UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වරද හා නිවරද තේරුම් කරදෙන අම්බලට්ඨිකා රාහුලොවාද සූත්‍රය

වරද හා නිවරද තේරුම් කරදෙන අම්බලට්ඨිකා රාහුලොවාද සූත්‍රය

රාහුල සාමණේරයන් වහන්සේ ‘අම්බලට්ඨිකා’ නම් වන සෙනසුනක ගතකළ අවදියෙහි, දිනක් භාග්‍යවතුන් වහන්සේ රාහුල සාමණේරයන් දකිනු පිණිස අම්බලට්ඨිකාවට වැඩම කළ සේක. බුදුන් වහන්සේ සෙනසුනට වඩිනු ඈත දීම දුටු රාහුල කුඩා සාමණේරයන් බුදුරදුන්ට වැඩ සිටීමට සුදුසු ආසනයක් පැන වූහ. පා සේදීමට පැන් බඳුනක් පිළියෙල කොට තැබූහ. බුදුන් වහන්සේ සෙනසුනට වැඩම කළ කල්හි සියලු වතාවත් දක්වා එකත් පසෙක සිටියහ. අනතුරුව බුදුන් වහන්සේ රාහුල සාමණේරයන් ඇමතූහ. රාහුල! මේ දිය බඳුනෙහි ඉතිරි වී තිබෙන දිය ස්වල්පය ඔබට පේනවා නේද? එහෙමයි ස්වාමීනි, යි රාහුල සාමණේරයන් පිළිතුරු දුන්හ. එවිට බුදුන් වහන්සේ යම් භික්ෂුවක් දැන දැන බොරුකීමට ලජ්ජා නැද්ද? ඒ භික්ෂුවගේ මහණකමත් මේ බඳුනෙහි ඉතිරි වී තිබෙන දිය ස්වල්පය වගෙයි.

ඉන්පසු බුදුන් වහන්සේ ඒ දිය ටික ඉවතට දමා, රාහුල සාමණේරයන් ඇමතූහ. රාහුල, දුටුවානේද? අර ඉවත දැමූ පැන්ටික. එසේය ස්වාමීනි, දුටුවෙමි. එවිට බුදුහු, හිතා මතා බොරු කියන භික්ෂුවගේ මහණකමත් ඒ වගේ ඉවත දැමූ එකක්. රාහුල, ඉන් පසු උන්වහන්සේ පැන් බඳුන යටිකුරු කළහ. යටිකුරු කළ පැන් බඳුන දුටුවාද රාහුල? එහෙමයි. ස්වාමීනි, දැන දැන බොරු කියන භික්ෂුවගේ මහණකමත් ඒ වගේ මුනින් අතට හැරවූ දෙයක් රාහුල. ඉන් පසු බඳුන උඩු අතට හැර වූ බුදුන් වහන්සේ, රාහුල මේ බලන්න. මේ බඳුන හිස් නේ දැයි විමසූහ.

රාහුල සාමණේර – එසේය. ස්වාමීනි,

එවිට බුදුන් වහන්සේ - දැන දැන බොරු කීමෙහි ලජ්ජා නැති භික්ෂුවගේ මහණකමත් මේ හිස් බඳුන වැනි යයි පෙන්වා දුන්හ.

බුදුරදුන් හා රාහුල සාමණේරයන් අතර පැවැති සංවාදය අවසානයේ බුදුන් වහන්සේ ඇතකු පිළිබඳ කතාවක් ද සිහිපත් කර දුන්සේක.

‘රාහුල, යම්සේ රජකුගේ බලවත් හස්තිරාජයෙක් යුද පිටියේ දී ඉදිරිපාදවලින්, පසුපාදවලින්, ඉදිරි කයින් පසු කයින්, හිසින්, කන් දෙකින්, දළවලින්, වලිගයෙන් යුද්ධ කරයි. එහෙත් සොඬය හකුලාගෙන සිටියි. එවිට ඇත්ගොව්වා ‘මේ ඇතා ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ නොකරති’යි සිතයි. ඇතා සියලු අවයවලින් මෙන්ම සොඬින් ද යුද්ධ කරන්නේ නම්, එවිට ඇත්ගොව්වා මේ ඇතා ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරති’යි සිතයි.

දැන් ඒ මහ ඇතාට නො කළහැකි කිසිවක් නැත්තාසේ ‘දැන දැන බොරුකීමට ලජ්ජා නැති භික්ෂුවටත් නොකළහැකි පාපයක්, වරදක් නැත්තේ ය. ඒ නිසා රාහුල, විහිළුවටවත් බොරුවක් නොකියන ලෙස හික්මිය යුතුයි.

අනතුරුව හොඳ, නරක හෙවත් කුසල්, අකුසල් පිළිබඳව තව දුරටත් කරුණු පැහැදිලි කරන බුදුහිමියන් ඔබ කුමක් සිතන්නෙහිද රාහුල, කැඩපතේ ප්‍රයෝජනය කුමක්ද? රාහුල හිමි, ස්වාමීනි, ප්‍රත්‍යවේක්ෂණය සඳහායි.(පිරික්සා බැලීම සඳහාය)

අන්න ඒ වගේ රාහුල, ඔබ සෑම ක්‍රියාවක්ම කරනවිට, වචනයක් කියනවිට, සිතුවිල්ලක් සිතනවිට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණය කළයුතුයි. පිරික්සා බැලිය යුතුයි. ඔබ යමක් කරනවිට මගේ මේ ක්‍රියාව තමන්ට හෝ අනුන්ට හෝ දෙපක්ෂයේම හෝ පීඩාව පිණිස හේතුවේද? දුක් ඇති බවට පෙරළෙන සාවද්‍ය අකුසලයක් වේද යනු ප්‍රත්‍යවේක්ෂණය කළ යුතුයි. එසේ ප්‍රත්‍යවේක්ෂණය කිරීමෙන් (පිරික්ෂා බැලීමෙන්) එය එසේ යයි ඔබට වැටහේ නම් ඒකාන්තයෙන්ම ඔබ එය නොකළයුතුයි. මගේ මේ ක්‍රියාව තමාට හෝ අනුන්ට හෝ දෙපක්ෂයටම හෝ පීඩා පිණිස නො පවතින හා සැපත වැඩිකරන හා ඵලය වශයෙන් සැපය උපදවන ක්‍රියාවකැයි වැටහේද එවිට එම ක්‍රියාව කිරීම සුදුසු ය.

මේ සූත්‍ර ධර්මය විවේකීව මැදහත් සිතින් කියවා බැලීමේදී අපට වැදගත් නිගමන කීපයකට එළඹිය හැකිය. බුදුන්වහන්සේ කිසියම් ක්‍රියාවක (කර්මයක) අගය මැන ඇත්තේ එයින් උපදින ඵලයට (ක්‍රියාජන්‍ය ඵලයට) අනුව බව පැහැදිලිය.

ඒ අනුව තමන් කරන ක්‍රියාව හොඳ ද නරක ද කුසල් ද අකුසල් ද කියා නිශ්චය කිරීමේ දී ප්‍රත්‍යවේක්ෂණයේ (පිරික්සා බැලීම)වැදගත්කම මේ සූත්‍රධර්මය මගින් පෙන්වා දී තිබීමද විශේෂත්වයකි. ඒ අනුව තමන් කරන ක්‍රියාව හරිද වැරදිද කියා ස්වාධීනව තමන්ටම තීරණය කර ගැනීමට ඉඩ දී තිබේ.

ඒ නිසා මෙම සූත්‍රය මගින් පෙන්වා දෙන සත්‍යය සියල්ලන්ටම පොදුය. කවර ජාතියකට හෝ කවර රටකට හෝ කවර ආගමක් අදහන්නකුට වුවත් වෙනසක් නැතිව එකසේ ප්‍රයෝජනගත හැකි සර්ව සාධාරණ ඉගැන්වීමකි. හේතුවට අනුව ඇතිවන ඵලයක් නිසා ධම්මනියාමයකි.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]