UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනුලොව උතුම් දායාදය...

මනුලොව උතුම් දායාදය...

මනුෂ්‍ය ලෝකයක උපත ලැබූ අපට ලැබුණු ශ්‍රේෂ්ඨම දායාදය උතුම් තිසරණය බව ඔබ අප සෑම කෙනෙක් ම දන්නවා. ඒ වුනත් ඒ තුළ පිහිටා කටයුතු කිරීම තමයි බොහෝ දෙනෙක් තුළින් සිද්ධ නොවෙන්නෙ. සමහරු දැනගෙන ම එය නොසලකා හරිනවා. සමහරු ධර්මය අහන්නෙ නැති නිසා තිසරණයේ වටිනාකම දන්නේ නැහැ. මිය ගොස් සතර අපායේ උපදිනවා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවකදී ම දේශනාකොට වදාළේ අප උතුම් තිසරණය තුළ ස්ථාපිත විය යුතු බවයි.

සංයුක්ත නිකායේ සළායතන සංයුක්තයේ මොග්ගල්ලාන සංයුක්තයේ සක් දෙවිඳුන් ප්‍රධාන දෙවිවරුන්ට කරන ලද දේශනාවල දී තිසරණ ලාභය ලබාගත් කෙනාට සුගතිය හෙවත් දෙව්ලොව උපත ලබන්නට භාග්‍ය තිබෙන බව දේශනා වෙනවා. මේ දේශනාවන් සිදු කරන්නේ මහා සෘද්ධි බල සම්පන්න වූ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ. සක්ක සූත්‍රයේ පටන් අට්ඨම සක්ක සූත්‍රය දක්වා සූත්‍ර අටකදී මේ පිළිබඳව ඉතා මැනවින් විස්තර වෙනවා.

සක්ක සූත්‍රයේ දී මොග්ගල්ලානයන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රන්යන් හට දේශනා කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සරණ යෑම ඉතාම යහපත් බවයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ සරණ යාම නිසා සමහර සත්ත්වයන් කය බිඳී මරණින් පසු සුගතිය නම් දෙව්ලොව උපත ලබන බවයි.

මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ සක් දෙවිඳුන් හට දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මය සරණ යෑම ඉතාම යහපත් දෙයක් යනුවෙන්. ශ්‍රී සද්ධර්මය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්ත්වයන් කය බිඳී මරණින් පසු සුගතිය නම් වූ දෙව්ලොව උපත ලබන බවයි.

එසේ ම මුගලන් මහ රහතන් වහන්සේ සක් දෙවිඳුන්ට දේශනා කරනවා ආර්ය මහා සංඝරත්නය සරණයෑමත් ඉතා යහපත් දෙයක් බව. ඒ වගේ ම ආර්ය මහා සංඝරත්නය සරණයෑම නිසා මෙහි ඇතැම් සත්ත්වයන් කය බිඳී මරණින් පසු සුගතිය නම් වූ දෙව්ලොව උපත ලබන බවයි.

මේ සක්ක සූත්‍රයේ මුලින්ම සඳහන් වන්නේ අපේ මුගලන් මහ රහතන් වහන්සේ ජේතවනයේ ජීවත්ව තව්තිසා දෙවියන් අතර පහළ වූ ආකාරය ගැන. හරියට බලවත් පුරුෂයෙක් හැකුලූ අතක් දිග අරිනවා සේ දික්කළ අතක් හකුලනවා සේ වේගයකින්. ඒ වෙලාවෙ සක් දෙවිඳුන් පන්සීයක් දෙවිවරු සමඟ පැමිණිලා මුගලන් මහ තෙරුන්ට වන්දනා කර පසෙකින් සිටගත් පසුවයි මේ දේශනාව වදාළේ . දේශනාව අවසානයේ දී සක් දෙවිඳුන් ඒ දේශනාව අනුමත කර සිටියා.

පින්වතුනි, මේ සූත්‍ර දේශනාවේ දැක්වෙන තිසරණයට පත්වීම තුළින් කය බිඳී මරණින් පසු සුගතියේ උපදිනවා සේම ආර්යකාන්ත සීලයක පිහිටීමේ වැදගත්කම. මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ආර්යකාන්ත සීලයක පිහිටීම ඉතා හොඳ දෙයක් කියා. (සාධු ඛෝ දේවානමින්ද අරියකන්තේහි සීලේහි සමන්නාගමනං හෝති) ඒ කියන්නෙ මොනවගේ සීලයක් ද? නොකැඩුණු, සිදුරු නැති, කැලැල් නැති, පැල්ලම් නැති, දෘෂ්ඨිවලින් නිදහස් වූ, නුවණැත්තන් විසින් පසසන, දෘෂ්ටිවලට නොබැඳුණු, සමාධියට උපකාරවන්නා වූ, සීලයක්. මේ වගේ ආර්යකාන්ත සීලයක පිහිටීම නිසා කය බිඳී මිය ගියාට පසු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපත ලබනවා කියා, මුගලන් මහ රහතන් වහන්සේ තතිය සක්ක සූත්‍රයේ දී දේශනාකොට වදාළා. ඒ දේශනාව සක්‍ර දේවේන්ද්‍රයන් ඒ ආකාරයෙන් ම අනුමත කළා.

පඤ්චම සක්ක සූත්‍රයේ දී මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කොට තිබෙනවා තිසරණය සරණයාම තුළින් ලැබෙන තවත් සුවිශේෂී ආනිසංසයක්. ඒ කය බිඳී මරණින් පසු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපත ලැබීමයි. ඒ වගේ ම සාමාන්‍ය පරිදි නෙමෙයි උපත ලබන්නේ. අනෙක් දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් අභිබවමින්ය. මොනවද ඒ කරුණු දහය. දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය අධිපතිභාවයෙන්, දිව්‍ය රූපයෙන්, දිව්‍ය ශබ්දයෙන්, දිව්‍ය ගන්ධයෙන්, දිව්‍ය රසයෙන්, දිව්‍ය ස්පර්ශයෙන්, කියන මේ කරුණු දහයයි.

සක් දෙවිඳුන්ට දේශනා කොට වදාළ සක්ක සූත්‍රයේ සිට අට්ඨම සක්ක සූත්‍රය දක්වා පිළිවෙළින් මේ කරුණු දේශනා කොට තිබෙනවා. මේ කාරණාව නන්දන දෙව්පුතුට වදාළ දේශනාව, සුයාම දෙව්පුතුට වදාළ දේශනාව, සන්තුසිත දෙව්පුතුට වදාළ දේශනාව, සුනිම්මිත දිව්‍ය පුත්‍රයාට වදාළ දේශනාව, වසවර්ති දිව්‍ය පුත්‍රයාට වදාළ දේශනා යන දේශනා තුළින් දැක ගන්න ලැබෙනවා.

අප සියලු දෙනාමත් උතුම් තිසරණය තුළ පිහිටා ආර්ය සීලය තුළ පිහිටා කටයුතු කරන්නට දැඩිලෙස අධිෂ්ඨාන කර ගන්න ඕනෑ. ජීවිතය අතහැරියාට පසු සුගතිය කරා පැමිණ අනිත් දෙවියන්ට වඩා කරුණු දහයකින් අභිබවා යන්නට අවස්ථාව උදාවෙනවා. ඒ වගේ ම දිව්‍ය ලෝකයේ දී කලණ මිතුරු ඇසුරට පත් වී දුර්ලභ වූ උතුම් නිවන් මඟ පසක් කර ගැනීමට අඩිතාලම දමා ගන්නට ද අවස්ථාව ලැබෙනවා. ඔබ සියලු දෙනාටම ඒ උදාර භාග්‍යය උදාවේවා!.

 

බක් පුර පසළොස්වක

 

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
 

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]