UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණ නැණින් පිරි දරුවන් තැනීමට සෙවණ සදන නායක හාමුදුරුවෝ

ගුණ නැණින් පිරි දරුවන් තැනීමට සෙවණ සදන නායක හාමුදුරුවෝ

ආචාර්ය මහෝපාධ්‍යාය
පන්නිල ආනන්ද නාහිමි

සසුනඹරෙහි ආදර්ශමත්ව වැඩ වසන සංඝපීතෘන් වහන්සේලා තම දිවියම සසුන වෙත කැප කරමින් මහඟු මෙහෙරවක් ඉටු කරති. එම උදාර මෙහෙවර ඉතා නිහඬව සිදුකිරීමද පැසසිය යුතු කරුණකි.

සෑම ස්වාමීන් වහන්සේ නමක්ම බියකරු සසර ගමනෙන් එතෙරට වඩින්නට දරන උත්සාහය ගිහි සමාජයට කරන්නට තබා ඇතැම්විට හිතන්නට පවා අපහසුය. තම මව පියා සහෝදර සහෝදරියන් පමණක් නොව ගිහි සමාජයටම ආයුබෝවන් කියා කසාවතින් උතුම් පැවිදි දිවියට පත්වීමම ගිහියන් කී දෙනෙකුගෙන් කෙනෙකුට කළ හැකි උතුම් පරිත්‍යාගයක්ද? එසේ උතුම් පැවිද්දට පත් වූ දා පටන් බෞද්ධ ජන සමාජයේ ආගමික හැදියාව වර්ධනය කරන්නට සමස්ත පැවිදි ජීවිතය පුරා දරන උත්සාහය කියා හෝ ලියා නිම කළ නොහැකිය.

උන්වහන්සේ පැවිදි බිමට පත්ව ග්‍රාමවාසීව හෝ අරණ්‍යවාසීව වැඩ වෙසෙමින් බොදු දන සිත් පහන් කරන්නට නිතර දෙවේලේ ගත සිත මෙහෙයවති. ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ගම්වැසියන්ට නිසි මාර්ගෝපදේශකත්වය සලසමින් ඔවුහු ගුණ දහමෙහි නිරත කරවීමට ගන්නා උත්සාහය ආදර්ශවත්ය.

භික්ෂූන් වහන්සේ සමස්ත සමාජයේ ගෞරවයට, උපහාරයට බඳුන්වනුයේ උන්වහන්සේගේ සිල්වත්බව, ගුණවත්බව මෙන්ම ආදර්ශමත් බවද හේතුවෙනි. භික්ෂූන් වහන්සේ ත්‍රිපිටක දහම මැනවින් හදාරා ඒ දහම් මඟෙහි ගමන් කිරීමට සමාජයට මඟ පෙන්වීමට උනන්දුවෙති. එබඳු ස්වාමීන් වහන්සේ ධර්මධර විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම අධ්‍යාපනය හදාරා එමගින් විවිධ උපාධි සමත්ව ආචාර්ය, මහාචාර්යවරයන් වහන්සේ නමක් වී සසුන් කෙත එකලු කරන්නට උත්සාහ දරති. තමන් වහන්සේ දැනුම ලබා එම දැනුම ග්‍රන්ථ මඟින් රටටත්, ලොවටත් බෙදාදීමට උනන්දු වෙති. ඒ නිසාම උන්වහන්සේ ප්‍රකට ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක් ලෙස විරුදාවලී ලබති.

එමෙන්ම ඇතැම් ස්වාමීන් වහන්සේ නමක් තම ශක්ති පමණින් ගමට, පළාතට, රටට, ආගමික හා සාමාජික මෙහෙවර සිදු කිරීමද සමාජයේ බහුලව දක්නට ලැබෙන්නකි.

"හැදෙන වැඩෙන දරු පරපුර නැණ ගුණ සපිරි දරු පරපුරක් කිරීමේ මහඟු අදිටනින් උන්වහන්සේ වසර කීපයක සිට පාසල් ගොඩනැගිලි ඉදි කරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ. ඒ අනුව අත්තනගල්ල වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක පමණ වියදමින් ඉදිකරවූහ. "

මේ අතර තවත් ස්වාමීන් වහන්සේ නමක් ශාසනික මෙහෙවර අඛණ්ඩව සිදුකරන අතරතුර සාමාජික මෙහෙවරෙහිද නිරත වෙති. සසුනෙහි වැඩ සිටින ඇතැම් ස්වාමීන් වහන්සේ නමක් ආර්ථික දුෂ්කරතා ඇති ඉගෙනුමට දක්ෂ දූ පුතුන් වෙත අධ්‍යාපනික වශයෙන් උපකාර කරති. ඇතැම් විට දහම් දැනුම හැදෑරීමට මහල්, දෙමහල් ගොඩනැගිලි ඉදිකර දෙති. තවත් ස්වාමීන් වහන්සේ නමක් පළාතේ රෝහලෙහි වාට්ටුවක් ඉදිකරවා දෙති.

ඒ අතර හදිසි ආපදා විපත් පැමිණි විට ඒවාට සිය දිවි පරදුවට තබා උදව් උපකාර කරති. සුනාමි ව්‍යසනය ඊට කදිම නිදසුනකි. ගංවතුර උවදුරක් හෝ නියං සමයක් පැමිණිවිට ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පිහිට වනු ලැබේ. ඇතැම් විට තවත් ස්වාමීන් වහන්සේ නමක් ගමේ පළාතේ අසරණ පවුලකට නිවාස ඉදිකර දෙති. මේ අයුරෙන් බලනවිට භික්ෂූන් වහන්සේ ශාසනික හා ආගමික මෙහෙවරට අමතරව මහත් සමාජ මෙහෙවරක් ද ඉතා නිහඬව සිදු කරන බව වැටහී යන කරුණකි.

සසුනඹරෙහි වැඩ සිටින සංඝපීතෘන් වහන්සේ හැදෙන වැඩෙන දරු පරපුරට භාෂා මෙන්ම වෘත්තීය පුහුණුව ලබා දී දහස් ගණන් තරුණ ජීවිත එකලු කිරීමට අත හිත දීමද පැසසිය යුතු ය.

පෙර පාසල් අධ්‍යාපනය ලබන සිඟිත්තාගේ පටන් වියපත් තැනැත්තා දක්වා විවිධාකාරයෙන් පිහිට වී මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට අතහිත දෙන ස්වාමීන් වහන්සේගෙන් සසුනඹර ඒකාලෝක වන බව නොකිවමනාය.

මෙම සටහන තැබීමට නිමිත්ත වනුයේ ඉහත සඳහන් කළ නොකළ උදාර සමාජ මෙහෙවර රැසක නිරතව සිටින සංඝ පීතෘන්වහන්සේ නමක් සිදුකරන අගනා අනුස්මරණීය මෙහෙවරක සිහිවටනයක් තබන අවස්ථා දෙකක් නිමිති කරගෙනය. උන්වහන්සේ සිදු කරන මෙහෙවර යුග ගණනාවක් පුරා පරපුරෙන් පරපුරට අනුස්මරණය කරනු නොඅනුමානය.

සසර පාරමිතාවක් සේ තමන් වහන්සේට ලැබෙන ධන පරිත්‍යාග සමාජයේ ආගමික, ශාසනික, අධ්‍යාපනික, සෞඛ්‍යය ආදී විවිධ සාමාජික සේවාවන් සඳහා වැය කරනුයේ ඉමහත් පරිත්‍යාගයෙනි. උන්වහන්සේ රුපියල් විසිහතරකෝටියක පමණ මුදලක් සමාජ යහපත වෙනුවෙන් පිරිනමා ඇත. එම ආදර්ශවත් යුග මෙහෙවර ඉටු කරනුයේ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝ නායක අත්නගල්ල රජමහා විහාරය, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාදී බෞද්ධ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ආනන්ද නාහිමියන් ථේරවාදී සම්බුදුදහම ලොවට බෙදාදීමට සුවිසල් මෙහෙවරක් සිදුකර ඇත.

පන්නිල ආනන්ද නාහිමියන් අත්නගල්ල රජ මහා විහාරයේ අභිනව විහාරාංග රැසක් ඉකුත් දස වසර තුළ ඉදිරකවූහ. ඒ අතර දහම් පාසල් ගොඩනැගිලි සාමණේර භික්ෂු පුහුණුවට අවශ්‍ය අංග සම්පූර්ණ තෙමහල් ගොඩනැගිලි දෙකක්, දෙමහල් ධර්ම ශාලාවක් ඇතුළු ගොඩනැගිලි රැසක් වේ.

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි දහම් පාසල් ගොඩනැගිල්ල - දඹාන

කිරිඳීවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අභිනව ගොඩනැගිල්ල

අවට විහාරස්ථාන රැසක විහාරාංග පන්නිල ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරවූහ. වතුපිටිවල ජේ.පී. ඔබේසේකර මූලික රෝහලේ ළදරු වාට්ටුව සහ භික්ෂු වාට්ටුවක්ද ඉදිකරවූහ. ඊට අමතරව පාසල් රැසක බුද්ධ මන්දිරද ඉදිකරවූහ.

සුනාමි උවදුර පැමිණීමෙන් පසු අභිනව නිවාස 336 ක් හික්කඩුවේ තෙල්වත්ත පැරෑලිය, දළුවතුමුල්ල, හම්බන්තොට රිදියගම ආදී ප්‍රදේශවල ඉදිකර පිරිනැමූහ.

ශාසනික මෙහෙවර වශයෙන් අත්තනගල්ල රජමහාවිහාරයේ පතිරාජ පිරිවෙන නැවත ඇරඹීමද ඓතිහාසික කරුණකි.

දැයේ දරුවන් ගුණ නැණ දෙකෙන් පෝෂිත මනා පෞරුෂයකින් හෙබි දරු පිරිසක් ලෙස අනාගතයට බිහිකිරීම පන්නිල ආනන්ද නාහිමියන් තුළ කලක පටන් පැවැති සිතිවිල්ලකි. ඒ නිසාම අධ්‍යාපනය ලැබීමට දක්ෂ ආර්ථික අපහසුතා ඇති දරු දැරියන් 600 කට අධික පිරිසකට ශිෂ්‍යාධාර ලෙස රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලක් මාසිකව පිරිනමනු ලැබේ.

හැදෙන වැඩෙන දරු පරපුර නැණ ගුණ සපිරි දරු පරපුරක් කිරීමේ මහඟු අදිටනින් උන්වහන්සේ වසර කීපයක සිට පාසල් ගොඩනැගිලි ඉදි කරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ.

ඒ අනුව අත්තනගල්ල වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක පමණ වියදමින් ඉදිකරවූහ. ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ ද එවැනිම තෙමහල් ගොඩනැගිල්ලක්ද ඉදි කරවා සිසු අයිතියට පිරිනැමූහ.

නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙන සඳහා කාමර විසි හතරකින් යුක්ත දානශාලාව හා පුස්තකාලය සහිත ගොඩනැගිල්ලක් රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක වියදමින් ඉදිකරවූහ. පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි විද්‍යාලයේද තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් රුපියල් දෙකෝට් දහතුන් ලක්ෂයක වියදමින් ඉදිකරවූහ. පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි විද්‍යාලයේද තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක වියදමින් ඉදිකරවූහ.

මහියංගනය දඹානේ ආදිවාසී දරුවන් සඳහා රුපියල් ලක්ෂ තිහක වියදමෙන් ඉදිකරවන ලද දහම් පාසල් ගොඩනැගිල්ල මෙම 26 වන දා පෙරවරුවේදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහාවිද්‍යාලයේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි සෞන්දර්යය අසපුව සහිත දෙමහල් පාසල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක වියදමින් ඉදිකරවූ අතර මෙම 28 වන දා පෙරවරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ රුපියල් දෙකෝටි විසිලක්ෂයක වියදමෙන් ඉදිකරවා ගෙන යනු ලබන ගණිත හා විද්‍යා තෙමහල් පාසල් ගොඩනැගිල්ල ජූනි මස 26 වන දා විවෘත කිරීමට නියමිතය.

තිහාරිය අල් අස්හාර් මුස්ලිම් මහා විද්‍යාලයේ ද තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක වියදමින් ඉදිකෙරේ.

අලවල මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක වියදමෙන් ඉදි කෙරේ.

පරහිත සුව සඳහා මේ වන විට රුපියල් කෝටි විසිහතරකට අධික ධනයක් වැය කර ඇති අතර ඉන් රුපියල් කෝටි විස්සක පමණ මුදලක් උන්වහන්සේ වැයකරඇත්තේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියටය.

පන්නිල ආනන්ද නාහිමියන් ස්වකීය පරිත්‍යාගයන් පිළිබඳ නිහතමානී සතුටක් ලබමින් පසුවේ. ස්වකීය විදේශීය හිත මිතුරන්ගෙන් ලද මුදල් මව්බිමේ යහපත උදෙසා මෙසේ වැය කර ඇති උන්වහන්සේ මෙරට ශාසන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කළ ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි.

ධනය පසුපස හඹායන සමාජයක වෙසෙමින් ධනය සමාජ යහපත පතා පිරිනමා බෝසත් ගුණ වඩන ආනන්ද නාහිමියනි. තව තවත් ලෝ සසුන් වැඩ සැලසීමට තෙරුවන් සරණින් කායික මානසික ශක්තිය නිරතුරුව ප්‍රාර්ථනා කරමු.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]