පිළිබඳ සිතීමෙන් රටක් ලෙස සමගියෙන් එකමුතුකමෙන් ජීවත්වීමට අවස්ථාව නොලැබේ. භේද වූ විට සියලු දියුණුව අගාධයට යන බව කල්පනා කළ යුතුව ඇත. ආත්මාර්ථයෙන් බැහැරව සියලු දෙනා ඒකරාශී වී කටයුතු කිරීම ම දියුණුවට හේතුවේ. ඔවුනොවුන්ගේ පුද්ගලික අදහස්වලට ගෞරව කළ යුතු ය. අන්‍ය ආගම්වලටද ගරු කළ යුතු ය. අනෙකුත් ආගම් අදහන පිරිස ද, තම තමන්ගේ ආගමදහමට ගෞරව කරමින් අන්‍ය ආගම්වෙත ද ගරු කරමින් සහජීවනයෙන් කටයුතු කිරීම ඔවුනොවුන් සතු වගකීම වේ. සෑම රටවැසියෙකුගේ ම යුතුකම නම් ගැටුමෙන් තොරව සංවරශීලීව කටයුතු කිරීමය. බෞද්ධ, හින්දු, ඉස්ලාම් කවර ආගමිකයෙකු වුවද වෛරී පදනමෙන් තොර විය යුතු ය. මෛත්‍රිය, සමානාත්මතාවයේ පදනමට යොමුවිය යුතු ය. වෛරයෙන්, ක්‍රෝධයෙන් තවත් අයෙකු පහත හෙලා කටයුතු සිදුකරන්නේ නම් එය සදාචාරවත් සමාජයක් අනුමත නොකරනු ඇත.

සමගියෙන් සතුටෙන් අපක්ෂපාතීව හැමවිට කටයුතු කළ රටක් ලෙස සාඩම්බර ඉතිහාසයක් අපට ඇත.

මා විසින් පුද්ගලිකව ලොව විවිධ රටවල විවිධ ජාතික, විවිධ ආගමික අය ළඟින් ඇසුරු කරනු ලැබේ. ඒ සියලුදෙනා සමඟම ඔවුනොවුන් යහපත් අවබෝධයෙන් ඇසුරු කිරීම ඊට හේතුවයි. ඔවුනොවුන්ගේ මතවලට ඔවුනොවුන්ට ගරු කිරීමට ඉඩ දී අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කර ගැනීමට අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා සුදුසු ක්‍රියාවක් වේ. අන්‍යෝන්‍ය මතවලට ගරු කරමින් කටයුතු කරන විට ගැටුම් බැහැර කර සතුටෙන් ජීවත්වීමේ හැකියාව උදාවේ.

අප වෙසෙන සමාජය තුළ ඇති ගැටලු, ප්‍රශ්න තේරුම් ගෙන ඊට විසඳුම් සෙවීම බුද්ධිමත්ව සහ ආදර්ශවත්ව කළ යුතු වේ. හැඟීම්වලට වහල් වුවහොත් සත්‍යය තේරුම් ගැනීම අපහසු වේ. අසමගිතා දුරු කිරීමට ක්‍රියාවෙන් අපි ආදර්ශ සැපයියයුතු වෙමු. සමාජයේ වෙසෙන අනෙකුත් අයටද අප සංහිඳියාවෙන් කටයුතු කරන ආකාරය පෙන්වාදිය යුතුව ඇත.

අපේ රටේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මා මේ වනවිට රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇත. එසේ මාසිකව ශිෂ්‍යාධාර සැපයීමේ දී ජාතිය, ආගම, ගැන නොසිතා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතික දරුවන්ට දරුවන් ලෙස සලකා අධ්‍යාපන ශිෂ්‍යාධාර වසර ගණනාවක සිට පිරිනමනු ලැබේ.

එබඳු සේවා ලබාගත් දරුවන් තුළින් මෙතෙක් අප ලබා ඇති අත්දැකීම්වලට අනුව ඒ අන්‍ය ආගමික දරුවන් ද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට බෞද්ධ සමාජයේ දක්වන ගෞරවයට සමාන ගෞරවයක් දැක්වීමට පෙළඹී ඇති බව විශේෂයෙන් සිහිපත් කළ යුතුව ඇත. ඒ අපගේ ශක්ති පමණින් කරන මෙහෙවරෙහි ප්‍රතිඵල ලෙස පුද්ගලිකව ම සතුටට හේතුවක් ද වේ.

පාසල් සඳහා ගොඩනැගිලි ඉදිකරදීමේ ව්‍යාපෘතියක් මම දැනට වසර කීපයකට පෙර ආරම්භ කළ අතර එහිදී බෞද්ධ පාසල් සඳහා ගොඩනැගිලි රැසක් ඉදිකරවා දුනිමි. එහිදී ජාති ආගම් ආදී භේද නොසලකා මුස්ලිම් දරුවන් ඉගෙන ගන්නා පාසලක ද ගොඩනැගිල්ලක් ඉදිකර මෙම 17 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් එය සිසු අයිතියට පත් කරදෙනු ලැබේ. ද්‍රවිඩ දරුවන් ඉගෙන ගන්නා පාසලක, ගොඩනැගිල්ක් ඉදිකරදීමට ද යථා කාලයේ දී කටයුතු කරනු ලැබේ. ආගමික ජාතික සංහිදියාව වර්ධනය කිරීමට ආදර්ශවත් එවන් අවස්ථා අප විසින් ඇති කරනුයේ රටේත් ජනතාවගේත් අනාගත අභිවෘද්ධිය සඳහා බවද මෙහි දී සිහිපත් කළ යුතු ය.

මා විසින් වතුපිටිවල රෝහලේ තනවන ලද ළමා වාට්ටුව තුළ කිසිදු භේදයකින් තොරව සියලු ජාතීන්ගේ දරුවන් ප්‍රතිකාර ලබනු ඇත. එබඳු මෙහෙවර දැක මහත් සතුටක් ලබන බවද සිහිපත් කළ යුතු ය.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]