UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හොඳ යහළුවෝ

හොඳ යහළුවෝ

යහළුවන් සමඟ ආගිය තොරතුරු කතා කරන්න, කෙළි සෙල්ලම් කරන්න හැම දරුවෙක්ම කැමැතියි. සමහර වෙලාවට අම්මට බොරු කියලා, තාත්තට බොරු කියලා යහළුවොත් එක්ක සෙල්ලම් කරනවා. ඇළේ, දොළේ, ගඟේ පීනන්න යනවා. පොත පත පාඩම් කරන වෙලාවටත් සෙල්ලම් කරනවා. පන්තියේ ගුරුවරයෙක් උගන්වන වෙලාවට වෙන වැඩ කරනවා. උසුළු විසුළු කරනවා.

දුවේ! පුතේ, පුංචි ඔබගේ හිත් හරිම වේගයෙන් එහෙ මෙහෙ දුවනවා. ඒත්, හිත දුවන වේගයෙන් දුවන්නට ගියොත් අප අතරමං වෙනවා. හිත කියන දේ තෝරා බේරානොගෙන කරන්නට ගියොත් අපට වරදිනවා. අප කරන කියන දේ ගැන හොඳින් හිතා බලන්නට ඕනෑ ඒ නිසයි. එහිදී අපි ඇසුරු කරන යහළුවෝ හරිම වැදගත්. සමහර යහළුවෝ හරිම අකීකරුයි. දඩබ්බරයි. දඟ වැඩම කරනවා. සතුන්ට හිංසා කරනවා. කරුණාවක්, දයාවක් නෑ. ඒ වගේම බොරු කියනවා. කේළාම් කියනවා. යහළුවන්ගේ පෑන්, පැන්සල්, පොත පත සොරකම් කරනවා. රණ්ඩු දබරවල පැටලෙනවා. අම්මට තාත්තට ආදරේ නෑ. වැඩිහිටියන්ට ගරු කරන්නේ නෑ. තමන්ගේ යහපත ගැන හිතන්නේ නෑ. ඒ වගේ කෙනෙක් හොඳම යහළුවා වුණොත් ඔබටත් තිතැතින්ම ඒ පුරුදු හුරුවෙනවා. අම්මට බොරු කියන්න හිතෙනවා. තාත්තට බොරු කියන්න හිතෙනවා. පාඩම්වැඩවලට කම්මැළි වෙනවා. ඒත් පුතේ ඒවගේ දරුවන්ට කවුරුවත් ආදරේ නෑ. දොස් කියනවා. දඩබ්බරයි කියනවා. හදන්නට බෑ කියනවා.

මේ නිසා තමන්ගේ ඇසුරට තෝරා ගන්න ඕනෑ මොනවගේ යහළුවෙක්ද කියලා හිතන්නට පුංචි ඔබ බුද්ධිමත් වෙන්නට ඕනෑ. හොඳ යහළුවෙක් කිසිම වෙලාවක ඉගෙනීමට බාධා කරන්නෙ නෑ. නොදන්නා දේ කියලා දෙනවා.පව් කරන්නේ නෑ. යහළුවා වරදක් කළත් එයින් මුදවා ගන්නවා. අම්මට තාත්තට හරිම ආදරෙයි. ගුරුවරුන්ට කීරරුයි. වැඩිහිටියන්ට ගරු කරනවා. ඒ වගේම සෙල්ලම් කරන වෙලාවට සතුටින් සෙල්ලම් කරනවා. තමන්ට වරදක් වෙන දෙයක් කරන්නේ නෑ. ඒ වගේ කෙනෙක් ඇසුරට ලැබුණොත් ඒ හොඳ පුරුදු අපිටත් හුරු වෙනවා.

දුවේ, පුතේ, අජාසත් කුමාරයා පුංචි කාලේ හරිම කීකරුයි. පිය රජතුමාට හරිම ආදරෙයි. ඒත් ටිකින් ටික උස්මහත් වෙනකොට මේ කුමාරයාට යහළුවෝ මුණ ගැහෙනවා. අම්ම තාත්තට වඩා ඔහු යහළුවන්ට සමීප වුණා. බුදුරජාණන් වහන්සේට හිංසා කරන්නට උත්සාහ කළ දෙව්දත් තෙරණුවෝ ඔහුගේ හොඳම යහළුවා වුණා. තෙරණුවෝ කුමරුගේ හිත පව්කාර සිතිවිලිවලින් පිරෙව්වා.පිය රජතුමාට වධ හිංසා කරන්න කීවා.පියා මරා රජවෙන්නට කීවා. ඉතින් නරක ඇසුර නිසා ‘අජාසත්ත’ සිය පියා මරණයට පත්කොට ආනන්තරීය පාප කර්මය පවා සිදු කර ගත්තා.

පුංචි කාලේ කීරරුව හැදුණ කුමරු පවට පෙළඹුණේ නරක ඇසුර නිසයි. නරක ඇසුරට වැටුණොත් හැමෝටම ඒ වගේ විපත් සිදුවෙනවා. මේ නිසා නරක යහළුවෝ ඇසුරින් මිදෙන්න ඕනෑ. වහාම ඉවත් වෙන්න ඕනෑ. හොඳ ගතිගුණ ඇති අය පමණක් ඇසුරු කරන්නට ඕනෑ.

ඔබගේ පන්තියේ හොඳම යහළුවෝ ඇති. මඟ තොටේදී බොහෝ යහළුවන් හමු වෙනවා ඇති. ඒත් ගෙදර ආ විගස යහළුවන් සමඟ කළ කී දේ අම්මට කියන්න. තාත්තට කියන්න. අම්මා තාත්තා තරම් දරුවන්ට ආදරය කරන වෙනත් කෙනෙක් සොයා ගැනීම ඉතා අපහසුයි. එලෙස කටයුතු කරනවා නම් කිසිම දිනෙක පුංචි ඔබට වරදින්නේ නෑ.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]