UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන කිරම විමලජෝති නාහිමි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන කිරම විමලජෝති නාහිමි

දකුණු සිරිලක හම්බන්තොට දිසාවේ කිරම ග්‍රාමයේදී 1947 මාර්තු 31 වනදා සම්භාවනීය පරපුරක වාසනාවන්ත පුත් රුවනක් බිහිවිය.

දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක උපන් එම කුමරුවා සෙනෙහෙබර මෑණියන්ගේ ඉල්ලීමට අනුව මාතර වෙහෙරහේන රජ මහා විහාරයේදී පරවාහැර වජිරඤාණ නාහිමියන්ගේ සහ පරවාහැර රේවත නාහිමියන්ගේ මූලිකත්වයෙන් 1960 ජුනි 26 වනදා සසුන් කෙතට ඇතුළත් වූයේ කිරම විමලජෝති හිමි යන නාමයෙනි. පැවිද්දෙන් පසු කිරම විමලජෝති හිමියෝ මාතර මහා මන්තින්ද පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ.

1966 ජුනි 26 වනදා කෝට්ටේ රජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදි අධිසිල් ලැබූහ. උන්වහන්සේ 1975 දී පමණ තායිලන්තයට වැඩම කරවූයේ ප්‍රංශ ජාතික හිතවත් පිරිසකගේ ඉල්ලීමකට අනුවය. ඒ ප්‍රංශයට වැඩම කිරීමේ අරමුණද ඇතිවය. තායිලන්තයේ වට්සකේට් විහාරස්ථානයේ දින කිහිපයක් වැඩ සිට මැලේසියාවට වැඩම කළ කිරම විමලජෝති හාමුදුරුවන් කෙරෙහි ප්‍රසාදයට පත් වූ මැලේසියාවේ ක්වාලාලම්පූර් මහා විහාරාධිපති ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ එම විහාරස්ථානයෙහි නේවාසිකවන මෙන් විමලජෝති හිමියන් වෙත කළ දැනුම්දීමට අනුව උන්වහන්සේ එහි නේවාසික වූහ.

ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගෙන් ලද ආභාෂය කිරම විමලජෝති හිමියන්ගේ ජීවන ගමන්මග වෙනස් කිරීමට හේතු වූ බව කිරම හිමියෝ ඉමහත් ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කරති. විහාරස්ථ දායක දායිකාවන්ගේ ප්‍රසාදයට උන්වහන්සේ එහිදී පත් වූහ.

මැලේසියාවේ සැදැහැතිදායක පිරිසක් සමඟ 1979 දී පමණ දඹදිව වන්දනාවේ යෙදුණු කිරම විමලජෝති හාමුදුරුවෝ පරෝපකාරය වෙනුවෙන් කළ මෙහෙවර ගැන වන්දනා පිරිසේ සිටි එක් දායිකාවක් අතිශය ප්‍රසාදයට පත්වූවාය. එවකට හැත්තෑඑක් වැනි වියේ පසු වූ ‘ලෝක් වෑන් යැටි” නම් වූ එම දායිකාව මැලේසියාවේ දානපතිනියක වූවාය. දඹදිව වන්දනාවෙන් පසු ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ අවසරයෙන් කිරම විමලජෝති හිමියන් වෙත විශාල මුදලක් පිරිනැමුවාය. “මා අද ජීවත්වන්නේ ඔබ වහන්සේට පින් සිදු වන්නටය. ඔබ වහන්සේ ආගමික මෙහෙවර ඉටු කරන්න. ඊට සහාය මා ලබා දෙන්නම්” යැයි කියූ ඇය මහත් ශක්තියක් ලබා දුන්නාය. තමන් උපන් රටේ ආගමික දියුණුව උදෙසා යම් මෙහෙවරක් කිරීමට ඉටා ගත් කිරම විමලජෝති හාමුදුරුවන් මෙරටට වැඩමවා 1992 ජනවාරි 2 වනදා දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කළහ. පොතපත සොයන අයගේ පහසුව සඳහා ඉතා කුඩා පොත් සාප්පුවක් එහි ආරම්භ කළේය. එම ග්‍රන්ථ අතර කිරින්දේ ධම්මානන්ද නාහිමියන් විසින් රචිත පොත්පත්ද වූහ. සිංහල භාෂාවෙන් බෞද්ධ පොත පත මුද්‍රණය කිරීම සඳහා මුදුණ යන්ත්‍රයක් ගෙන්වා එමගින් බෞද්ධ පොත පත මුද්‍රණය කිරීමද ආරම්භ කළහ. බෞද්ධ පොතපත රැගත් ජංගම බස් රථයක් වසර දහයක් පුරා සැම පළාතකම සංචාරයේද යෙදවීය. බෞද්ධ පොත පත සුලභ කරවා එම ග්‍රන්ථ පරිශීලනය කරවීම මූලික අරමුණ කරගත් උන්වහන්සේ ත්‍රිපිටක පුනර්මුද්‍රණයද කරවූහ. පාලි ත්‍රිපිටකයේ පාලි පෙළ අටුවා, ටීකා පාලි සිංහල පරිවර්තන ග්‍රන්ථ සුලභ කරවූහ. පැරැණි ග්‍රන්ථ මෙන්ම නව ග්‍රන්ථද ඇතුළත්ව නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කරවා ඇති ග්‍රන්ථ 1800 ක් පමණ වේ. මහාවංසය කාණ්ඩ පහකින් මුද්‍රණය කරවා පසුගිය වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කිරම විමලජෝති නාහිමියන් විසින් පිරිනමන ලදී.

විවේකී පරිසරයක අක්කර විස්සක පමණ භූමි භාගයක හොරණ දෙකඳුවල භාවනා මධ්‍යස්ථානයද විමලජෝති හිමියන් විසින් ආරම්භ කරන ලදී. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයද උන්වහන්සේ ඉදිකරවූහ.

ශාසනික මෙහෙවරෙහි යෙදෙන සම්භාවනීය යතිවරුන් උදෙසා විවිධ ගෞරවනාම සහිතව තනතුරු පිරිනැමීම ශාසනික සම්ප්‍රදාය. වෙයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හා කොළඹ තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ මන්දිරයෙහි නිර්මාතෘ හොරණ කහටපිටිය කනන්විල දහම් පුහුණු මධ්‍යස්ථානාධිපති මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ ශ්‍රී රේවත මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරි කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉටු කරනු ලබන ශාසනික සේවාව අගයනු වස් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 26 වනදා පස්වරු 3 ට කෝට්ටේ රජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේදි ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සම්භාවනීය සමමහා සඟරුවන සහ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු ගිහි පින්වතුන්ද එම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

අභිනව නාහිමියන්ට සෙත්පතා ආශිර්වාදාත්මක පින්කම මාර්තු 31 වනදා පස්වරු 4 ට නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]