UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආවේග කළමනාකරණය

ආවේග කළමනාකරණය

අප ඇතැම් අවස්ථාවල ආවේගශීලී වෙයි. තමන් විිවිධාකාරයෙන් හසුරවනු ලබන ආවේගය යහපත්ද, අයහපත්ද යන්න සොයා බැලීම තේරුම් ගැනීම සහ ආවේගයන් පවත්වාගෙන යාමේදී ඇතිවන භයානක බවත්, වටිනාකමත් නිවැරැදිව වටහාගැනීම අත්‍යවශ්‍ය වෙයි.එවැනි සියලු දැනුවත්භාවයකින් තොරව , හඳුනා ගැනීමකින් තොරව ආවේග ප්‍රහීණ කළ නොහැකි වෙයි.

අප වෙත පැමිණෙන ආවේගයන් නිසා තමන්ට උද්ගත වන තත්ත්වය ඉතාම සිහිනුවණින් බුද්ධිමත්ම ,ඥානාන්විතව හඳුනාගත යුතුයි.තමන් එවැනි මානසික තත්වයකට පත්වන්නේ කුමන හේතුවක් නිසාද?නිවැරැදිව කල්පනා කළ හොත් එම ආවේගයට අදාළ වන දාර්ශනික බව අප විසින් ගොඩනඟා ගන්නවා නම්,එම ආවේගය අයහපත් පැත්තට වර්ධනයවීම යම් ප්‍රමාණයකින් හෝ වළක්වා ගත හැකි වෙයි.චිත්තාවේග කුසල සහ අකුසල ලෙස වෙන්කර හඳුනා ගත හැකි වෙයි. එම චෛතසිකයන් තමන්ට යහපතක් වන්නා සේම අනෙකාටත් යහපත් වනවා නම්,යහපත් චිත්තාවේගයන් වෙයි. දැඩි ආත්මාර්ථයෙන් තමන්ට පමණක් යහපතක් සිදුවුවත්,අනෙකාට අයහපතක් වෙයි. ඇතැමුන් කේන්ති ගෙන සිටින අවස්ථාවල කිසිවෙක් කිසිවක් ඉල්ලීමට නොයාම නිසා තමන්ට පමණක් යහපතක් සිදු වුවද, ඔහුගේ ආවේගය අනෙකා පීඩනයට හසුකරයි. තමන්ට යහපතක් වනවා සේම සෙසු පිරිසටත් යහපතක් වන ආවේගයන් පවත්වා ගෙන යාමෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවෙයි.තමන්ටත් හානියක්ව අනෙකාටත් හානියක් වන ආවේගයන් හඳුනා ගෙන බැහැර කර ගැනීමට උපරිමයෙන් කැප විය යුතුයි.

අපගේ මනස සහ ශරීරය අතර පවතින බලගතු සම්බන්ධය ගහට පොත්ත සේ එකිනෙකට බැඳී පවතී.

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඥාතී
නිබ්බාණං පරමං සුඛං

පූර්ණ නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙකු නම්, කාරණා හතරකින් ඔහුගේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. ආරෝග්‍ය පරමා ලාභා හෙවත් කායික නිරෝගී බව එක කාරණාවක් වන අතර ඒ සමඟ බුදු දහමේ උගන්වා ඇති සන්තුට්ඨි පරමං ධනං හෙවත් මානසික සෞඛ්‍ය වෙයි.මනස කෙතරම් දුරට තෘප්තිමත්ද, යන කාරණාව මත ඔහුගේ හෝ ඇයගේ මානසික සෞඛ්‍ය රැඳී පවතී. බුදු දහම තුළ සාකච්ඡා කරනු ලබන විස්සාසා පරමා ඥාාතී යන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමාජීය සෞඛ්‍ය ලෙස අර්ථ දක්වයි. ඉතාම යහපත් විශ්්වසනීය සමාජ සම්බන්ධකම් තිබිය යුතුයි. බුදු දහමේ ප්‍රකාශ වන නිබ්බාණං පරමං සුඛං හෙවත් කෙලෙස් නිවාරණය පිළිබඳව අධ්‍යාත්මික සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථකතනය කරයි. එය පරම සැපත වෙයි. මිනිසෙකු වශයෙන් ලැබිය යුතු වටිනා තත්වයක් එතැනින් එහාට නොමැති තරම්.

ශරීරය රෝගී වූ සෑම අවස්ථාවකම මනසට බලපෑමක් එල්ල වෙයි. මනස රෝගී වූ සෑම අවස්ථාවකදීම ශරීරයට බලපෑමක් එල්ල වෙයි. කායික රෝග සහ මානසික රෝග සැම විටම සම්බන්ධතාවක් පවතී. ශරීරයෙහි පවතින සිදුවීම් ප්‍රමාණය ගණන් කිරීමට ඔහුගේ හෝ ඇයගේ මනසට පැමිණි පීඩාකාරීබව, මනසෙහි උද්ගතවී ඇති ආවේගකාරීබව තේරුම් ගැනීම කිසියම් රෝග නිධානයක් සොයා ගැනීමේදී වෛද්‍යවරුන් පවා උත්සාහ කරයි.අපගේ මනසෙහි පවතින ආවේගකාරීබව ශරීරයෙන් ප්‍රකට වෙයි.

අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ සඳහන් මල්ලිකා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව දේශනා කර තිබෙන කාරණාවක්.

ස්වාමීනී, ඇතැම් කාන්තාවන් හරිම විරූපී.කිසිම ප්‍රඥාවන්ත බවක්,කිසිදු ඵලයක්, කීර්තිමත් බවක්, කිසිම බලයක් නැහැ.ඒ වගේම ඔවුන් හරිම දුප්පත් ඒ සඳහා හේතුව වන කාරණා කවරේද? ස්වාමීනී, යනුවෙන් මල්ලිකාවන් බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලැබුවා.එම අවස්ථාවෙහි,ඇතැම් කාන්තාවන් හරිම විරූපියි. නමුත් ප්‍රඥාාවත් බව, බුද්ධිමත් බව අනෙක් පිරිස ඇයගේ වචනයට අවනත වන බවක් තිබෙන අතර ඒ වගේම ඇයට ධනය විශාල වශයෙන් තිබෙන බව දක්නට ලැබෙයි. ස්වාමීනී, සමහර කාන්තාවන් හරීම රූමත්. නමුත් බුද්ධිමත් බව , යසස,කීර්තිමත් බව මිල මුදල් නැහැ.ඒවගේම ස්වාමීනී, ඇතැම් කාන්තාවන් හරීම රූමත්.බුද්ධිමත් ප්‍රඥාාවන්තයි. ඥාානවන්තයි. කීර්තිමත්. විශාල ධනයක් හිමි වගේම උපදෙස් ගැනීමට බොහෝ පිරිස් පැමිණෙයි. මේ සියල්ලට පිළිතුරු ලෙස පින්වත් මල්ලිකාවනි,යම්කිසි කාන්තාවක් සංසාර ගමනේදී ද්වේශය බලවත්ව වැඩුව හොත් ඇය විරූපී වෙයි. බලවත්ව වැඩුවේ මෝහය නම්,ඇය යසසක් නැත්තියක් වෙයි.බලවත්ව වැඩුවේ ලෝහය නම්,ඇය නිර්ධනව උපදී.යම්කිසි කාන්තාවක් බලවත්ව ද්වේශය වඩා මෝහය සහ ලෝභය අඩුවෙන් තිබුණ හොත් ඇය විරූපීව ඉපිදුනද, බුද්ධිමත්ව උපදී. ඇය ධනවත්ව උපදී. යම් තැනැත්තියක් ද්වේශය පමණක් දුරුකරගෙන සිටිය හොත් සිත ද්වේශයෙන් ආවේගයෙන් පමණක් බැහැරව සිටිය හොත් මෝහය සහ ලෝ්බය යන ආවේග දීර්ඝකාලීනව රැගෙන ගියහොත් බොහොම ලස්සනට ඉපදුනත් දුප්පත්ව ඉපදෙයි. මොළය කළඳක් නැතිව මෝඩකම් කරනු ලබයි.ජීවිතය අවුල්ව මහා ආගාධයකට වැටෙයි . රූපයත් සමඟ ඉපදුනත් නන්නත්තාර වුණ කාන්තාවන් නැතිවා නොවෙයි. ඒ පිරිස ලස්සන වුවත්, පෙනුම තිබුණත් මොළය වැඩකරන්නේ නැහැ. බුද්ධිය, ප්‍රඥාාව නැතිව උපදී.එම නිසා ඔවුන් අපකීර්තිමත් වෙයි. බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවියට පෙන්වා දී ඇති පරිදි කිසියම් කෙනෙකුගේ භෞතික පෙනුමට, භෞතික බලයට සම්පූර්ණයෙන්ම මනස සම්බන්ධ බවයි. ලෝබය දුරු කරගත් පුද්ගලයන් පොහොසත් වෙයි. ද්වේශය දුරුකරගත් විට පුද්ගලයන් රූමත් වෙයි. මෝහය දුරුකරගත් විට පුද්ගලයන් බුද්ධිමත් වෙයි. ද්වේශයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් ජීවත් වනවා නම්, ඔවුන් තුළ සිනහවක් නැතිව, කතාවක් නැතිව, සතුටක් නැතිව, බැලීමටත් අප්‍රසන්නව සිටී.කවුරුන් හෝ අයෙක් බුද්ධිමත් නැතිව, ප්‍රඥාව නැතිව මෝඩකම් කරනවා නම්, මෝඩ අදහස් ප්‍රකාශ කරනවා නම්, කෙලෙස කීර්තිමත් වන්නද?සැමවිටම අපකීර්තිමත් වෙයි. එවැනි අයගේ යසස පැතිරීමක් වන්නේ නැහැ.

ලෝභ පුද්ගලයෙක් නම්,තමාසතු දෙයක් වසන් කරගෙන සිටිනවා මිස පරිත්‍යාග කිරීමක් නැහැ. සම්පූර්ණ මනුෂ්‍යයාගේ භෞතික ජීවිතයෙහි පැවැත්මට ඔහුගේ හෝ ඇයගේ මානසික සෞඛ්‍ය වැදගත් වෙයි. ජීවිතයෙහි සුන්දරත්වයට, ආකර්ෂණීය බවට, දිදුළන බවට මනස ඉතාම සම්බන්ධයි. එම නිසා ශරීරය යම්කිසි ආකාරයකින් යම් ඉරියව්වක් ප්‍රකට කරනවා නම්, එය මනසෙහි පවතින ඉරියව්වක්ම වෙයි.

අපගේ සිතට පැමිණෙන ආවේගයන් පළමු කොටම හඳුනා ගත යුතුයි. දුක නම්, කුමක්දැයි හඳුනාගත යුතුයි. ඊළඟ පියවර වශයෙන් දුකට හේතුව කුමක්දැයි හඳුනා ගත යුතුයි.ඊළඟ කාරණාව ලෙස එයින් නිදහස් වීම අප හඳුනාගත යුතුයි. ඊළඟට නිදහස් වීමේ මාර්ගය හඳුනාගත යුතුයි.දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යනුවෙන් ප්‍රශ්නය, ප්‍රශ්නයට හේතුව, ප්‍රශ්නයෙන් නිදහස් වීම හෙවත් පිළිතුරු සහ එම පිළිතුර සොයා ගන්නාවූ මාර්ගයයි. ඕනෑම චිත්තා ෙවිගයක් දුකද, එයින් නිදහස් වීමෙන් සම්මා දිටිඨිකයන් වෙයි. තමාගේ ආවේගයන් ආරම්භ වන්නේ කොතැනින්ද? යන වග නිවැරැදිව හඳුනා ගත යුතු වෙයි. නිවැරැදිව හේතුව සොයා නොගත හොත් අප අපගේ ආවේග සම්බන්ධව තමාගේ හැසිරීමි රටාව සඳහා හේතුව තමාගේ සිතෙහි පවතින ද්වේශය බව හඳුනා නොගන්නා පුද්ගලයෙකු ඔහුට තමාගේ ආච්චි වැහී ඇති බවට කල්පනා කළ හොත් සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කරනු ලබන්නේ මියගිය ආච්චි සඳහායි. ඒ සඳහා හේතුව සොයානොගැනීම වෙයි. තමාගේ ද්වේශය හටගනු ලැබුවේ මෙම මූළකාරණා නිසා බවත් එම පරිසරය දීර්ඝ කාලීනව කටයුතු කිරීම නිසාත් එවැනි කාරණා සඳහා මුහුණදීමට සිදුවූ නිසා බවත්, එම මූළයන් නිවැරැදිව වටහා නොගෙන එය නිසරු දේ ලෙස සලකා බැහැර නොකර ස්ථිර දේ ලෙස රැගෙන යාම නිසා බව වටහා ගත යුතුයි. එවැනි දේ කාරණා කාරණා වශයෙන් හඳුනා නොගැනීමෙන් පුද්ගලයන් තමාගේ ප්‍රශ්න සම්බන්ධව මිථ්‍යා දෘෂ්ඨික වීම ඉතාම අවසනාවන්ත තත්ත්වයක් වෙයි. තමන්ගේ ආවේග සම්බන්ධව මිථ්‍යා දෘෂ්ඨික නොවිය යුතුයි. තමා දුකට පත්වීමට හේතුව තමාගේ තෘෂ්ණාව නිසා ඇතිවන චිත්තා ෙවිගයන් වුවත්, අප විඳවන මනෝභාවයට හේතුව නිවැරැදිව වටහා නොගත හොත් පිළිතුරු සෙවීමට ආරම්භ කරන්නේ වැරැදි ආකාරයටයි. තමාගේ ඇතුළාන්තයෙහි සිටින ප්‍රේතයන් ,භූතයන් කුම්භාණ්ඩයන් ලෙස ක්‍රියා කරන වෛරය ,ද්වේශය, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාවෙහි කෙළවරක් නොමැති බව හඳුනාගත යුතුයි. අවේගයන් කළමනාකරණය කරගැනීම සම්බන්ධව අපගේ මනෝභාවයට හේතුව නිවැරැදිව හඳුනාගත යුතුයි.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]