UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිදැල්ලේ හැසිරෙන සිතට විමුක්තිය ලැබෙන පිහිට

නිදැල්ලේ හැසිරෙන සිතට විමුක්තිය ලැබෙන පිහිට

වසවර්ති මාරයාත් බිය වූ එකම දේ බුදු ගුණයි, යක්ෂ, පේත,අමනුෂ්‍යයෝ පවා බුදු ගුණ පාඨයට බය නම් බුදු ගුණ පාඨයෙන් තම තමන්ගේ සිතේ දියුණුවෙන් පංච නීවරණ සංසිඳුවාගන්න පුළුවන්. බුදු ගුණ සිහිපත් කිරීමෙන් ලෝභ, ද්වේශ, මෝහ , මාන, උඩඟුකම්, මුකුත්ම නැහැ. අලෝභ, අදෝශ, අමෝහ උදාර චේතනාවෝ පහළ වෙයි.

පසුගිය ලිපි පෙළ මඟින් නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරන ආකාරය සඳහන් කළා. ඉතිපි සෝ ... ගාථාවම මෙනෙහි කළත් වරදක් නැහැ. මේ ගුණයන්ගේ තේරුම දැන කියා ගෙන පුළුවන් තරමින් මෙනෙහි කරන්න. යන එන විටදී , ගෙදර දොරේ වැඩ කටයුතුවලදී, වත්තේ පිටියේ සිටියදී නිදැල්ලේ හැසිරෙන සිතට ඉතිපි සෝ ගාථාවෙන් ලැබෙන්නේ යහපතක්. එය බුද්ධානුස්සති භාවනාවයි. එයම අපේ විමුක්තිය පිණිස පවතියි.

ලොවේ පහළ වූ ශාස්තෘන් වහන්සේ අතුරෙන් ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේයි. උන් වහන්සේගේ ගුණ තේජස, ඥාන තේජස, ධර්ම තේජස මෙපමණයි යනුවෙන් පවසන්න අසීරුයි. ලෝක ධාතුවේ සිටින සියල්ලෝම රැස් කළ පින එකතුකළත් බුදුරජාණන් වහන්සේ රැස්කළ පිනට කිසිසේත්ම සම කරන්න බැහැ. ජීවිත පරිත්‍යාගයෙන් දාන, ශීල, නෛෂ්කර්ම ආදී උතුම් පින්කම් වලින් ඒ අයට අති විශාල පිනක් හිමිකර ගන්නට ලැබෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් කරන පින බොහොම බලගතුයි. එය පරමත්ථ පාරමිතායි. ලොවුතුරා බුදු බව පතන උත්තමයෙක් පමණක් මෙම පාරමිතාව සපුරයි. සාමාන්‍ය කෙනෙකුට ඒ තත්ත්වයට පත් වන්නට බැහැ.

දන්දීම කොතෙකුත් සිදු කළත් ජීවිත පරිත්‍යාගයෙන් දන්දෙන අය බොහොම අඩුයි. මහ බෝසත්වරු දානමාන පින්කම් කර සුවිශේෂී තනතුරු ලැබුවා. ඕනෑම කෙනෙකුට ඕනෑම පරිත්‍යාගයක් කරන්න පුළුවන්. නමුත් දරුවෙක් පරිත්‍යාග කරන්න අපහසුයි. දරුවෙක් පරිත්‍යාග කරන්න නැඹුරු වූ පින්බර සිතට බුද්ධත්වය නම් වූ අසමාන තනතුරෙන් පිදුම් ලබන්න පුළුවන්.

බුද්ධත්වයට පත්වුණ උතුමන්ගේ අපමණ ගුණ ඉතිපි සෝ භගවා අරහං පාඨයට ඇතුළත් කර තිබෙයි. මෙසේ බුදු ගුණ මෙනෙහි කරන වරක් පාසාම අපමණ පිනක් සිදු වෙයි. කරදර පීඩා , මාරක , බාධක මැඩගෙන අපල , යක්ෂ , පේත, භූත අමනුෂ්‍ය කරදර යටපත්ව ඉදිරියට යන එකම ක්‍රමය බුද්ධානුස්සති භාවනාවයි.

ඇතැමුන්ගේ මතය බුදු ගුණ භාවනාවෙන් නිවන් දකින්න බැරි බවයි. නමුත්, බුදු ගුණ භාවනාවෙන් සංසාර ගමන කලකිරී, රාග, ද්වේශ. මෝහ ආදි කෙලෙස් නැති කර, අපල මාරක බාධා සංසිඳුවාලන, පාරමී ගුණ දියුණු කරන, කෙලෙසුන් යටපත් කරන, නිවන් සම්පත් සලසා ගන්නට හේතුවන බව බුදුරජාණන් වහන්සේම වදාළ බව අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙන් සඳහන් වෙයි. එසේනම්, සැවොම කිසිවකුගේ වදනට සවන් නොදී බුදු ගුණ භාවනාව බුදුරජාණන් වහන්සේ විසින්ම අනුදැන වදාළ භාවනාවක් බව සිතෙහි තබාගෙන ශ්‍රද්ධාව හොඳින් දියුණු කර ගන්න. එය බුද්ධ පූජා , වතාවත් කිරීමෙන් බුද්ධානුස්තිය වැඩීමට මහෝපකාරී වෙයි.

ඇතැම් රටවල ඉහළින්ම වඩන්නේ බුදු ගුණයි. ඔවුහු ආශ්වාස, ප්‍රශ්වාසය බුද්ධෝ...,බුද්ධෝ... යනුවෙන් සම්බන්ධ කරමින් මෙනෙහි කරති. එතරම්ම බුදු ගුණ ප්‍රභලයි. එසේනම්, කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවනාව වැඩිය යුතුයි.

බුදු ගුණ භාවනාවට ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ධ්‍යානයකින් ආනිසංස කෙළවරක් දකින්න බැරි නිසා, එක බුදු නෙනෙකුගේ සන්ථානයේ පහළ වූ ගුණ ගණනය කරන්න අපහසු නිසා අනන්තෝ බුද්ධ ගුණෝ යනුවෙන් හැඳින්වූවා. එසේනම්, බුදුන් වහන්සේගේ ගුණ ,ඥාන ඇතුළත් කරමින් බුදු ගුණ නවය බුදුරජාණන් වහන්සේ වදාළා.

නුඹලාට බියක් , තැතිගැන්මක්, ලෝම හංසනයක් ඇති වුණොත් ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ...යනුවෙන් සිහිපත් කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ ධජග්ග සූත්‍ර දේශනාවෙන්ම වදාළා. බුදු ගුණ භාවනාව සියවරක් පාසාම මෙනෙහි කිරීම වටිනවා.

වසවර්ති මාරයාත් බිය වූ එකම දේ බුදු ගුණයි, යක්ෂ, පේත,අමනුෂ්‍යයෝ පවා බුදු ගුණ පාඨයට බය නම් බුදු ගුණ පාඨයෙන් තම තමන්ගේ සිතේ දියුණුවෙන් පංච නීවරණ සංසිඳුවාගන්න පුළුවන්. බුදු ගුණ සිහිපත් කිරීමෙන් ලෝභ, ද්වේශ, මෝහ , මාන, උඩඟුකම්, මුකුත්ම නැහැ. අලෝභ, අදෝශ, අමෝහ උදාර චේතනාවෝ පහළ වෙයි. මේ චේතනාවන්ගෙන් පිරිපුන්ව මේ බුදු ගුණ භාවනාව සිදු කළ යුතුයි. බුදු ගුණ භාවනාවෙන් අති විශාල නුවණක් ලැබෙයි. එය පළමු කාරණයයි. විශාල නුවණක්, බුද්ධියක් ලබන්න මේ බුද්ධානුස්සතිය මහෝපකාරී වෙයි.

බුදුරජාණන් වහන්සේට අතීත සංසාරයේදී ලොවුතුරා බුදුවරු අනන්ත අප්‍රමාණව මුණ ගැසුණා. උන් වහන්සේ විසි හතර නමකගෙන් විවරණ ලබා ගත්තා. ඒ ශාසනවලදිත් බුද්ධ ගෞරවය ඉහළින්ම අගැයූ බෝධිසත්වයන් වහන්සේ සසරේ අවසන් භවයේදී සම්මා සම්බුද්ධත්වයෙන් පිදුම් ලැබුවා. මේ අසම සම සම්මා සම්බුදු පදවිය ලොවේ කෙතරම් පැතුවත් කෙනෙකුට ලබන්න බැහැ.

මංගල මහ බෝධිසත්වයන් වහන්සේගේ අවසාන පාරමිතාව වූයේ දරු දෙදෙනා දන් දීමයි. එවැනි පරිත්‍යාගශීලී පින්වතෙකුට බුද්ධත්වයෙන් පිදුම් ලැබිය හැකියි. මංගල බෝධිසත්වයෝ දරුවන් දන් දුන්නේ මිනිස් වේෂයෙන් පැමිණි යක්ෂයෙකුටයි. මේ යක්ෂයා අතට ගත් දරු දෙදෙනා ලේ වගුරවමින් හපා කෑවා. මෙය දරුවන්ගේ අතීත කර්ම විපාකයක් වෙන්නට ඇති. මේ බියකරු දසුනින් මංගල මහ බෝසතාණෝ දෑස තදින් වසා සිත දැඩිකරමින් ඉවසා දරා මෙසේ සිතුවා. මේ යක්ෂයාට දරුවන් දන් දුන් පිනෙන් මට ලොවුතුරා බුදුබව ලබන්න පාරමිතා සැපිරේවා! මේ පිනෙන් ලෝකයම ඒකාලෝක වී මාගේ දරුවන් හා සමාන වූ අනෙකුත් සියලුම ලෝක සත්ත්වයාම අවිඳු අඳුරෙන් මුදා ගන්නට හේතු වාසනා වේවා! යනුවෙන් උත්තරීතර පැතුමක් සිතුවා.

මේ පැතුම ඉෂ්ඨ සිද්ධ වූ බෝධි සත්ත්වයන්ගේ ශ්‍රී දේහයෙන් ලෝක ධාතුව සිසාරා බුදු රැස් මාලාවන් විහිදී ගියා. කළු පැහැ ගැන්වුණු දැලි වළඳක ඇතුළත දිලිසෙන්නා සේ මේ ලෝකය ඒකාලෝක වූවා. දිවා, රැය සොයා ගන්නටවත් බැරි තරමින් මංගල බුදුරදුන්ගේ රශ්මි මාලාවන්ගෙන් ලෝක ධාතුව අසිරිමත් වූවා. එතරම්ම උන්වහන්සේ තේජවන්තයි, බලවන්තයි. එසේනම්, දරුවන් පවා දන් දී පින සපුරා ලද බුද්ධත්වයේ ගුණ අපමණයි

සංසාරයේ දියුණු කළ පින දාන, ශීල, භාවනා වශයෙන් කොටස් තුනකට බෙදුවා. පාරමිතා වශයෙන් කොටස් දහයකට බෙදුවා. මේ සියල්ල බෙදා දක්වා එම ගුණත්, බුදු ගුණ නවයට ඇතුළත් වූවා. මෙසේ අසමාන වූ මහා ඥාන සාගරයක් බුදු ගුණ වලට ඇතුළත් වෙයි. මේ ගැන මෙනෙහි කර, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් උත්තරීතර උත්තමයා සම්මා සම්බුද්ධෝ යනුවෙන් ව්‍යවහාර කළා. නොයෙක් ධර්ම අවබෝධ කරගත් ශාස්තෘවරු ලොවේ ඇතත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් ශාස්තෘවරයෙක් නම් කොහේවත් නැහැ.

මහ බෝසතාණන් වහන්සේ බුද්ධගයා මූලයේදී අවබෝධ කරගත් ධර්මය සුවිශේෂියි, විශිෂ්ටයි. සිව් වැදෑරුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා උත්තමයා නව ගුණයට ඇතුළත් වෙයි. එතරම් සුවිශේෂී ගුණ සාගරයක් මෙනෙහි කරන අයට බුද්ධානුස්සති භාවනාව සම්පූර්ණ වෙයි. ලැබෙන පින සීමාවක් නැහැ. සුළු මොහොතකින් නිවනින් සැනසී යනවා. බුදු ගුණ භාවනාවෙන් රහත් වූ ස්වාමීන් වහන්සේලාත් වැඩ සිටියා. උන්වහන්සේලාගේ සසරගත පින අපමණයි.

තෙරුවන් ගුණ නිබඳව මෙනෙහි කිරීමෙන් ලැබෙන පින බලගතුයි. එය සිහි කිරීම සමථ භාවනාවක්. පින බලවත් වූවෝ අර්හත්වයට පත්වන බව ධර්මයේ සඳහන් වෙයි. සංසාරයේ බුදු ගුණ භාවනාවෙන් බවුන් වැඩුවෝ රහත් ඵලයෙන් සැනසුම ලබති.

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]