UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් නාගදීපයට වැඩම කළ බක් පොහොය

බුදුරදුන් නාගදීපයට වැඩම කළ බක් පොහොය

"බෞද්ධ ඥානමාර්ගයේ ආරම්භය ශ්‍රද්ධාව බව නැවත පසක් කරමින් බුද්ධ රූපය දුටු සැනින්ම නාගයන් උන්වහන්සේ පිළිබඳ පැහැදී වන්දනා කළහ. ශ්‍රද්ධාව නිසා එළඹි සියලු නාගයන්ට බුදුරදහුන් ධර්ම දේශනා කළහ. දහම අසා කරුණු අවබෝධ කරගත් නාගයෝ යුද්ධයට හේතුව වූ මැණික් පුටුව බුදුරදුන්ට පූජාකළහ. අත්හැරීම ගැටුමෙන් නිදහස් වීමට මඟක් බව ඔවුන් තේරුම් ගත්හ.'

දොළොස් පොහොය අතර සිංහල සංස්කෘතියට අනුව ඉතා වැදගත් පොහොය බක් පොහොයයි. හෙළ සිරිත් විරිත්වලට මූලිකත්වය ලබාදෙමින් සිරිත් විරිත් සිදුවන මාසය බක් මාසයයි. ලාංකේය බෞද්ධයාට ශාසනික වශයෙන් ගත් කල ද බක් පොහොය ඉතා වැදගත්ය. බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදුවන්නේ අද වැනි උතුම් පොහොය දිනකදීය.

අප ගෞතම බුදුරදුන් අසීමිත මහා කරුණාවෙන් ලෝකය දෙස බලා පිහිට විය යුතු සත්ත්වයන් බලා පිහිට වූ සේක. බුදුරදුන්ගේ වසර හතළිස් පහක් වූ ජීවමාන කාලය පුරාවට පිහිට විය යුතු සත්වයන්ට පිහිටවූහ. එහි එක් අවස්ථාවක් ලෙස දෙවනවර ලංකාගමනය සිහිපත් කළ හැකිය. බුදුරදුන් ලොව දෙස බලා වදාරණ විට චූලෝදර මහෝදර නා රජවරුන්ගේ මිණිපළඟ නිසා ඇති වූ යුද්ධය දුටු සේක. එහි ප්‍රතිඵලයක් ලෙස බුදුරදුන් ලංකාවට වැඩම කළහ.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදීය. දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපළු රුකෙහි සිටි සමිද්ධි සුමන දෙව් පුතනුවන් කැඳවා ලක්දිව නාගදීපයට වැඩමවා සිදු වන්නට තිබූ මහා විනාශයක් නවතා ඔවුන් සරණ ශීලයේ පිහිටවූහ. මෙහිදී සිදුවූ තවත් සුවිශේෂී කාරණයක් වන්නේ මණි අක්ඛිත නාග රාජයා කැලණියට වඩින ලෙස බුදුරදුන්ට ආරාධනා කිරීමයි. මේ නිසාම ශාසනික වශයෙන් මහත් ප්‍රතිඵල අත්වූ දිනයක් ලෙස බක් පොහොය හඳුන්වාදිය හැකිය.

පැරැණි ලංකාවේ උතුරු ප්‍රදේශය ජනාවාස කරගනිමින් නාග වංශිකයන් කටයුතු කළහ. බුදුරදුන් ලංකාවට වැඩම කරන අවධිය වන විට නාග වංශිකයන්ගේ යුද්ධයේ ආරම්භක අවධියයි. මෙහිදී මහෝදර නා රජු පන්සීයක් යොදුන් නාග භවනයෙහි ඉතා බලවත්ව වාසය කළහ. මහෝදරගේ සහෝදරිය කණ්හා වඩ්ඩමාන පර්වතයෙහි විසූ නාරජුට සරණ පාවා දුන්හ. ඔවුනට ලද පුතු චූලෝදරය. මැණික් පුටුව බෙදා ගැනීමට යුද්ධය ඇතිවන්නේ මෙම මාමා සහ බෑණා අතරය. මෙහි චූලෝදර මුහුදෙහි විසූ නාගයන් අතර මෙන්ම ගොඩබිම විසූ නාගයන් අතර බොහෝ බලවත්ව විසූහ. තම බල අධිකාරය පවත්වාගෙනයාමට මෙම දෙදෙනාටම මිණිපලඟේ අවශ්‍යතාවය මතුවුණි. එහි ප්‍රතිඵල ලෙස යුද්ධය ආරම්භ විය. යුද්ධ කිරීම් තුළ ජයග්‍රහණ නැති බව අවබෝධ කරදීමට බුදුරජාණන්වහන්සේ එහිදි කටයුතු කළහ.

බුදුරදුන් එසේ කටයුතු කළ අවස්ථා බුද්ධ චරිතය තුළ හඳුනාගත හැකිය. ඉන් ප්‍රධාන අවස්ථා දෙකක් ඉතා පැහැදිලිය.

1. රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීමට ශාක්‍යයන් හා කෝලියන් යුද්ධයකට එළඹි අවස්ථාවේ දී කලහ විවාද සූත්‍රය දේශනා කොට එය සන්සිඳ වීම.

2. ශාක්‍යයන් විනාශ කිරීමට පැමිණි විඩුඪභ ඇතුළු පිරිස දෙවරක්ම බුදුරදුන්ගේ මැදිහත්වීම මත සමථයකට පත් කිරීම.

බුදුරදුන් නාග ගෝත්‍රිකයන් මැඩලීම හා ඔවුනට කරුණු අවබෝධ කරදීම ප්‍රඥාගෝචර හා ඓතිහාසිකය. නාගදීපයෙහි අහසෙහි වැඩ සිටි බුදුන් වහන්සේ නාගයන් බිය ගැන්වීමට අන්ධකාරයක් මැවීය. ඉන් බියට හා තැති ගැන්මට ලක්වූ නාගයන්ට තමන් වහන්සේගේ රූපය දැකීමට ඉඩ සැලසූහ. බෞද්ධ ඥානමාර්ගයේ ආරම්භය ශ්‍රද්ධාව බව නැවත පසක් කරමින් බුද්ධ රූපය දුටු සැනින්ම නාගයන් උන්වහන්සේ පිළිබඳ පැහැදී වන්දනා කළහ. ශ්‍රද්ධාව නිසා එළඹි සියලු නාගයන්ට බුදුරදහුන් ධර්ම දේශනා කළහ. දහම අසා කරුණු අවබෝධ කරගත් නාගයෝ යුද්ධයට හේතුව වූ මැණික් පුටුව බුදුරදුන්ට පූජාකළහ. අත්හැරීම ගැටුමෙන් නිදහස් වීමට මඟක් බව ඔවුන් තේරුම් ගත්හ. එසේම හේතුඵල දහමට අනුව නැති කළ යුත්තේ හේතුවයි. බුදුරදුන් එම කාරණාව පදනම් කරගනිමින් සරලව බුදුදහමේ හරය ඔවුන්ට දේශනා කළහ. නාගයෝ යථාර්ථය හඳුනාගනු ලැබූහ.

බුදු දහමේ අගය හඳුනාගත් නාගයන් ගිහියාගේ නිත්‍ය ශීලය වන පඤ්චශීලයෙහි පිහිටවූහ. සිල්වතුන් බවට පත් වූ නාගයන් දානමය පින්කම ඒ මොහොතේ සිදු කර ගත්හ. නාගයන් විසින් දිව්‍යමය ආහාරයෙන් බුදුරදුන් වැළඳවූහ. බුදුරදහුන්ගේ වැඩම වීම නිසා සියලු දානයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ධර්ම දානය සිදුවූ අතර සියලු නාගයන්ට අභය දානය ලැබුණි. ප්‍රශ්නවලට විසඳුම් යුද්ධය නොව සාමය සමගිය සහජීවනය බව නාගයන් සියල්ලෝම මනාව තේරුම් ගත්හ.

බුදු දහමේ මූලික හරය සියලු සත්ත්වයන් සැපසේ ජීවත්වනු දැකීමය. ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා’ යන්නෙන් එය මනාව හඳුනාගත හැකිය. කෙනෙකු පීඩාවට පත්කොට කෙනෙකුට සෙතක් ශාන්තියක් නොලැබේ. මෙවන් උතුම් පොහොය දිනක ඉහත කාරණාව සිහිපත් කොට ගත යුතු ය.

 

බක් පුර පසළොස්වක

 

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
 

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]