UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

වෙසක් අව අටවක 2017.05.18

අනාගතයේ අභිමානයට ...

එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින සැමරුම් උළෙල ඉතා සාර්ථක ලෙස නිමාවූයේ සම්බුද්ධ දේශිතයේ සාමය පිළිබඳ පණිවුඩයද ලෝකයට හඳුන්වා දෙමිනි. ථෙරවාදී සම්බුදු දහමින් සුපෝෂිත රටක් ලෙසින් විවිධ ජාතීන් සුහදත්වයෙන්, සාමයෙන්, සංහිඳියාවෙන් ජීවත්වන රටක් ලෙසින් මව්බිමේ අභිමානය ද, ගෞරවනීය බවද ලෝකයට ගෙන යමිනි. මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේගේ ඉගැන්වීම් මඟ යන බොදුනුවන් ලෙස ඒ අභිමානයද, ගෞරවයද සුරක්ෂිත කිරීම, අපේ අනාගත පරපුරට දායාද කිරීම අපගේ යුතුකම වන්නේ ය. මෙලොව පරලොව දෙලොවටම හිත පිණිස, සුව පිණිස දේශිත අපූර්ව ධර්ම මාර්ගයක් අපට තිබේ.

මිනිසුන් ලෙස ඉපිද, මිනිස්කමේ ගුණ සුවඳින් ජීවිතය මෙන්ම ලෝකයද සුවඳවත් කර ගන්නට ඒ දහම් මඟ අපට උගන්වයි. ගෙවීගිය වෙසක් සතිය පුරාද ඒ ගුණ සුවඳ ගම් දොරක් පාසා, වෙහෙර විහාරයක් පාසා පැතිර ගියේ ය. මේ කියන්නට යන්නේ ද වෙසක් සතියේ අවසන් දිනයේ දුටු එවන් අපූර්ව පූජාවක් පිළිබඳවය. එදා ඒ දහම් පාසල් බිමේ සුදෝ සුදුවතින් සැරසුණු සිසු දරු දැරියෝ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වූහ. තෙරුවන් ගුණ පබැඳි අපූර්ව බොදු ගී සරණියක් ඔවුන් විසින් සංවිධානය කරනු ලැබ තිබුණි. විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙන්ම මවුපිය වැඩිහිටියෝ ද දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා එළි දක්වන්නට සවිමත් අත්වැලක් වූහ. ලොකු කුඩා කණ්ඩායම් වශයෙන් බෙදී ඉතා සංයමයෙන්, ඕනෑකමින්, සැදැහැ සිතින් ගැයූ බොදු ගී ගායනය සැන්ඳෑයාමයේ සිට මැදියම් රැය ආසන්න වනතුරු ද පැවැත්විණි. කිසිවෙකුට වෙහෙසක් නොවුණි. පන්සල් බිම සිසාරා ඇසුණු තෙරුවන් ගුණ ගී හඬ සැම සිත් නිවා සනහාලූයේ ය. අගය කළ යුතු වන්නේ මෙවන් කාර්යයකට දරුවන් යොමු කරවීමය. බොදු ගී සරණිය ඉදිරිපත් කළ සාර්ථක අයුරින්ම මේ දරුවෝ ඊට දින ගණනාවකට පෙර සිටම ඒ සඳහා සූදානම් වී ඇති බව පැහැදිලි විය. කාලය ද ශ්‍රමය ද කැප කරන්නට ඇත. අවශ්‍ය සැරසිලි සඳහා සිත වෙහෙස වන්නට ද ඇත.

එහෙත් අද සමහර මවුපියන් ඉරිදා දහම් පාසලටවත් දරුවන් නොයවන්නේ එදිනටද අමතර පන්ති පැවැත්වෙනවායි කියමිනි. එක්කෝ පාඩම් කරන්නට, විභාගවලට, සූදානම් වන්නට තිබෙනවා යැයි කියමිනි. පාසල් පොත පතට සේම දහම් අධ්‍යාපනය ද දරුවන්ට ඉතා වැදගත්ය. ආගම දහම් මුල් කර ගනිමින් සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් දරුවා තුළ සංයමය ඇති කරයි. එක්ව වැඩ කිරීමේ දී මතුවන ප්‍රශ්න ගැටලු විසඳා ගන්නා ආකාරය ප්‍රායෝගිකවම ඉගෙන ගනියි. පන්සලේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ඊට මහෝපකාරී වෙයි. ඒවගේම ඉවසීම, කැපවීම ඉගෙන ගනියි. බෙදා හදා ගන්නට හුරු පුරුදු වෙයි. අඩුපාඩු මඟ හරවා ගනියි. ඔවුනොවුන් අතර දැනුම බෙදා හදාගනියි. එකමුතුකමින් වැඩ කරන්නට පුරුදු වෙයි. නායකත්ව ගුණ දැන ගනියි. පරාර්ථකාමී වෙයි. ආගමට දහමට තව තවත් නැඹුරුවෙයි. එවැනි දරුවෙක් කිසි විටෙක මතට ඇබ්බැහි වන්නේ නැත. අනවශ්‍ය ලෙස ජංගම දුරකථනයට අන්තර්ජාලයට කාලය කැප කරන්නේ නැත. අසංවේදී, ආත්මාර්ථකාමී වන්නේ නැත. වැඩිහිටියන් නොසලකන්නේ නැත. සරලවම කියනවා නම් සමාජයට බරක් වන්නේ නැත. නැණ ගුණ දෙකෙන්ම සුපෝෂිත වූ දරුවාගේ අනාගතය යහපත්ය. වැඩිහිටියන් ලෙස අප වෙත පැවරෙන වගකීමද එවැනි දරුවන් අනාගතයට දායාද කිරීම මිස රැකියා සඳහා පමණක් දරුවන් සූදානම් නොකිරීමය. ආගමික කටයුතුවලට දරුවන්ට වැඩිපුර අවකාශය ලබා දීම, ඒ සඳහා ඔවුන්ට අනුබල දීම කළ යුතුමය. එවිට හෙට දවස ගැන තැවෙන්නට සිදු වන්නේ නැත. රටේ ගෞරවයද අභිමානය ද සුරැකෙන්නේ එවැනි පරපුරක් අනාගතයට දායාද කළේ නම් පමණි.

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]