UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියානං

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ධූරන්දරව වැඩ විසූ ගලගම ශ්‍රී අත්ථදස්සි මහ නා හිමි

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විසි එක්වන මහා නායක පදවිය හෙබ වූ මහියංගන රාජමහා විහාරය, රන්ගිරි දඹුළු රාජමහා විහාරය, මැටියගනේ මයුරාවතී රාජමහා විහාරය, හුම්බුළුව රාජමහා විහාරය, උරුලෑවත්ත රාජමහා විහාරය යන පංච රාජමහා විහාරාධිපති, ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති, මජ්ක්‍ධිම භාණක, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී මාර්තු මස 09 වන දිනට වසරක් සපිරිණි.

මාතලේ මහ දිසාවේ අස්ගිරි පල්ලේසිය පත්තුබද ගලගම ග්‍රාමවරයේ ජන්ම ලාභය ලද නා හිමිපාණෝ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක පදවියට පත් උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි නා හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්ජා සම්පත් ලබා පිරුණු විසි වයස් එළඹුණු කල්හි 1942 දී අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී මුල්ලේගම ශ්‍රී ගුණරතන මහා නාහිමියන් උපාධ්‍යාය කොට උපසම්පදාවට පත් විය.

පරිවේණාචාර්යන් වහන්සේ නමක සහ පරිවේණාධිපතීන් වහන්සේ නමක වශයෙන් ද, අස්ගිරි මහාවිහාරයීය කර්මවාගාචාර්ය, විංශත් වර්ගික කාරක සංඝ සභික, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය ආදී තනතුරු හොබවමින් ද කාරක සංඝ සභාන්තර්ගත පූජ්‍යස්ථානයන්හි ආධිපත්‍යය දරමින්ද, අවස්ථා ගණනකදී ශ්‍රී දළදා වහන්සේ උදෙසා තේවා භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙසින් කටයුතු කරමින් ද සිදු කළ මෙහෙවර අනභිභවනීය වේ.

අනුක්‍රමිකව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් සහ ඉනික්බිති අධ්‍යතන සම්බුද්ධ ශාසන භාරධාරී යතිවර ධූරාවලියේ අගරතලමිණ වන් අස්ගිරි මහාවිහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක පදවියෙන් පුද ලද ගලගම ශ්‍රී අත්ථදස්සි නා හිමිපාණෝ මහා නායක පදවිය හෙබ වූහ. සියවස් ගණනාවකට පසු අස්ගිරි මහා විහාරයේ දෙවන අනුනායක පදවිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙම යුගයේ සිදු වූ වැදගත් ශාසනික සංසිද්ධියකි.

ඉපැරැණි අධ්‍යාපන ක්‍රමයේ පරතෙරට යමින් මජ්ක්‍ධිම භාණක, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත ආදී උපාධි හොබවමින් ව්‍යක්ත ධර්ම දේශකයෙකු සහ සරභඤ්ඤ විශාරදයෙකු වශයෙන් පෘථුලත්වයට පත්ව වැඩ විසූ සේක. ගැඹුරු දහම් කරුණු සරල ගැමි වහරින් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවයෙන් යුතුව සිරිලක ඉපැරණි ධර්ම දේශනා ක්‍රම අතර එන මෛත්‍රී වර්ණනා, ආසන දෙකේ බණ, ආසන පහේ බණ, ආසන හතේ බණ ආදී රැය තුන් යම පහන්වනතුරු පවත්වන ධර්මදේශනා සඳහා මෙරට චිරප්‍රසිද්ධත්වයට පත් වූහ.

සකල ලාංකේය බෞද්ධ ජනතාවගේ පමණක් නොව අන්‍ය ආගමිකයන්ගේද සදාදරණීය ගෞරව භක්ති ප්‍රණාමයට පාත්‍ර වූ ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2016 මාර්තු මස 09 වෙනිදා අපවත් වී වදාළ සේක.


මාපලානේ ධම්මාලෝක නා හිමි

මාර්තු මස 20 වෙනි දින 60 වන වියට පා තබන මාපලානේ ධම්මාලෝක හිමියන් විහාරාධිපති පදවියට පත්ව 20 වසරකි. තම ගුරුදේවයන් වහන්සේලා වන රත්ගම සිරි සුමනජෝති නා හිමි, රත්ගම සිරි සුමනවංස නා හිමි, තුඹේ සෝරත නා හිමි, අපවත්වීමෙන් පසුව උන්වහන්සේ විහාරාධිපති බව ඉසුලු ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමය, මරදාන ශ්‍රී මහින්දාරාමය පුත්තලම අනුරාධපුර පාර ඉහළ පුළියන්කුලම ශ්‍රී මහින්දාරාමය යන විහාරයන්හි විහාරාධිපති ප්‍රධාන ශිෂ්‍යවරයා හැටියට පත්විය.

තුඹේගත සෝරත නාහිමින් ආරම්භ කරන ලද පුලයන්කුළම ශ්‍රී මහින්දාරාමය ධම්මාලෝක හාමුදුරුවන් විහාරාධිපතිධූරය ආරම්භ කර වසර කීපයක් වන විට උන්වහන්සේ කොළඹ දායක පින්වතුන්ගේ ආධාරයෙන් සියලු විහාරාංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනැඟීය.

කොළඹ ශ්‍රී මහින්දාරාමය මඟින් පවත්වාගෙන යන ශ්‍රී මහින්දාරාම දහම් පාසල ළමුන් 600කට ආසන්නව දහම් දැනුම ලබන ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් බවට පත් කර ඇත. ධම්මාලෝක හාමුදුරුවෝ රටතුළ ඇති වන හදිසි ආපදා අවස්ථාවලදී පීඩාවට පත්වන ජනතාවට ක්ෂණිකව උපකාර කිරීමට ඉදිරිපත්ව කටයුතු කරනු ලබයි.

මෙම 20 වසරක කාලය තුළ කොළඹ ශ්‍රී මහින්දාරාමයේ දී මරණයෙන් බේරාගත් ගවයන් ගණන එක් දහස් පන්සියයකට ආසන්නය. එම ගවයන් රටේ බොහෝ ප්‍රදේශවලට බෙදාදී ඇත.

පසුගිය කාලයෙහි ත්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාවට විශාල වතුර ටැංකි 50 ක් මොරවැව පොලිස්ථානාධිපතිතුමා සමඟ ඉතා දුෂ්කර ගම්මානවලට ගොස් විහාරස්ථාන, පල්ලි, කෝවිල්වලට ටැංකි දෙක බැගින් බෙදාදීම, වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම, තමන් වහන්සේගේ උපන් දිනයට ඉතා දුෂ්කර ප්‍රදේශ තෝරාගෙන පෝය දින ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලාට සිල් සමාදන්වන පිරිසට දානය පිරිනැමීමත්, සැම දෙනාටම පිරිත්පොත් බෙදාදීමත් සිදුකරන පින්කම් අතර වේ. තම ගුරු දේවයන් වහන්සේලාගේ ගුණසිහිකර සෑම වසරකම පින්කම් කරන උන්වහන්සේ ගම්මාන කීපයක ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම ප්‍රදේශයේ පාසල් කීපයක ළමයින්ට පාසල් උපකරණ ලබාදීම සිදු කරයි. කොටපොල අමරකිත්ති ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සෑම වසරකම සිදුකරනු ලබන පිච්චමල් පූජා මහා පින්කමේදී දැනට වසර කීපයක සිට රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන්ගේ පේසා වළලු තුනෙහි බෞද්ධ කොඩි (3000) තුන්දහසක් ළෙලදෙන ආකාරයට තැන්පත් කිරීමට විහාරස්ථානයේ දායක පින්වතුන් මෙන්ම ගෝතමී බාලිකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයද දායක වී ඇත.

එපමණක් නොව කොළඹ ශ්‍රී මහින්දාරාම දායක පින්වතුන් පින්කම් සඳහා යොමුකිරීම දුෂ්කර ප්‍රදේශවල තිබෙන විහාරස්ථානවලට අවශ්‍ය අඩුපාඩු ඉටු කිරීමට යොමු කිරීම වැව් පොකුණු ඉදිකිරීමට දායක පින්වතුන් සමඟ දුරබැහැර ගම්වලට ගොස් අසරණ අයට උපකාර කිරීමට ළමයින්ට උපකාර කිරීම මඟ පෙන්වීම.

මෙවැනි ආගමික ශාසනික කටයුතුවල නිරතවන ධම්මාලෝක හාමුදුරුවන්ට ස්ව නිකාය වන අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකාය මඟින් පිරිනමන ලද තනතුරු ගෞරවනාම බොහෝය. දැනට බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරය හොබවන උන්වහන්සේට “සුධර්මා”කාරක සංඝ සභික ධුරය, සිරිසුමනජෝති වංසාවතංස සාසන සෝභන ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය පදවියෙන්ද ධම්මාලෝක නාහිමියෝ පිදුම් ලැබූහ.


දෙබත්ගම සෝමරතනතිස්ස නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයෙහි සබරගමු පළාත් සංඝ නායක ධූරයට පත් දෙබත්ගම වියන්එළිය රතනජෝතිෂ්‍යාරාමාධිපති අමරපුර මහා නිකායේ කෑගලු දිස්ත්‍රික් සංඝ සභාවේ හා අරණායක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී දෙබත්ගම සෝමරතනතිස්සාභිධාන නා හිමිපාණන් වහන්සේට අක්තපත්‍ර ප්‍රදානෝත්සවය 2017 ජනවාරි 29 වන දින පැවැත්විණි.

උන්වහන්සේ 1937දෙබත්ගම උඩබාගේ උපත ලබා 1948 දී පැවිදි වී 1957 දී උපසම්පදාවට පත්ව 1967 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්හ. ඒ මේ කාල සීමාව තුළ පිරිවෙන් ගුරුවරයෙකු ලෙසත් පාසල් අධ්‍යාපන සේවයටත් යොමු වී විවිධ ප්‍රදේශවල ධර්මාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් ජාතික, ආගමික, සාමාජීය වශයෙන් ආගමික කටයුතුවල යෙදෙමින් මහත් කැපවීමෙන් අසරණයන්ට පිහිට වූහ.

පළාතේ තෛ‍්‍රනිකායික මහා සංඝ රත්නය සමඟද මනා සබඳතාවයක් පවත්වමින් කටයුතු කරන අතර සුපේශල, ශික්ෂාකාමී, උගත් ආකල්ප උන්වහන්සේ තුළ පවතී. උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුරද රජයේ පාසල්වල, පිරිවෙන්වල නොයෙක් දිසාවන්හි සේවය කරති. ධර්ම ප්‍රචාරයේ යෙදෙති. උන්වහන්සේ ආරම්භ කළ විහාරස්ථාන රාශියක්ද වෙති.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]