UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිදිය යුතු අය පිදීම

පිදිය යුතු අය පිදීම

පිදිය යුත්තන් පිදීම ජීවිතයේ දියුණුවටත්, අභිවෘද්ධියටත් හේතුවන උතුම් මංගල කරුණකි. බෞද්ධයන් ලෙස පිදිය යුත්තෝ නම් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයය. මවුපිය ගුරුවරුය. නිවසේ, ගමේ, නගරයේ, ජීවත්වන සිල් ගුණයෙන් දැනුමෙන් පිරි වැඩිහිටියෝය.

රටේත්,ජාතියේත්, ආගමේත්, උන්නතිය වෙනුවෙන් කටයුතු කළ, ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ ගිහි පැවිදි උතුමෝ ද වෙති. ඒ උතුමන් ද පිදිය යුතුමය. රටට ගෞරවණීය බවක් ,වටිනාකමක්, ඉතිහාසයක් ගෙන එන ජාතික, ආගමික, ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථාන, වස්තූන්, ප්‍රතිමා හා සිහිවටනද වේ. ඒවාද පිදියයුතු ගණයෙහිලා ම ගැනේ.

නොසලකා බැරිකමට සැලකීමෙන්, අනුන්ගේ කීමටද, හොඳ නම ගන්නටද ගරු බුහුමන් කිරීමෙන් එහා ගිය උතුම් සද්කාර්යයක් පිදිය යුත්තන් පිදීමෙහිලා කළ යුතුව තිබේ. ඉහත දැක්වූ ලෙස සජීවි පුද්ගලයන්ට, නාමශේෂ පුද්ගලයන්ට සේම වස්තූන්ටද නින්දා, අවමානයක්, හානියක් සිදු නොවන අයුරින් ගෞරවය කිරීම, ප්‍රණාම දැක්වීම එහි දී වැදගත් වේ.

අප තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සිය හැටක පමණ කාලයක් ඉක්මවා ඇතද අදත් ශ්‍රද්ධාවත් බෞද්ධයෝ ජීවමාන බුදු හිමියන්ට මෙන් කළ යුතු වතාවත්, පුද පූජාවන් උන්වහන්සේ වෙනුවෙන් ඉටු කරති. සෑම බෞද්ධ නිවෙසකම පාහේ බුදුහිමියන් වෙනුවෙන් මලක්, පහනක් පැන් බඳුනක් පූජා කරති. එහෙත් උගත්යැයි කියා ගන්නා ඉතාම සුළුතරයක් විසින් ප්‍රතිමා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එලෙස ඉටුකරනු ලබන පුද පූජාවන් අර්ථ විරහිත බව පවසනු ලබති. ඔවුන්ට අනුකම්පා කරනු හැර කළ හැකි වෙනත් යමක් නැත.

බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ හෝ බෝධින් වහන්සේ ඉදිරිපිට හෝ බෞද්ධයා බුද්ධ පූජාව , ගිලන්පස පූජා කරන්නේ ජීවමානව වැඩසිටි බුදුහිමියන් ඉදිරිපිට උන්වහන්සේට කරන පූජාවක් යන උතුම් අදහසිනි. එමඟින් ඔවුහු බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතත් ජීවමාන බුදුහිමියන්ට කළ පූජාවක ආනිසංස ලබාගනිති.

විශේෂයෙන් සුනාමි ව්‍යසනයත් සමඟ, මංමාවත්වල, මංසන්ධිවල, බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරවීමේ ප්‍රවණතාවක් දැක ගත හැකිවුණි. එහෙත් බොහෝ තන්හි එම කාර්යය ආරම්භයේ දී වූ උනන්දුව පසුවට ගිලිහී යනු පෙනේ. එම ඇතැම් පූජනීය ස්ථාන කපුටන්ගේද වාසස්ථාන බවට පත්වන සැටි පෙනේ. එය පිදිය යුතු බුදුරජාණන් වහන්සේට කරන පිදීමක් නොව නිගරුවකි. එවැනි ක්‍රියා අන්‍යයන්ගේ උපහාසයට ලක්වීමද වැළැක්විය නොහැකිය. කළ යුතු වතාවත්, පුද සත්කාරයන් නිසි පරිදි කළ නොහැකි නම් එවැනි තැන් ඉදි නොකර සිටීම පිදිය යුතු උතුමෙකුට කරන ගෞරවයකි.

මෙහිදී අප සිහිපත් කරගත යුතු වටිනා බුදුවදනක් තිබේ. මහා පරිනිබ්බාණ සූත්‍රයේදී අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේට මල් ගඳ විලවුන්වලින් පූජා කිරීම නොසෑහෙන බවත් තමන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව අධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීම උන්වහන්සේට කරන උතුම්ම පූජාව වන බවත්ය.

ධර්ම රත්නයට කරන පූජාව වන්නේද ධර්මය කට පාඩම් කර ගැනීම නොවේ. නිතර සජ්ඣායනා කිරීමද නොවේ. දන්නා ස්වල්ප ධර්මය වුවද එයට අනුකූලව කටයුතු කිරීමය. බුද්ධ දේශනාව වන්නේ එයයි.

වජ්ජීන්ගේ අපරිහානීය ධර්ම පිළිබඳව සඳහන් කිරීමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ වජ්ජීන් තම රාජ්‍යයෙහිත්, ඉන් පිටතත් ඇති පූජනීය ස්ථානයන්ට කළ යතු සත්කාර, බහුමාන කරන්නේ නම්, ඒවාට කළ යුතු ධාර්මික බලි කඩ නොකොට ඉටු කරන්නේ නම් ඔවුන්ට අභිවෘද්ධියක් මිස පරිහානියක් නොවන බවයි.

පරිනිබ්බාණ සූත්‍රයේදි උන්වහන්සේ ආනන්ද හිමියන් අමතා දේශනා කළේ යම් සැදැහැවත් පුද්ගලයෙක් සැදැහැ සිතින් චෛත්‍ය චාරිකාවේ හැසිරෙන මොහොතක, අතරමඟ කලුරිය කෙළේ නම් හේ මරණින් මතු සුගතියේ උපදින බවය. ඒ පිළිබඳ දීඝ නිකාය අට්ඨ කතාව මෙසේ පැහැදිලි කරයි.

යම් කෙනෙක් චෛත්‍ය චාරිකාවේ හැසිරෙමින් සැදැහැ සිතින් චෛත්‍යය මළු අමදිමින්, මලසුන් සෝදමින්, මහ බෝ සමීපයෙහි දිය ඉසිමින් හැසිරෙත්ද ඔවුන්ට දිව්‍ය සම්පත් ලැබීම ගැන කිවයුතු නැත. ඒකාන්තයෙන් ලැබෙන බැවිනි. අසවල් විහාරයෙහි චෛත්‍යය වඳින්නෙමු’යි ප්‍රසන්න සිතින් පිටත්ව යන්නාහුද එසේ යන අතරමග කළුරිය කෙරෙත්ද පහන් සිතින් මිය ගිය ඔවුහු මරණින් මතු දෙව්ලොව උපදිති යනුවෙනි.

මේ අනුව ආගමික සිද්ධස්ථාන පෞරාණික ස්ථාන සුරක්ෂිත කිරීම මෙන්ම ඒවා පෝෂණය කිරීමද, වන්දනාමාන ගරු සැලකිලි කිරීමද රටක ජාතියක වගකීම විය යුතුය. පූජනීය ස්ථාන සුරක්ෂිත කිරීම මාහැඟි පින්කමක්වේ නම්, ඒවා කඩා බිඳ දැමීම, අනාරක්ෂිත කිරීම පරිහානියට හේතුවන බවද ගම්‍ය වෙයි. අධික තණ්හාව නිසා රැවටී පෞරාණික පුදබිම් හා ස්තූප, ප්‍රතිමා කඩා බිඳ දමන අවස්ථා ගැන විවිධ අවස්ථාවන්හි අසන්නට, දකින්නට ලැබේ. එවැනි අධම ක්‍රියාවන් ජීවිත පරිහානියට හේතුවනවා සේම අපායගාමී පාප කර්මයක්ද වේ.

ලක් ඉතිහාසයේ රට දැය, සමය වෙනුවෙන් අප්‍රමාණ ලෙස කැපවූ රජවරු, පඬිවරු, ප්‍රභූවරු සේම භික්ෂූන් වහන්සේ පිළිබඳව ද අපි අසා ඇත්තෙමු. ඒ උතුම් මිනිසුන්ගේ නම් ඉතිහාසයේ රන් අකුරින් සටහන්ව ඇත. එබඳු උතුමන් කෘතවේදී සිතින් සිහිපත් කිරීමද පිදිය යුත්තන් පිදීමය. අතීතයේ අපේ රටේ ඉංගී‍්‍රසි පාලකයන් විසින් ජාතික නිදහස වෙනුවෙන් සටන් කොට දිවි පිදූ දේශපේ‍්‍රමීන් රාශියක් රාජ ද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබ තිබියදී වත්මන් රජය විසින් ඒ ඓතිහාසික වරද නිවැරැදි කිරීමට ගත් තීරණය අගය කළ යුතුය. එයද පිදිය යුත්තන් පිදීමේ විශිෂ්ඨ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

බොදු දහමින් සුපෝෂිත සමාජයකට මවුපිය ,වැඩිහිටි උපස්ථානය, රැකබලා ගැනීම ගැන මතක් කර දිය යුතු නොවේ. එහෙත් ඇතැම් පවුල්වල ඊට පටහැනිව මවුපියන් අමතක කොට, මහමඟ තනිකර යන අවස්ථා ගැනද අසන්නට ලැබේ. එය සිදු නොවිය යුත්තකි. අද අප කවර තරාතිරමේ ජීවිතයක් පවත්වාගෙන ගියද, මොන හපන්කම් කළද, ඒ සියල්ලේ මූලික පදනම සකසා දුන්නේ මවුපියන් බව අමතක නොකළ යුතුය. සරලව කියනවා නම් අපට මනුෂ්‍ය ජීවිතයක් ලැබණේ අපගේ මවුපියන් නිසාය. උපතින් පසු අප අත්හැර දැමුවේ වුවද ජීවිතය ලබා දීම සම්බන්ධයෙන් අප මවුපියන්ට සදා ණය ගැතිය.

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ඒ ණයෙන් නිදහස්වීම ඉතා දුෂ්කර වන බවය. මවුපිය දෙදෙනා තම දෙවුර මත තබාගෙන අවුරුදු සියයක් ඔවුන්ගේ සියලු අවශ්‍යතාවන් ඉටු කළත් ඒ ණයෙන් නිදහස් විය නොහැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ආච්චි අම්මා, සීයා පවුලකට මහඟු සම්පතකි, ඔවුන් ජීවත්වීමෙන් ලද අත්දැකීම්, දැනුම් සම්භාරයන් ඒ පවුලේ අභිවෘද්ධියට නිධානයකි. අතීතයේ දරුවන්ට හොඳ, නරක, කළ යුතු නොකළ යුතු දේ කියා දුන්නේ සිරිත් විරිත් හඳුන්වා දුන්නේ වැඩිහිටියන්ය. ඒ ඔවදන් ,ආදර්ශ ලද අයට කිසිදා වැරදුණේ නැත. කිරිඅම්මා, කිරි අත්තා ගේ මුවින් ගැයුනු ගී. කතන්දර, කවි, ගාථා දරුවන්ට තක්ෂලාවක් බඳුවිය. මේ නිසා වැඩිහිටියන් රැක බලා ගැනීම මහඟු පින්කමකි. යුතුකමකි.

දැනුම දුන් ගුරුවරු, ගුරුවරියන්ද පූජාවට ලක්විය යුත්තෝය. ඔවුන් එදා නොමසුරුව ලබා දුන් අධ්‍යාපනයට පින් සිදුවන්නට අපි කිසිවෙකුට අත නොපා ජීවත් වෙමු. අතළොස්සක් හැර වැඩි පිරිසක් ගුරු දෙවිවරුය. ගෞරවය රැක ගත්තෝය. ඔවුන් මනාව ඉටු කළ වගකීම, වැටුපක් ලැබූවද එයට ප්‍රමාණවත් කළ නොහැකිය.

අපරිහානීය ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපගේ අභිවෘද්ධියට හේතුවන තවත් කරුණක් පෙන්වා දුන්හ.

යෙ වුද්ධමපචායන්ති – නරා ධම්මස්ස කොවිදා
දිට්ඨෙව ධම්මෙ පාසංසා – සම්පරායෙච සුග්ගතිං

දහමෙහි දක්ෂ වූ යම් කෙනෙක් වැඩිහිටියන් පුදන්නෝද මෙලොව නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වන්නෝය. පරලොව ද සුගතිගාමී වන්නෝය.

අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධාපචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණො සුඛං බලං

වැඩිහිටියන් වඳින ස්වභාවය ඇත්තා වූ, නිතර වැඩිහිටියන් පුදන්නා වූ තැනැත්තාට ආයුෂ ලැබේ. ශරීර වර්ණය ලැබේ. සැප බල ලැබේ. මේ ධර්ම සතර මෙලොව දීම වැඩේ.

සමාජයක් ශිෂ්ඨ සම්පන්න වූ විට පිදිය යුත්තන් පිදීම නියත වශයෙන්ම සිදු වන්නේය. ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස අපි , එම උතුම් සද්කාර්ය වගකීමක්සේ සලකා මෙලොව ජීවිතයේ දියුණුවට, පරලොව සුගතියට මඟ සලසා ගන්නට අදිටන් කර ගනිමු.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]