ඇසළ අමාවක 2017.07.23
බෞද්ධ සිරිත
බුදුරජාණන් වහන්සේ ගිහි සමාජය වෙනුවෙන් පංචශීල ප්‍රතිපදාව අනුදැන වදාළේ පුද්ගල
සුරක්ෂිතතාව මෙන්ම සමාජ සුරක්ෂිත බවද ඇති කරනු පිණිසය. තෙරුවන් සරණ ගිය බෞද්ධයා
අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිපදාවට අනුගතව ජීවිතය හැඩගස්වා ගන්නේ නම් හේ අර්ථචර්යාවෙන්
යුතු පුද්ගලයෙක් වන්නේය. තමන් පස්පවින් දුරුවී ජීවත්වනවා යන සතුට ඒ පුද්ගලයාට
හිමිය. එබඳු තැනැත්තා ජීවත්වන පරිසරයද සාමකාමීය. ජීවත්වීමට වඩාත් සුදුසු වන්නේය.
බුදු දහමට අනුව කෙනෙක් සාර්ථක ජීවිතයක් ගත කරනවා නම් ඒ පුද්ගලයා මෙලොව ,පරලොව දෙකම
ගැන දැන සිටිය යුතුය. තමන් කරන කුසල,අකුසල කර්මයන්ගේ විපාක මේ ජීවිතයේත් පරලොව
ජීවිතයේත් විඳින්නට වන බව දැන සිටිය යුතුය. වෙනස්වීම නම් වූ ලෝක ස්වභාවය පිළිබඳව
දැන සිටිය යුතුය. තමන්ටත් අනුන්ටත් හිතකර ලෙස, අර්ථ සම්පන්න ලෙස ජීවිතය හසුරුවා ගත
හැකි වන්නේ එවිටය.
අර්ථ චර්යාවෙන් යුතු පුද්ගලයෙක් වීමට පංච ශීලයෙන් දුරුවීම පමණක් ප්‍රමාණවත් වන්නේ
නැත. අන්‍යයන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් කොටසක් ද වේ. අඹු දරුවන්
වෙනුවෙන් මවුපියන්, වෙනුවෙන්, නෑදෑ හිත මිතුරන් වෙනුවෙන්, ආදී සමාජයේ විවිධ
සාමාජිකයන් වෙනුවෙන් වගකීම්, යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නට කැප විය යුතුය. ඉටු කළ
යුතුය. සිතිවිලි මාත්‍රයකින් හෝ අනුන්ට කරදරයක් නොවන ලෙස ජීවත්වන්නට හැකි විය
යුතුය.
බුදුරජාණන් වහන්සේ මවුපියන් වෙත තිබිය යුතු උතුම් ගුණාංගයන් ලෙස සිව් බඹ විහරණ
හඳුන්වා දුන්හ. ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණ සතරය. මවකට සිය දරුවා තරම්
වටිනා සම්පතක් මෙලොව තවත් නැත.
දරුවාගේ දියුණුවේ දී ඇය තරම් සතුටුවන වෙනත් කෙනෙක් ඇතැයි ද සිතිය නොහැකිය. සමාජයේ
ජීවත්වීමේදී අප අන්‍යයන් වෙත දැක්විය යුතු වන්නේද එවන් මුදිතාවකි. එනම් සතුටු
සිතිවිල්ලකි. අනුන්ගේ දියුණුව දැක, ඊර්ෂ්‍යා සහගත ලෙස ඒ තැනැත්තා පිළිබඳ තරහ උපදවා
ගන්නවා නම්, පරිහානිය ප්‍රාර්ථනා කරනවා නම් , නැති දොස් දක්වමින් තැන තැන විවේචනය
කර තමන්ගේ සිත සතුටු කරගන්නට උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා අර්ථ සම්පන්න වන්නේ නැත.
ඊර්ෂ්‍යා සහගත හැඟීම් සිත ගිනියම් කරයි. දැවෙන සිත නිරන්තරයෙන් ලෙඩ වෙයි. එවිට කරන
කියන කිසිවක් සාර්ථක කර ගන්නට අපහසු වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අන්
දියුණුවේදී ඊර්ෂ්‍යා කිරීම, ‘අනේ මට නොලැබුණා’ යැයි දුක් වීම නොව තමන්ටත් ඒ දියුණුව
ලබන්නට හැකි නිවැරැදි මාවත ගැන විමසීමය. ඒ සඳහා උත්සාහවත් වීමය.
මෛත්‍රී සිත වර්ධනය කළ පුද්ගලයාගේ ජීවිතයෙන් සියලු සතුරන් ඈත් වේ. කරුණා ගුණය සේම
ජීවිතයේ සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමද ජීවිතයක සාර්ථක බවට හේතුවෙයි.
“මම නිදුක් වෙම්වා,නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා’ යනුවෙන් තමන්ට මෙත් වඩන ඔබ ලෝකයට
ද මෛත්‍රී සහගත විය යුතුය. කවර හේතුවක් නිසා හෝ අන් කෙනෙක් රවටනවා නම්, නැති
අවස්ථාවක් බලා අවමන් ගැරහුම් කරනවා නම්,ඔවුන්ගේ දුකම කැමැති වෙනවා නම් සියලු
සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, යි පුරුද්දක් ලෙස කියවාගෙන
යාමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.
ජීවිතය යහපත් කරගන්නට නිරතුරුවම ධර්මය ශ්‍රවණය කළ යුතුය. දහම් පොත පත ඇසුරු කළ
යුතුය. ධර්මය කලණ මිතුරකු ලෙස නිරතුරුවම ජීවිතයට සමීප කර ගත යුතුය. මේ නරක දේය, මේ
හොඳ දේය, මම නිවැරැදි පුද්ගලයෙක්ද, මම වැරැදි කරන්නෙක්ද, යහපත කුමක්ද? අයහපත
කුමක්ද, මේ ආදි සියල්ල තෝරා බේරා ගත හැකි වන්නේ, සිතෙහි ධාරණය කරගත හැකි වන්නේ
එවිටය.
මේ පින්බර වස් සමය උදාවූ කාලයයි. වෙහෙර විහාරයන්හි නිරන්තර ධර්ම දේශනා, ධර්ම
සාකච්ඡා පැවැත්වෙන කාලයයි. හැකි සෑම විටෙකම මේ වැඩසටහන්වලට සහභාගි වන්නට උත්සාහ
කරන්න. ජීවිතයට ධර්මය සමීප කරගන්න. එවිට අර්ථසම්පන්න පුද්ගලයෙක් වීම අපහසු නොවේ.
|