UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන්විල ඇසළ පූජා පෙරහර

බෙල්ලන්විල ඇසළ පූජා පෙරහර

දහ නමවන සියවසේ මැද භාගයේ එතෙක් ඝන කැලෑවෙන් වැසීගොස් තිබූ බෙල්ලන්විල විහාරය ලෝවැසියන් වෙත විවර වන්නේ දෛවෝපගත සිද්ධියකිනි. බෙල්ලන්විල ඉතිහාසය අනුව අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයේ එවකට වැඩසිටි තෙන්ගොඩගෙදර හිමියන් කිසියම් කාර්යයකට බෙල්ලන්විල කටු ඇල ඔස්සේ ඔරුවකින් වැඩම කරනා ගමන අතරතුර වත්මන් බෙල්ලන්විල රාජමහා විහාරය ආසන්නයේ දී ඇසුණු හේවිසි රාවය සොයා යෑමේ ප්‍රතිඵලය වූයේ වන රොදින් වැසී තිබූ බෙල්ලන්විල මහානුභාව සම්පන්න දෙතිස්ඵල බෝධීන්වහන්සේ සොයා ගැනීමයි. එදා පටන් විහාරාධීපතීන්වහන්සේලා පස් නමක් යටතේ බෙල්ලන්විල විරාජමාන විය.

පුරා අවුරුදු දෙදහස් තුන්සියයකටත් අධික කාලයක් තිස්සේ නිරුපද්‍රිතව වැඩ හුන් බෙල්ලන්විල දෙතිස්ඵල බෝ සමිඳුන් විරාජමානව වැඩහිඳීන බෙල්ලන්විල රාජමහා විහාරයේ හයවන අධිපතීන්වහන්සේ ලෙස අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයේ වැඩ සිටි බෙල්ලන්විල ශ්‍රි සෝමරතන නාහිමියන් ගේ වැඩමවීමෙන් පන්සලට මතු නොව ගමටත් කීර්තියක් අත්වන ඓතිහාසික එකක් වනු ඇතැයි එදා කවුරුත් නොසිතන්නට ඇත. එහෙත් අද ලෝක ප්‍රසිද්ධ බෙල්ලන්විල රාජමහා විහාරය මේ තත්ත්වයට ඔසවා තැබූ නියමුවාණෝ උන්වහන්සේ ය.

බෙල්ලන්විල විහාරය, රාජමහා විහාරයක් වුවත් එහි ශ්‍රි විභූතිය යටපත් වී තිබුණි. එය කළ එළි කිරීමේ වගකීම පසුදා පටන්ම ඇරඹූ සෝමරතන නාහිමියන්ට හතළිස් හතේ අවුරුද්දේ තවත් ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවිය. මඩ ගොවිතැන් සරුවට කෙරුණු සුන්දර බෙල්ලන්විල ගමේ නොසිතූ ගව වසංගතයක් පැතිරෙන්නට විය. ගමේ ගව සම්පත ක්‍රමයෙන් අඩු විය. කුඹුරට කමතට හදවතින්ම පෙම් බැඳි සෝමරතන නාහිමියන්ට මෙය ඉහිලුම් නොදෙන්නක් විය. මේ සියල්ලෙන් පීඩා විඳීන ගමේ මිනිසුන්ගේ දුක කාටත් කලින් දැනෙන්නේ ගමේ පන්සලටය. මේ ව්‍යසනයෙන් ගැලවෙනු පිණිස තිසරණ සරණත් දෙවිරැකවරණත් ගමට ලැබුණොත් මේ උවදුර දුරුකරගැනීම එතරම් ලොකු දෙයක් නොවන බව සිතූ සෝමරතන නාහිමියෝ ගැමියන් කැඳවා කරුණු පහදා ධාතු කරඬුව ගමවටා වැඩමවා ගමට සෙත් කරන පෙරහරක් කරමු, යි යෝජනා කළහ. යෝජනා ස්ථිර කළත් නොකළත් සිතූ වැඩේ කිරීම නාහිමි සිරිත බැව් දන්නා ගැමියෝ එකහෙළා නාහිමියන් සමග සීරුවෙන් සිටගත්හ.


බෙල්ලන්විල
ධම්මරතන නා හිමි


බෙල්ලන්විල
විමලරතන අනු නා හිමි

ඒ අනුව හතළිස් හතේ අවුරුද්දේ දුරුතු මහ ගෙවෙන්නට ආසන්නයේ බෙල්ලන්විල ගමට ආසිරි පතා දුරුතු පෙරහර වීදි සරන්නට විය. අසිරියකි. වසංගත දුරුවිය. කෙත්වතු සරු විය. මිනිසුන් සුඛිත විය. එහෙත් පෙරහර නම් නැවතුණේ නැත. හතළිස් අට, හතළිස් නමය අවුරුදු දෙකේත් දුරුතු පෙරහර පවත්වා පෙර පරිදිම ගමට ආශිර්වාද කළහ. එසේ ඇරඹි බෙල්ලන්විල පෙරහර විවිධ හේතූන් නිසා දුරුතු මහෙන් ඇසළ මහට මාරු වෙන්නේ එක්දාස් නමසිය පනහේ අවුරුද්දේ ය.

ශ්‍රි සෝමරතන නාහිමියෝ කල් යත්ම පෙරහරට විවිධාංග එක් කළහ. සති පිරිතක් පවත්වා පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම ඉන් එකකි. ඇතැම් අවුරුදු වල සති තුන හතර එකදිගට පිරිත් පින්කම් පවත්වා ඇති අතර මහ පෙරහරට අලි ඇතුන් සියයකටත් අධික සංඛ්‍යාවක් සහභාගී කරවූ බැව් පැරණි ගැමියෝ අදත් සිහි කරති.

ඇසළ මංගල්‍යය තිස් තුනකට නායකත්වය දුන් සෝමරතන නාහිමියන් ඒ වන විට පසුවූයේ රෝගී තත්ත්වයෙනි. එක්දාස් නමසිය අසූ හතරේ තිස් හතරවන ඇසළ පෙරහරටත් සියල්ල සූදානම් විය. ලෙඩ ඇඳේ හුන් නාහිමියෝ ද මේ සියල්ල බලා සතුටු විය. පෙරහර කරන්නට සති පිරිත් ආරම්භ විය. දවස දෙක ගතවිය. නාහිමි හදිසියේ ම රෝහල් ගත කෙරුණි. සති පිරිතේ හවස මහපිරිත අතරතුර බෙල්ලන්විල පන්සලට ලැබුණු පුවත වූයේ බෙල්ලන්විල යුග පුරුෂයාගේ නික්මයාම ගැනයි. පිරිත් නතර විය. තිස් හතර වන ඇසළ උළෙල ආදාහන උළෙලක් බවට පරිවර්තනය විය.

අසූ පහේ අවුරුද්දේ පටන් නාහිමියන්ගේ බර කරට ගත්තේ වර්තමාන විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් සහ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් විසිනි. පෙර සිරිත් සියල්ල නොකඩවා කරමුයි. දෙදෙනා වහන්සේ තිර අදිටනක පසවූහ. සිය ගුරුදේවයන්ගේ ඇසුරින් ලත් අත්දැකීමෙන් පෙහෙණි වූ උන්වහන්සේලා අද දක්වාම ඇසළ මංගල්‍යයට නායකත්වය දෙති.

එනිනුදු විහාරාධිපති නාහිමියන් විදෙස්ගතව කරන ධර්මදූත මෙහෙවරෙහි කාර්ය බාහුල්‍ය නිසා වර්තමානයේ දී මේ සියලු කටයුතු වලට නායකත්වය දෙන්නේ අපේ ආචාර්යෝත්තම විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් වහන්සේ ය. ස්වකීය ආචාර්යයන්වන්සේගේ පුරුද්ද පරිද්දෙන් මෙම ඇසළ පුණ්‍යෙීත්සවයේ මුල පටන් අගටත් අග පටන් මුලටත් සියලු සංවිධාන කටයුතු මෙන්ම පෙරහර පෙළගැසෙන අනුඅපිළිවෙල ගැනත් හුදු ස්මරණයෙන්ම ක්‍රියාත්මක වන්නට උන්වහන්සේට ඇත්තේ අපූර්ව හැකියාවකි. ඒ සියලු අත්දැකීම් උන්වහන්සේ ලද්දේ වසර ගණනාවක් පෙරහර තනිවම කර පුරුද්දෙනි.

එබඳු හැකියාවක් ඇතත් වර්තමානය වන විට මෙහි වගකීම ඇසළ පෙරහර කොමිටියට පවරා උන්වහන්සේ ඒ සියල්ල මෙහයවති. ඇසළ පෙරහර කොමිටියේ සංවිධායකත්වයෙන් විහාරස්ථ දායක සභාව, තරුණ බෞද්ධ සංවිධානය, තරුණ බෞද්ධ සංසදය, ශ්‍රී බෝධිරාජ කුළගන සමිතිය, හා දහම් පාසල, ආදී සංවිධානයන්හි සහයෝගයෙන් වර්තමානයේ මේ සියලු කාර්යයන් පෙළගැස්වෙයි. මේ සියල්ල මෙහෙයවීමේ දී අපේ සහෝදර ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගෙන් නාහිමියන්ට ලැබෙන සහාය අමිල ය.

එක්දාස් නමසිය පනහේ පටන් අද දක්වාම වසර හැට හතක් පුරාවට ඒ මහා ඇසළ පෙරහර මංගල්‍යය පෙර සිරිත් නොකඩවා පවත්වාගෙන එනු ලබයි. මෙවර පැවැත්වෙන ඇසළ පූජොත්සවය පෙළ ගැස්වී ඇත්තේ මෙපරිද්දෙනි.

අගෝස්තු මස 10,11,12 යන තෙදින මෙම ඇසළ මංගල්‍යයේ නිර්මාතෘවර බෙල්ලන්විල ශ්‍රි සෝමරතන නාහිමියන් අනුස්මරණය කරනු පිණිස තෙදිනක් පුරා ගුණසමරු ධර්ම දේශනා පින්කම් පැවැත්වීමෙන් ඇසළ උළෙලෙහි කටයුතු ආරම්භ වන අතර අනතුරුව 13 වන දා රාත්‍රියෙහි පුරා සතියක් මුළුල්ලේ පැවැත්වෙන සති පිරිත් දේශනාව සඳහා පිරිත් පිරීම සිදුකරන අතර සතිය ගෙවී යන අගෝස්තු 19 වනදා දේවදූත පෙරහර පවත්වා ඉතා විසිතුරුව දොරකඩ අස්න සහ අනුසාසනා අස්න දේශනාව සිදුකොට පිරිත් පින්කම නිමා කරනුයේ සදේවක ලෝකයාට පින් පැමිණවීමෙනි. එදින ම සවස පෙරහරට අවැසි වළං හට්ටි මුට්ටි සම්පාදනය කරනු පිණිස අතීතයේ පටන් පැවැති කුඹල් පෙරහර පැවැත්වීම ද සිදු කෙරේ.

මල් පෙරහර හතරක් අගෝස්තු 20,21,22,23 යන දින හතර පුරා පැවැත්වේ. අගෝස්තු 24 වනදා වඩා වැදගත් පෙරහරකි. පසුගිය වසරේ පෙරහර මංගල්‍යයේ දියකැපීමෙන් පසු ගෙවැදී ඇතුල් මාලිගයේ වඩා හිඳුවන ලද සර්වඥ ධාතු කරඬුව මුල් වරට ඉන් පිටතට වඩමවනුයේ මෙදිනයි. පෙරහර පුරාවට දා කරඬුව වඩමවන්නේ පාවඩ පිටින් බැවින් මෙදින පෙරහර පාවාඩ පෙරහර නමින් නම්කෙරී ඇත. අගෝස්තු 25 දිනයෙහි රාත්‍රියෙහි සියලු නර්තනාංගයන්ගෙන් සමන්විතව සතර දේවාලය ආභරණ සහිතව රන් සිවිලි පෙරහර ගම වටා වීදි සංචාරය කරයි. දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගයෙන් ගොස් සෝමරතන මාවතට පිවිස නැවත විහාර මාවතින් ගෙවදින මෙම පෙරහර එක් අතෙකින් පසුදා පැවැත්වෙන මහ පෙරහරට පෙරහුරුවකි. අගෝස්තු 26 වන සෙනසුරාදා දිනය බෙල්ලන්විල ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් දිනයයි. සකලාංග සම්පූර්ණ පෙරහරක් වන රන්දෝලි මහ පෙරහර මෙදින රාත්‍රියේ වීදි සංචාරය කරනුයේ අති විශාල ජනතාවකට දැකබලා ආශිර්වාද ලබාගැනීමට ඉඩ හසර සලසමිනි.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]