UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපි භාවනා කරමු - 08 : අනුසස්වලට ඇලී ගැලී භාවනා නොකරන්න

අනුසස්වලට ඇලී ගැලී භාවනා නොකරන්න
 

සාකේත නුවර පාලක සිටුතුමා, බුදුරජාණන් වහන්සේට පූජා කළ ආවාසය ආලකාරාමයයි. ජෛන ආගමිකයෙක් වූ පාලක සිටුතුමා අති විශාල ධනයක් විය පැහැදැම්කර ආලකාරාමය ඉදි කළා. මෙසේ ජෛන ආගමිකයන් බුදු දහම වැළඳ ගනිද්දී ජෛන නායකයන් බියට පත්ව බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්න, අපහාස කරන්න පෙළඹුණා.

සාකේත නුවර පාලක සිටුතුමාගේ පුතණුවන් විවාහ පත් කරගත්තේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ දියණියයි. පාලකාරාමය ඇති වූණේ තම ලේලිය වූ චූල සුභද්‍රාව නිසයි. ඇය, බුදුරජාණන් වහන්සේ සමඟ පන්සියයක් මහරහතන් වහන්සේ ආලකාරාමයට වඩම්වා දන් දුන්නා. එහිදී ඇති වූ අපමණ පැහැදීමෙන් තම මාමණ්ඩිය ආලකාරාම මහා විහාරය ඉදි කර බුදුරදුන්ට පූජා කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ තම ගුණයන් දීර්ඝව දේශනා කර වදාළේ අන්‍යයන්ගේ යහපත උදෙසාමයි. මේ සුමධුර සදහම් දේශනාවේදී මහා පෘථිවිය වාර හතරක් කම්පිත වුණා. මේ සුවිශේෂී නිමේෂයේදී අති විශාල පිරිසක් නිවනින් සැනසුණා. දෙව් , බඹුන් අසීමිතව නිවනින් සැනසුම ලැබුවා. මේ පිරිස බුදු ගුණ භාවනාව සසරේ පුරුදු පුහුණු කළ පින්වතුන් වූවා.

බුදු ගුණ භාවනාවෙන් ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ඥාන, අනුපිළිවෙළට වැඩෙයි. බුද්ධානුස්සතියෙන් ප්‍රථමයෙන් ශ්‍රද්ධාව වැඩෙයි. පසුව වීර්යය, සිහි කල්පනාව, සිතේ තැන්පත්කම සහ නුවණ ලැබෙයි. මේ ධර්ම පහ ලැබුණේ බුදුගුණ භාවනාව මෙනෙහි කළ නිසයි. මේවා වැඩෙද්දී නීවරණයෝ තිබුණු තැනකවත් සොයාගන්න බැහැ. රාග, ද්වේශ, මෝහ, කෙලෙසුන් තිබුණ තැනකවත් සොයන්න බැහැ. ඒ නිසා බුදු ගුණවලට සිහිය පිහිටුවීම ඉතාම වැදගත්. මෙය මුලදි අපහසු වුවත් සිහිවන වාරයක් පාසාම බුදුගුණ හොඳින් මෙනෙහි කරමින් ඉදිරියට යන්න.

අතීතයේදී අපට බුදු ගුණ මෙනෙහි කරන්න බැරිව ගියා. අනාගතයේදී අපට බුදුගුණ මෙනෙහි කරන්න බැරි වේවි. හේතුව, බුදු සසුන එතරම්ම අසීරු නිසයි. වර්තමානයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයත්, මනුෂ්‍ය ජීවිතයත් අපට ලබන්න පුළුවන් වුණා. එසේනම්, අපි පුළුවන් තරමින් බුදුගුණ භාවනාව සිදු කරමු. මේ මඟින් ලැබෙන පින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වෙයි.

අපට අපායෙන් අත් මිදෙන්න බුදුගුණ භාවනාව වැඩීම බොහොම අගෙයි. අපායකට ඇද වැටී කල්ප ගණන් දුක් වින්දොත් බියකරු සසරේ සුගතියක් දකින්න අසීරුයි. සුගතියක විසීම එතරම්ම අපහසු කරුණක්. බුදු ගුණ භාවනාවෙන් කෙනෙක් සුගතියක විසුවොත් නිවන් සුව ලැබීම අසීරු නැහැ. ඒනිසා කවුරුත් අපායෙන් අත් මිදීමට වැඩ කටයුතු කළ යුතුයි.

අපායගාමී දොරටු නිබඳවම විවරව තිබෙයි. දෙව්ලොව, බඹලොව දොරගුළු වසා තිබෙයි. එය විවර කළ යුත්තේ තමා විසින්මයි. සිත, කය, වචනයෙන් සිදුවන පාපයට අපායේ දොරගුළු විවර වෙයි. බහුලව ඇති අපාය අතුරින් එකසිය තිස්හයක් නරකාදී වෙයි.

දිව්‍යලෝක ඇත්තේ හයයි. බ්‍රහ්ම ලෝක දාසයයි. අරූපාවචර හතරයි. සුගතියට ඇත්තේ මෙපමණයි. පේත ලෝක, අසුර ලෝක, තිරිසන් ලෝක අසීමිතයි. එසේනම්, ලොවේ බහුලව ඇත්තේ අපායයි.

අතලොස්සක් පිරිස පමණක් සුගතිගාමී වන බව සිතා කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. අපායගාමී නොවීමට මහා නුවණක් අවශ්‍යයයි. ඒ සඳහා බුද්ධානුස්සති භාවනාව සපුරා ගැනීම ඉතාමත්ම වැදගත්. එසේනම්, බුදු ගුණ සහ බුද්ධානුස්සති භාවනාව ගැන කරුණු කාරණාවෝ කාටත් පහදා දෙන්න.

බුදු ගුණ නිබඳවම මෙනෙහි කරන්නා සුවසේ සැතපී සුවසේ පිබිදෙයි. සමහරෙකුට නින්ද යන්නේ නැහැ. සමහරෙකු නිසි වේලාවට අවධි වෙන්නේ නැහැ. මේ කරුණු දෙකට හොඳම විසඳුම බුදු ගුණ භාවනාවයි. වෙලාවට නිදාගත්විට සුව නින්දක් ලැබෙයි. උදේ අට, නවය වෙනතුරා නොනිදා අළුයම අවධි වෙයි. මේ අනුසස් දෙකම මදිද බලන්න? සුව නින්ද සහ සුව අවධිය, කෙතරම් අගෙයි ද? බුදු ගුණ භාවනාවෙන් නිබඳවම පින් වැඩෙයි. බුදු ගුණ භාවනාවට වේලාවක් නැහැ. උදෑසන, දිවාකාලයේ , රාත්‍රියේ කුමන වේලාවක හෝ බුදුගුණ භාවනාව සිව් ඉරියව්වෙන් මෙනෙහි කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් අවිඳු අඳුරේ ගැලී සිටින පෘතග්ජන අපට උපදෙස් දුන්නා. මෙයට අමතරව නින්දට යන තුරා,.. යාවතස්ස විගත මිද්ධෝ... එම ඉරියව්මෙන්ම බුදුගුණ භාවනාව මෙනෙහි කිරීමෙන් තම තමන්ට උතුම් අනුසස් ලබන්න පුළුවන්. ඒ අනුසස් තමන්ටම දැනේවි. බියකරු සසරේදී අනේ! මා කෙතරම් පින්වන්තදැ’යි සිතේවි. තමන් කෙතරම් පින් දහම් කළාදැ’යි තමන්ටම දැනේවි.

වර්තමානයේදීත් ලොවේ අති විශාල ධනවතුන් සිටිනවා. දෙව් ලොව අති විශාල පින්වන්තයෝ වෙසෙන්නේ බුදු ගුණ භාවනාවේ යෙදුණු නිසයි. ඔවුන් කම්පිත නොවී අකම්පිතව දිවි ගෙවයි.

දුටුගැමුණු මහ රජතුමාට, දසමහා යෝධයන්ට තිබුණේ පුදුම සවි ශක්තියක්. ඔවුන්ට ඇතුන් හත් අට දෙනෙකුගේ කායික ශක්තියක් ලැබුණේ තුනුරුවන්ට ගරු බුහුමන් කළ නිසයි. මේ අය එතරම්ම බල සම්පන්නව දිවි ගෙවුවා. ඔවුන් සසරේදී තුනුරුවන්ට පිදුම් දුන් කිරි ආහාර පූජාවේ ආනිසංස බලයෙන් යෝධයන්වී උපත ලැබුවා. තුනුරුවන්ට පිදුම් දුන් කිරි ආහාර පූජාවේ බලයෙන් යෝධ ශක්තිය ලැබුණානම් බුදු ගුණ භාවනාව කෙනෙක් වැඩුවොත් කෙසේ වෙයිද? මේ නිසා බුද්ධානුස්සති භාවනාවෙන් අපේ ගත, සිත දෙකම නිවා සනසා ගන්න පුළුවන්. සංසාරෙම අරුම පුදුම වාසනාවන්ත මහේ ශාක්‍ය ජීවිත ලබන්න පුළුවන්.

කිසිවකින් අඩුපාඩුවක් නැතිව හැම සම්පතක්ම ලබන්නට පාරමිතා වැඩෙන සේ බුදු ගුණ භාවනාව වඩන්න පුළුවන්. හැබැයි,දෙවි, මිනිස්, රාජ සම්පත් පතා බුදු ගුණ භාවනාව නොකළ යුතුයි. එසේ කළොත් ලැබෙන ආනිසංස අල්ප වෙයි. දෙව්ලොව , බඹලොව, රාජ සම්පත් ගැන සිත පිහිටුවාගෙන බුදු ගුණ භාවනාව වැඩුවොත් එතන ඇත්තේ තණ්හාවයි. ඒ නිසා තණ්හාව මුල්කරගෙන භාවනා නොකර නිවන් සුවපතාගෙනම භාවනා කළ යුතුයි.

රාග, ද්වේශ, මෝහ කෙලෙසුන් පහළ නොවේවා!, එසේම රාග, ද්වේෂ, මෝහ කෙලෙසුන් නිරුද්ධ වේවා! රාග , ද්වේශ මෝහ කෙලෙසුන් සන්සිඳේවා! මේ ක්‍රමයෙන් බුදු ගුණ භාවනාව සිදු කරන්න.

එසේනම්, ලක්වැසි, ලෝවැසි සැවොම බුදුගුණ භාවනාව දියුණු කළොත් බොහොම අගෙයි. නීවරණයන් සන්සිඳුවා ගන්න පුළුවන්. කරදර, පීඩා, මාරක , බාධා , අපල සන්සිඳුවා ගෙන සසර ගමන කෙටි කර ගැනීමට උපකාරී වෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන නම් වූ නව ලොවුතුරු දහමට සමීප වෙයි. මෙසේ සියලු කරුණු කාරණාවෝ සිතට ගෙන කටයුතු කළ යුතුයි. එවිට කිසිම බාධාවක්, කරදරයක් නැතිව මේ ගමන ඉදිරියට යන්නට පුළුවන්.

එසේනම්, බුද්ධානුස්සති භාවනාව වැඩි දියුණුවෙන් මෙලොව පරලොව යහපත සලසා ගැනීම පමණක් ප්‍රාර්ථනා නොකර ඉතා ඉක්මන් භවයකදීම බුද්ධානුස්සති භාවනාවෙන් නිවන් සම්පත් ලැබේවා යන පැතුම සිතෙහි පෙරදැරි කළ යුතුයි. සෑම ඉරියව්වකදීම ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යනුවෙන් බුදුගුණ පාඨය නිබඳව මෙනෙහි කරන්නැ’යි නැවත වරක් පින්වත් ඔබට කරුණාවෙන් සිහිපත් කරමු.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]