UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන් වැඩිහිටියන්ට ගරු නොකරන්නේ ඇයි?

දරුවන් වැඩිහිටියන්ට ගරු නොකරන්නේ ඇයි?

අනෙකා අඛණ්ඩව තමන්ට නොසැලකීම අනෙකාගේ වරදක් පමණක් බවට කල්පනා කිරීම සුදුසු නැහැ. ඒ පිළිබද කොටසක් තමන්ටත් අයත් වෙයි. අප මේ දරුවන් හදාගත්තේ කෙතරම් දුක් මහන්සියෙන්ද. ඒත් මේ අයගෙ කිසිම ගුණයක් නැහැ. යනුවෙන් විටෙක ප්‍රකාශ කරයි. මේ සියල්ල අසත්‍ය කාරණා නොවෙයි. සියල්ල සත්‍යයි. සෑම වැඩිහිටියෙකුම දුක් විඳිමින් කැපවීම් කරමින් , ලේ කිරි කරලා පොවමින් කැත කුණු අතගාමින් දරුවන් දුක්මහන්සියෙන් හැදූ බව සත්‍යයක් වෙයි. එසේ නම්, ප්‍රශ්නය කුමක්ද? ඔබගේ ළඟ තිබුණ එම නිරාමිස කැප කිරීම ළමයාට අවුරුදු විසි පහ වන විට තිබෙනවාද?

මෙම ලිපියේ කොටසක් මැදින් අව අවටක පෝදා (මාර්තු 20 ) පත්‍රයේ පළවිය

වංචක ධර්ම විස්තරය තුළ රේරුකාණේ චන්ද විමල මහ නා හිමියෝ සිහිපත් කර ඇති පරිදි මෛත්‍රියේ මුවාවෙන් ස්නේහය ,ප්‍රේමය යම් පුද්ගලයෙකුගේ මනසෙහි වැඩීමට තිබෙන අවස්ථාව වැඩි බව දැක්වෙයි. මෛත්‍රියේ මුවාවෙන් ප්‍රේමය වංචා කළ හැකි වෙයි. ආදරය පැන නැඟිය හැකි වෙයි. එය මෛත්‍රියේ ස්වභාවයෙන් පැමිණෙයි. අපගේ අධ්‍යාත්මික සම්බන්ධකම් සඳහා කිසියම් ආකාරයක අපේක්ෂාවක් හෝ සිහිනයක් පැමිණුන විගස එම සම්බන්ධකම අපිරිසුදු වී යන බව අවබෝධ කර ගත යුතුයි. එම සම්බන්ධකම අතරමඟදී කඩාගෙන වැටීම නවතා ගත නොහැකි වෙයි.

සුරක්ෂිත බව

එම නිසා වැඩිහිටියන් වශයෙන් ඔබ ඉදිරි පරම්පරාව වෙනුවෙන් කරනු ලබන කටයුතු නිරාමිසව කළ යුතුයි. එම අවස්ථාව තුළ ඔබ සුරක්ෂිත වෙයි. ඔබ කරන වැඩ කටයුතු නිරාමිසව කරන්නේ නම්, ඔබ සුරක්ෂිත වෙයි. ඔබ දරුවන් වෙනුවෙන් කරනු ලබන කටයුතු ඉතාම ආත්මාර්ථකාමී බලාපොරොත්තු මුදුන් පත් කර ගැනීම ,මූළික කරගැනීමෙන් තොරව කටයුතු කරනවා නම්, ඔබගේ සුරක්ෂිත බව ගොඩනැඟෙයි. එය කළ හැක්කේද ,ඔබ එම තත්ත්වය විශ්වාස කරනවා නම්, පමණයි. අනෙක් පිරිස වෙනුවෙන් යම් දේවල් කළ යුත්තේ නිරාමිසව බවට යම් විශ්වාසයක් නැත්නම්, එය කළ නොහැකිය. නිරාමිසව දේවල් කිරීම තුළින් පමණක් සැබෑම සැනසිල්ල උදාවෙන බවට ශ්‍රද්ධාවක් අප තුළ මූලික වශයෙන් ගොඩනැඟී තිබිය යුතුයි. එසේ වූවිට එම තත්ත්වයන් අඛණ්ඩව කළ හැකි වෙයි.

නිරාමිස බවේ නටබුන්

ආතර් වී දියෙස් මැතිතුමා “කොස් මාමා” යන ඉතාම ආදරණීය නාමයකින් හඳුන්වනු ලබයි. කොස් මාමා ලංකාව පුරාම කොස් පැළ රෝපණය කරනු ලැබුවේ එතුමට අවශ්‍ය පරිදි කොස් ලී ඉරා ගැනීමට හෝ ලංකාව පුරාම තිබෙන කොස් ගස් වලින් කොස් මැල්ලුම් කෑමේ බලාපොරොත්තුවෙන් නොවෙයි.කොස් ටින් කරමින් අපනයනය කිරීෙමි බලාපොරොත්තුවකින්ද නොවෙයි. එතුමා කොස් ගස් රෝපණය කරනු ලැබුවේ පුද්ගලික බලාපොරොත්තුවෙන් නොවෙයි.එම හේතුව නිසාම එතුමාට එය අඛණ්ඩව කරගැනීමට හැකි විය. වර්තමානයෙහිදීත් එතුමා අපගේ ගෞරවය ලබමින් සිත් තුළ ජීවත් වනුයේ කුමක් නිසාද?එතුමා එය නිරාමිසව කළ නිසයි. පුද්ගලික යමක් තමාට සොයන්නේ නැතිව පැරැණි වැඩිහිටියන් යම් යම් කටයුතු සිදුකළ නිසයි. මීට අවුරුදු දාහකට පෙර සිංහල මිනිසුන් ජීවත් වූ ගෙවල්වල නෂ්ඨාවශේෂ අපට පෙනෙන්න නොතිබුණත්,අවුුරුදු දාහකට පෙර සිංහල මිනිසුන් පන්සල්වල වඳින පුදනු ලැබූ දාගැබ් ධර්මශාලා නටබුන් අතර දක්නට ලැබෙන්නේ එම කාරණාව නිසයි. සිංහලයා ධර්මය ශ්‍රවණය කළ ධර්ම ශාලාවල නටබුන් හමුවෙයි. එය නිරාමිසව ගොඩනගන ලද ගොඩනැඟිලි තුළ මිස ආත්මාර්ථකාමි ලෙස කටයුතු කළ ඒවායෙහි නොවෙයි. එය නිරාමිස බවේ නටබුන්ය. ආත්මාර්ථකාමී ගොඩනඟන ලද දේවල නටබුන් දක්නට ලැබෙන්නේ නැහැ.එය පරාර්ථකාමි විය යුතුය.

තමාට පුද්ගලික ලාභයක් ලබාගැනීමේ චේතනාවෙන් පමණක් පැරැණි වැඩිහිටියා කටයුතු කළේ නැහැ. ඔවුන් සැම විටම පොදු ස්ථානයක පොදු කටයුත්තක් ඉටුකිරීමට උත්සාහ කළ පිරිසක්. පැරැණි සිංහල බෞද්ධ පිරිස ඒ ආකාරයට කටයුතු කළ පිරිසක්.

අනුරාධපුර ශිෂ්ටාචාරයෙහි අහස උසට නැඟුන විශාල චෛත්‍ය අපට දක්නට ලැබෙන්නේ එම නිසයි.

නමුත් තට්ටු දෙකේ නිවාස දක්නට ලැබෙන්නේ නැහැ.එතරම් උස චෛත්‍ය ගොඩනැඟීමට ඤාණය තිබුණා නම්, තට්ටු දෙක තුනක නිවාස ගොඩනැඟීමට ඥානය , නොතිබුණා නොවෙයි. ඥානය තිබුණත් ඔවුන් වෙනුවෙන් විශල නිර්මාණ කරගැනීමේ දැඩි ආත්මාර්ථයකින් ඔවුන්ගේ මනස පෙළී නැහැ. එය බෞද්ධ මනසෙහි චෛතසික ස්වභාවයයි. එම වැඩිහිටියන් වර්තමානයටත් පූජනීය වී ඇත්තේ එම කාරණා නිසයි.

අපට වැඩිහිටියන් පිළිබඳව තිබෙන ගෞරවය වර්තමාන ළමයි තරුණ වියට පත්වන විට ඔවුන්ගේ වැඩිහිටියන් පිළිබඳව තිබෙන්නාවූ ගෞරවය ඔවුන්ගේ සිත් තුළින් ඉවත්ව යන්නේ ඇයි?අප පිළිබඳව ළමයින් තුළ ඇති ගෞරවය අඛණ්ඩව නොපවතින්නේ කුමක් නිසාද?යනුවෙන් වැඩිහිටියන් කල්පනා කළ යුතුයි. අප එම චෝදනාව වහාම ළමයින් වෙතට එල්ල කරනු ලබයි. දැන් හැදෙන ළමයින් කිසිකමට නැති බවට ප්‍රකාශ කරයි. එය වැරැදි අදහසක් මිස ඉතාම නිවැරැදි අදහසක් නොවෙයි.

ඇතැම් විටෙක කමකට නැති ප්‍රශ්නය යමිකිසි ආකාරයකට ළමයින් තුළ තිබිය හැකි වුවත්, අඛණ්ඩව වැඩිහිටියන්ට ගරු කිරීමට ළමයින් නොසිතන්නේ කුමක් නිසාද? වැඩිහිටියන්ට සළකන්න එපා යනුවෙන් කිසිදු ගුවන් විදුලි නාලිකාවක හෝ රූපවාහිනි නාලිකාවක ප්‍රචාරය කරන්නේ නැහැ. වැඩිහිටියන්ට නොසැලකිය යුතු බවට කිසිදු ආකාරයකින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. ගුවන් විදුලි රූපවාහිනී ධර්ම දේශනා තුළින්ද වෙනත් වැඩසටහන් තුළින්ද වැඩිහිටියන්ට සැළකිය යුතු බව ට නිතර සාකච්ඡා කරයි.සැම විටෙකම වැඩිහිටියන් සඳහා ගෞරව කළ යුතු බවට ප්‍රකාශ කරයි. නමුත් එය ෙවිගයෙන් ගොඩනැෙ ඟන්නේ නැහැ. එම ප්‍රශ්නය හෙවත් කතා කරන කාරණාව ගොඩනොනැඟීමට හේතුව නිෂ්පාදනය වන්නේ කුමන ස්ථානයෙන්ද යන වග අප හඳුනාගත යුතුයි.

වැඩිහිටියන් තුළින් එම හේතුව නිෂ්පාදනය වන බව සිතිය හැකියි. අනෙකා අඛණ්ඩව තමන්ට නොසැලකීම අනෙකාගේ වරදක් පමණක් බවට කල්පනා කිරීම සුදුසු නැහැ. ඒ පිළිබඳ කොටසක් තමන්ටත් අයත් වෙයි.

අපි මේ දරුවන් හදාගත්තේ කෙතරම් දුක් මහන්සියෙන්ද.ඒත් මේ අයගෙ කිසිම ගුණයක් නැහැ. යනුවෙන් විටෙක ප්‍රකාශ කරයි. මේ සියල්ල අසත්‍ය කාරණා නොවෙයි. සියල්ල සත්‍යයි. සෑම වැඩිහිටියෙකුම දුක් විඳිමින් කැපවීම් කරමින් , ලේ කිරි කරලා පොවමින් කැත කුණු අතගාමින් දරුවන් දුක්මහන්සියෙන් හැදූ බව සත්‍යයක් වෙයි. එසේ නම්, ප්‍රශ්නය කුමක්ද?ඔබගේ ළඟ තිබුණ එම නිරාමිස කැප කිරීම ළමයාට අවුරුදු විසි පහ වන විට තිබෙනවාද?

නිස්සරණාධ්‍යාසී කැප කිරීම

එම දරුවා මාස දෙක තුන අවුරුදු දෙක තුන වයස් කාණ්ඩවල වැඩෙන කාල පරාසයෙහි ඔබ ළඟ තිබුණ නිස්සරණාධ්‍යාසී කැප කිරීම, එම නිරාමිස පරිත්‍යාගශීලී බව ළමයාට අවුරුදු විසි පහ වන විට ඔබ තුළින් දරුවාට පෙන්නුම් කෙරෙනවාද? එසේ පෙනෙන්නේ නැති කොට දරුවා කුඩා කල දරුවාට සැළකුවේ මේ ආකාරයෙන් යනුවෙන් ඔබ විසින් කළා යැයි පුන පුනා කියන දෙය විශ්වාස කරන්නේ නැහැ. එම කළ කැප කිරීම අඛණ්ඩව ගලාගෙන ගිය බව ළමයාට පෙනෙන්නේ නැහැ. ඔබ ඉතාම සිල්වත්ව ගුණවත්ව , යහපත්ව ළමයි කුඩා අවධියෙහි ජීවත් වන්නට ඇති. නමුත් ළමයින් දැනුම් තේරුම් ඇති දවස් එන විට ඔබගේ ළඟ තිබූ එම ගුණ ධර්ම කැඩිලා ගියා නම්,ළමයින් කුඩා අවධියෙහි ඔබ හොඳින් සිටි බවට ඔවුන් පිළිගන්න එකක් නැහැ. ඔබ නිවැරැදිව ජීවත් වූ බවට පිළිගන්න එකක් නැහැ.

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]