UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධිමත් මවුපියන්ගේ දුර දැක්ම

බුද්ධිමත් මවුපියන්ගේ දුර දැක්ම

" පවුලේ සියලු දෙනාම ඉතාමත්ම වටිනා ආකාරයට අර්ථවත්ව සැන්දෑයාමය ගත කරනවා නම්,එය සොඳුරු සැන්දෑවක් සේම සුන්දර රාත්‍රියක් වීමෙන් දරුවන්ගේ අනාගතය ප්‍රභාස්වර වෙයි. මේ ආකාරයෙන් කටයුතු නොකර මවුපියන් ඇත්ත වශයෙන්ම දරුවන්ට ආදරෙයිද?'

දෙමවුපියන් වශයෙන් සත්‍ය වශයෙන්ම ඔබ දරුවන්ට ආදරෙයිද?ඔව් යන පිළිතුර ලැබෙනවා මිස ,එම ප්‍රශ්නය ඇසීම පිළිබඳව පුදුමයට පත්වෙනවා හැර වෙනත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ.මවුපියන් වශයෙන් ඔබ දරුවන්ට ආදරෙයි නම්,දරුවන්ට දිය යුත්තේ අද දවසට ගැලපෙන දෙයට වඩා හෙට දවසට ගැලපෙන දේයි. බුද්ධිමත් දෙමවුපියන් ගේ දැක්ම සහ දූරදර්ශී බව විය යුත්තේ එදා කාලයට දරුවන් තැනීමට නොව තවත් වසර ගණනාවක් ඉදිරියට ගැලපෙන ආකාරයට දරුවන් හැදීමය.

ලෝකය වෙනස්වීම

අද දවසේ සමාජීය පරිසරය පිළිබදව පමණක් සිතමින්, දරුවන්ට උගන්වනවා නම්, තවත් අවුරුදු ගණනාවක් ඉදිරියට ගිය විට එම දරුවන් අන්දමන්දව අතරමං වෙයි.අද දවසට ගැලපෙන දේ ඉගැන්වීම පමණක් ප්‍රමාණවත්ද, රට කෙතරම් සීඝ්‍රයෙන් වෙනස් වෙනවාදයත්,එදා පැතුණ රට සොයාගන්න බැරි තරමට අද වන විට වෙනස් වෙලා. ආර්ථිකමය, අධ්‍යාපනික, වශයෙන් පමණක් නොව මානව අවශ්‍යථා වශයෙන්ද, එම වෙනස එදා සිට සිදූ වූ වේගයට වඩා වැඩි ෙවිගයකින් වෙනස් වෙයි.අද අධ්‍යාපනය ලබන දරුවා හෙටට නොගැලපුන හොත් දරුවන් අතරමන් වෙයි.

අද දවසේ ජීවත් වන දරුවන්ට පරිගණක දැනුම ලබාදීමට දෙමවුපියන් වැඩි උනන්දුවක් දක්වයි. වර්තමානයෙහි එම පරිගණක තාක්ෂණය බෙහෙවින් අවශ්‍ය නිසා දෙමවුපියන් එසේ ක්‍රියාකරයි. හෙට වන විට පරිගණක දැනුම නැතිව දරුවන් ඉපදෙන්නේ නැහැ. ජංගම දුරකතනය තුළින් වුවත් අප නොදන්නා බොහෝ දේ පිළිබඳව දරුවන් දැනුවත්ව සිටී. වර්තමානයෙහි පරිගණක තාක්ෂණය සහිත ජංගම දුරකතනයක් වෙළෙඳ පොළෙහි ඕනෑ තරම් දක්නට ලැබෙනවා වුවත්,තවත් අවුරුදු විස්සක් පමණ යන විට ජංගම දුරකතනය නැතිවෙන්න ඉඩ නැතිවාම නොවෙයි. ඒ වෙනුවට තවදුරටත් දියුණු තාක්ෂණික උපකරණයක් ලෝකයට හඳුන්වා දිය හැකිය. ජංගම දුරකතන අවශ්‍යතාවය දරුවන් වර්ධනය වන වේගයත් ඒ ආකාරයි.

අද වනට විට ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීම බොහොම ජනප්‍රිය දෙයක් වුවත්, තවත් අවුරුදු පහළොවකින් විතර එය එතරම් වැදගත් දෙයක් නොවන්න පුළුවන්.නූතන දෙමවුපියන් කෙතරම් දූරදර්ශීද?, ඥාන සම්පන්නද? බුද්ධිමත්ද?, හෙට දවසට වුවමනා කරන ජපන්, කොරියන් චීීන වැනි භාෂාවන් උගන්වන්න.

නිරෝගී දරුපරපුරක්

වර්තමානයෙහි ඉපදෙන දරුවා තවත් අවුරුදු විස්සක් පමණ ගිය විට විවාහ විය යුතුවාසේම රක්ෂාවක් කළ යුතුයි. එනිසා එම දරුවන් හොඳ ශරීර ශක්තියක් තිබිය යුතුවාසේම නිරෝගීි සෞඛ්‍ය තත්වයක් තිබිය යුතුයි. දෙමවුපියන් දරුවන්ට ආහාර පාන ලබාදෙන්නේ දරුවාගේ නිරෝගිමත් බව හා ශක්තිමත් බව සිතමින්ද?නැතහොත් අද දින අම්මාගේ පහසුව සිතමින් ආහාර ලබාදෙනවාද?ක්ෂණික කෑම වර්ගවල බොහෝ සේ දියවැඩියා රෝග කාරක තිබිය හැකි වාසේම බෝ නොවන රෝග කාරක ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට ඉඩ තිබෙයි.දරුවන්ට ආහාර වශයෙන් එම කෑම වර්ග දරුවන්ට ලබාදෙන දෙමවුපියන් ඇත්තටම දරුවන්ට ආදරෙයිද?පිටරට නිෂ්පාදිත කිරිපැකට්ටුවකින් හැඳී කිහිපයක් දියකර පාන්දරම දරුවාට පොවන මවුපියන් ඇත්තටම දරුවන්ට ආදරෙයිද?සාමාන්‍ය කිරි කඳුළක් දොවාගෙන පැය විසි හතරක් ගිය විට නරක්වීම කිරිවල ස්වභාවය වෙයි. මවගේ පහසුව ලෙහෙසිය සිතම්න් දරුවාට පිටිකිරි පොවනවාට වඩා දරුවාගේ හෙට දවසේ නිරෝගිමත් බව මවුපියන් වශයෙන් සිතිය යුතුයි.ලංකාවේ අතීත දරුමුණුපුරන්ට යෝධ ශක්තිය ලැබී තිබුණේ පැකට් කිරි බීමෙන් බවට ඔප්පු කළ හැකිද?කිසියම් ආකාරයකින් පැකට් කරන ලද කිරි විශේෂයක් බීමෙන් මොළය වර්ධනය වූ බවට තර්කානුකූලව ඔප්පු කළ හැකිද?ගණිත ශක්තිය සහ දුවන ශක්තිය ලැබුණේ පැකට් කිරි බීලාද?

හරිත පරිසරය

අපේ මුතුන් මිත්තන් ජවසම්පන්න වූයේ කොස් ,පොළොස් ,මැල්ලුම්, පලා වර්ග, ඇල් සහල් හී නැටි සහල් ආහාරයට ගෙනද? නැතහොත් පිටිකිරි බීලාද?ඒ පිළිබඳව විචාරශීලිව බුද්ධිමත්ව සිතිය යුතුයි. මුළු පරිසරයම හරිත පැහැයෙන් සුන්දරව බබළයි.ගෙදර අවට වවාගන්නාවූ පලා වර්ගයකින් පාන්දරම කැඳ වීදුරුවක් දරුවාට සාදා දිය නොහැකිද?එය කළ හැකි දෙයක් මිස කළ නොහැකි දෙයක් නොවෙයි. එම කැප කිරීම නොකරන්නේ අම්මාගේ පහසුව සඳහා මිස දරුවන්ගේ අනාගතය පිළිබඳව සිතා නොවෙයි.එවැනි දෙමවුපියන් ඇත්ත වශයෙන්ම දරුවන්ට ආදරෙයිද?

දරුවන් අලුතෙන් තොරතුරු දැනගැනීමට කැමැති පිරිසක් නිසාම දරුවන්ගේ බුද්ධි සංවර්ධනය , චරිත සංවර්ධනය, ආකල්ප සංවර්ධනය යන සංවර්ධන කාරණා තුන ආයෝජනයක් නම්, එම ආයෝජන ප්‍රවර්ධන කාලයක් සහ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ගෙදරක තිබිය යුතුයි.වෙහෙස මහන්සියෙන් සැම දෙනාම සවස නිවසට පැමිණි විට සියලු දෙනාගේ තෘප්තිමත් බව උදෙසා රූපවාහිනියවත් තිබෙනවා කියන තැනට පැමිණිය යුතු නැහැ.අප පොඩි කාලයේ අපේ දෙමවුපියන් කතන්දර කවි කියලා දුන්නා. හවසට දෙමවුපියන් දරුවන් සමඟ පාසලේ වැඩ කරලා සමහර විට ප්‍රහේළිකා, බුද්ධි පරීක්ෂණය වැනි දේ නිරතුරුවම සිදු කළා.බුද්ධිය සහ දැනුම වර්ධනය වූවාසේම,දරුවන් දෙමවුපියන් අතර අනවරත සම්බන්ධතාවයක්ද ගොඩනැඟුනා. මව පියා සහ දරුවන් අතර සම්බන්ධතාවය මනස්කාන්ත ලෙස වර්ධනය වුණා. ඕනෑම දෙයක් ගෙදර කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වුණා.සැම ජනකතාවක්ම කවියක්ම ජන ගීයක්ම දරුවන්ට නිරායාසයෙන් හැකි වුණා. අම්මා සහ තාත්තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරුන් බවට පත්වුණා. රාත්‍රිය එළඹෙන තුරු දරුවන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කතන්දර ඇසීමට මිස රූපවාහිනිය නැරඹීමට නොවෙයි.

එකිනෙකාගෙන් දුරස්වීම

වර්තමානය වන විට මනස්කාන්ත වු සොඳුරු සැන්දෑයාමය රූපවාහිනියට බාරදී අවසන්. එය සොඳුරු පවුලක ඛේදනීය පසුබිමක්. පවුලේ සියලු දෙනා එකතු වී බුදුන් වැඳ දෙමවුපියන්ට වන්දනා කර සියලුදෙනා එකට එක්ව එකම වෙලාවක ආහාර ගෙන පොත්පත්,පත්තර කියවීම, කවි කතන්දර කීම ,ඇතැම් විට ගැයීම වාදනය කිරීම , බුද්ධි පරීක්ෂණ , ගායනා සහ සාකච්ජා යන කාර්යයන් දිනපතා කළ යුතුයි. විද්‍යුත් මාධ්‍ය ඉදිරිපිට නිකරුණේ කාලය නාස්තිකිරීමෙන් එවැනි ආකාරයේ අනාගත ආයෝජනයක් සිදු වන්නේ නැහැ. ඔවුනොවුන් එකිනෙකාගෙන් දුරස්වීමෙන් එකිනෙකා අතර පවතින අවබෝධය නැතිව යයි. එම නිසා පවුලේ සියලු දෙනාම ඉතාමත්ම වටිනා ආකාරයට අර්ථවත්ව සැන්දෑයාමය ගත කරනවා නම්,එය සොඳුරු සැන්දෑවක් සේම සුන්දර රාත්‍රියක් වීමෙන් දරුවන්ගේ අනාගතය ප්‍රභාස්වර වෙයි. මේ ආකාරයෙන් කටයුතු නොකර දෙමවුපියන් ඇත්ත වශයෙන්ම දරුවන්ට ආදරෙයිද? 'පුත්ථා වත්තු මනුස්සානං' පුතුන් වස්තූන්ය. එවැනි පරිසරයක් වර්තමානයෙහි ඇතැම් නිවෙස්වල දක්නට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන අප බුදුන් සරණ යන පිරිසක් වශයෙන් පුත්ථා වත්තු මනුස්සානං යන බුදුවදනට අංශු මාත්‍රයක් හෝ අනුකූලව පිළිපැදිය යුතුයි.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]