UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රාතිහාර්ය මැද ලක්දිවට වැඩම වූ වාම දළදා වහන්සේ

ප්‍රාතිහාර්ය මැද ලක්දිවට වැඩම වූ වාම දළදා වහන්සේ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේ සතර නමක් ප්‍රධාන වශයෙන් ඉතිරි වුණා. ඒ දළදා වහන්සේ හතර නමත්, අකු ධාතුන් වහන්සේ දෙනමත්, ගී‍්‍රිවා ධාතුන් වහන්සේ සහ, ලලාට ධාතුන් වහන්සේ ලෙසයි. අනෙක් ධාතුන් වහන්සේලා සියල්ලම සහල් ඇට, මුංපියලි, අබ පියලි ආදි කුඩා ප්‍රමාණයට බෙදුන ආකාරය ධාතු වංශයෙහි සඳහන් වෙනවා.

තථාගතයන් වහන්සේගේ සිරි දළදා වහන්සේ සතර නමෙන් වාම ශ්‍රී දළදා වහන්සේ පිළිබඳවයි මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ. ඒ උතුම් දළදා වහන්සේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සතර අතට සෙත සදමින් වැඩ වෙසෙනවා.

වාම ශ්‍රී දළදා වහන්සේ එදා බුදුරජාණන් වහන්සේගේ චිතකයෙන් ලබාගෙන කළිඟු රටේ බ්‍රහ්මදත්ත නම් රජතුමාට බාර දුන්නා. ඒ රජු ඉතාමත් විචිත්‍රවත් මාළිගාවක් තනවා එහි ධාතුන් වහන්සේ වඩා හිඳුවා වැඳුම්පිදුම් කළා. ඒ රජුගේ මරණින් පසුව එතුමාගේ පුත්‍ර කාසී නම් රජු විසින් දළදා වහන්සේට පෙර ආකාරයට වැඳුම් පිදුම් කළා. කාසී රජුගේ පුත්‍රයා වන සුනන්ද රජුද තම වැඩිහිටියන් කළ ආකාරයට දළදා වහන්සේට වැඳුම් පිදුම් කළා. ඒ ආකාරයට දන්තපුරයේ වැඩසිටි දළදා වහන්සේ පරම්පරාවෙන් පැමිණ පඬි නම් රජෙකුගේ බාරයේ වැඩ සිටියා.

එකල ලංකාවේ රජ කළේ මහසෙන් රජුයි. ඔහු සහ දන්තපුරයේ එවකට රජ කළ ගුහසීව රජු බොහෝම හිතමිතුරුයි. ඔවුන් නොදුටු මිතුරෝයි. මේ ගුහසීව රජු නිගන්ඨයින්ට උපස්ථාන කළ, ගරු බුහුමන් කළ, ඒ දහම පිළිගත් අයෙක්. ඔහු බුද්ධ ශාසනය කෙරෙහි ගෞරවයක්, පැහැදීමක් ඇති අයෙක් නොවේ.

නිගන්ඨයින් ඒ රජු වෙත ගොස් කියනවා රජතුමනි, ඔබ වහන්සේගෙන් යැපෙන පඬි රජු දෙවියන්ට, බ්‍රහ්මයන්ට, ගින්දරට, වඳිනවා. ඒ වගේම තවත් අදෘෂ්‍ය දෙයකටත් වන්දනාමාන කරනවා කියා. මෙය ඇසූ ගුහසීව රජුට තරහ ගියා. ඇමැතිවරයෙකු යවා වන්දනා කරන අදෘෂ්‍යමාන දෙයත්, පඬි රජුත් කැඳවාගෙන එන ලෙස අණ කළා. ඒ ඇමැති පඬි රජු වෙත ගියා. රජු කියනවා ඔබ මේ දකින්නට ආවේ මේ ලෝකයේ තිබෙන උතුම් ම දෙයයි. ඒ ගැන පැහැදීම ඇතිකර ගන්න කියමින් තථාගතයන් වහන්සේගේත්, ධාතුන් වහන්සේගේත් ගුණ කිව්වා. ඒ ඇමැතිට ධාතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවුණා. ඔහු ධාතු මන්දිරයට යනවිට කරඬුව දෙබෑවී ධාතුන් වහන්සේ ආකාසයට පැන නැඟ සුදු රැස් විහිදවමින් ආකාසයේ වැඩ සිටියා. එය දළදා ප්‍රාතිහාර්ය යි. ඇමැති රජු අණට කීකරුව දළදා කරඬුව හිස මත තබාගෙන ගුහසීව රජු වෙත ගියා. නිගන්ඨයන් කියනවා

”රජතුමනි, මෙය මාළිගාවට ගන්න එපා”. රජු අහනවා “එසේනම් කුමක්ද කරන්නේ?” “කුණුවලට වීසි කරන්න”. ධාතුන් වහන්සේ කුණු වලට වීසි කළා. ඒ කුණුවල මැද නෙළුම් මලක් පිපුණා. ඒ මලේ ධාතුන් වහන්සේ වැඩ සිටියා.මහනුවර දළදා මාළිගාවේ වැඩ සිටින්නේ එසේ අපමණ ප්‍රාතිහාර්ය පෑ ධාතූන් වහන්සේ යි.

දැන් නිගන්ඨයන්ට ලජ්ජා සිතුණා. “රජතුමනි මෙය තලා දාන්න” කියා ඔවුන් කියා සිටියා. ධාතුන් වහන්සේ කිණිහිරෙන් තැලුවා. කිණහිර ඇතුළට ධාතුන් වහන්සේ කිඳා බැස්සා. නිගන්ඨයින් කියනවා “රජතුමනි, මෙසේ ප්‍රාතිහාර්ය පාන්නේ අපේ විෂ්්ණු දෙවියන්ගේ ධාතුන් වහන්සේ නිසයි. රජු නිගන්ඨයින්ට කියනවා “එසේනම් ඔබලා කිණිහිරෙන් මේ ධාතුන් ගන්න” කියා. නිගන්ඨයන් නොයෙක් පුද පූජා කරමින් විෂ්ණු දෙවියන්ගේ ගුණ කියමින් ධාතුන් වහන්සේ වඩින සේක්වා කියා කියනවා. නමුත් ධාතුන් වහන්සේ වැඩියේ නැහැ.

සසරේ ස්වභාවය කෙතරම්ද කියනවා නම් එතැන සිටියා පින් ඇති සුභද්‍ර නම් සිටුවරයෙක්. ඔහු රජතුමාට කියනවා මේ අපේ ශාස්තෘන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ නමක් කියා. රජු කියනවා එසේනම් ඔබ මෙය ගන්න කියා. ඒ සිටුකුමාරයා ශාස්තෘන් වහන්සේ සසරේ පෙරුම් පෙරූ ආකාරය, සත්ත්වයන්ට කරුණාව, මෛත්‍රිය දැක්වූ ආකාරය ආදිය කියමින් ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අපට අනුකම්පා පිණිස වඩින සේක්වා කියා සිටියා. එවිට ධාතුන් වහන්සේ කිණිහිරෙන් ගිලිහී ආකාසයේ සුදු රැස් විහිදුවමින් වැඩ සිටියා.

මිථ්‍යාදෘෂ්ඨික රජු නැවත නිගන්ඨයන්ගේ බසට රැවටී ධාතුන් වහන්සේ මඩවලකට දමන්ට අණ කළා. ඒ මඩ වලෙහි පස් පියුම් පිපුණා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරන ආකාරයට ධාතුන් වහන්සේ පියුමෙන් පියුමට වැඩියා. රජතුමාද ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක පැහැදුණා. ශ්‍රද්ධාව ඇතිකර ගත්තා. ධාතුන් වහන්සේට වන්දනාමාන කළා. භාග්‍යවතුන් වහන්ස මට සමාව දෙනවානම් මගේ සිරසේ ධාතුන් වහන්සේ පිහිටත්වා කියා අධිෂ්ඨාන කළා. ධාතුන් වහන්සේ ඔටුන්න උඩ තිබෙන චූඩා මාණික්‍යයේ වැඩ සිටියා. රජතුමා බුදුගුණ කියමින් ධාතුªන් වහන්සේ මුළු රටේම ප්‍රදක්ෂිණා කර පුද සත්කාර කර නැවතත් පඬි රජුට ලබා දුන්නා.

මෙසේ ආනුභාව සම්පන්න ධාතුන් වහන්සේ නමක් පඬි රජු ළග තිබෙන බව නපුරු රජෙකු වූ චීරදාරු නම් රජෙකුට දැනගන්න ලැබුණා. ඔහු පඬි රජුගේ රාජධානිය ආක්‍රමණය කළා. ඒ යුද්ධයේදී චීරදාරු රජු පැරදුණා. පඬි රජු ධාතුන් වහන්සේ බේරා ගත්තා. කාලයකදී මේ චීරදාරු රජුගේ බෑණාවරුන් නැවත ධාතුන් වහන්සේ ලබා ගන්නට යුද්ධයක් කළා. පඬි රජුගේ බෑණා වූ දන්ත කුමරුටත් දියණිය වූ හේමමාලා කුමරියටත් යුද්ධයට යන්න කලින් රජු කියනවා “දන්ත ධාතුන් වහන්සේ උදෙසායි මේ යුද්ධය තිබෙන්නේ. මම යුද්ධයෙන් පැරදුණොත් මේ ධාතුන් වහන්සේ රැගෙන ඔබලා සිංහල දීපයට යන්න. ඒ රට රහතන් වහන්සේ හිස් නැහැ. ශ්‍රද්ධාවන්ත රජෙකුයි ලංකාදීපය පාලනය කරන්නේ. පඬි රජු යුද්ධයේ දී පැරදුනා. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ධාතුන් වහන්සේද රැගෙන ලංකාදීපයට පලා ආවා.

ඔවුන් බොහෝ දුර පැමිණ පසු පැන් පහසුවෙන්න ගංගානම් ගඟේ වැලි ගොඩ තුළ ධාතුන් වහන්සේ සඟවා පැන් පහසු වුණා. එතැනින් රහතන් වහන්සේ නමක් ආකාසයෙන් ගමන් කරමින් සිටියේ. උන්වහන්සේ දුටුවා වැලි ගොඩින් රැස් විහිදෙනවා. ඒ ධාතුන් වහන්සේ නමක් බව දැන උන්වහන්සේ පහතට බැස වන්දනා කළා. අර දෙදෙනා පැන් පහසු වී එනවිට ස්වාමින් වහන්සේ නමක් වැලි ගොඩේ ඇති ධාතුන් වහන්සේ වන්දනා කරනවා දුටුවා. රහතන් වහන්සේ අසනවා “ඔබලා කොහේද මේ යන්නේ”. “සිංහල ද්වීපයට.” “සිංහල දීපයේ තමයි බුදු සසුන පිහිටන්නේ ඔබලා යන්න. මඟදී කරදරයක්, බාධකයක් වුණොත් මා සිහි කරන්න” යැයි කියා ඒ රහතන් වහන්සේ කියා නොපෙනී ගියා. බොහෝ දුරක් ගිය මේ දෙදෙනා කරඬුව ගඟක් අසල සඟවා ආහාර සෙවීමට ගියා. ඒ අසලින් ගිය පණ්ඩුභාර නම් නාගයෙක් ධාතු කරඬුව දැක එය ගිල හිමාල පර්වතයේ පාමුල සැඟවී සිටියා.

මේ දෙදෙනා පැමිණ බලන විට ධතුන් වහන්සේ වැඩ සිටියේ නැහැ. ඔවුන් කලබල වී ඉහත කී රහතන් වහන්සේගේ නම සිහි කළා. රහතන් වහන්සේ ගුරුළුවෙකුගේ වෙසක් මවා පණ්ඩුභාර නම් ඒ නාගයා දමනය කොට කරඬුව ගෙනත් දී එදා ලංකාවට එන නැවක් පෙන්වා එහි ලංකා දීපයට යන ලෙස දැනුම් දුන්නා. නැවට ගොඩ වූ විට මුහුදේ රැල්ල නැවතුන බව පොත්පත් වල සඳහන් වෙනවා. නැව ඉදිරියට යනවා රැල්ල නැහැ. මුහුදේ සිටි නාගයන්ට පෙනෙනවා නැව තුළින් රැස් විහිදෙනවා. නාගයන් නැව වට කළා. වටේම නාගයෝ සිටි නිසා නැවට ගමන් මාර්ගය පෙනුනේ නැහැ. නැවතත් ඒ දෙදෙනා රහතන් වහන්සේගේ නම සිහිකළා. උන්වහන්සේ සෘද්ධියෙන් වැඩ ගුරුළු වෙසක් ගෙන නාගයන් පලවා හැරියා. ඉන්පසු ධාතුන් වහන්සේ සුවසේ ලංකාවට වැඩමවා තිබෙනවා.

මේ වනවිට ලංකාව පාලනය කළේ කිස්තිරි මෙවන් රජතුමායි. දන්ත කුමරුයි හේමමාලා කුමරියයි ධාතුන් වහන්සේ සමඟ ගොඩ බැස්සේ ලංකා පටුනටයි. ඔවුන් මේඝගිරි විහාරයේ වැඩසිටි සංඝයා වහන්සේට ධාතුන් වහන්සේ බාර කළා.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]