UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපි භාවනා කරමු - 05:  සිහි කල්පනාව තිබෙන කාලයේදීම පිනට දහමට නැඹුරු වන්න

සිහි කල්පනාව තිබෙන කාලයේදීම පිනට දහමට නැඹුරු වන්න

බුදුරජාණන් වහන්සේගේ අපමණ බුදු ගුණ ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො පාඨයට ඇතුළත් කර තිබෙයි. එයට ඇතුළත් නොවූ ගුණයක්, ඥානයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සතුව තිබෙන අසීමිත ගුණ , නුවණ ,පුණ්‍ය තේජස, ඥාන තේජස, ධර්ම තේජස සියල්ලම බුදු ගුණ නවයට ඇතුළත් වෙයි. ශීල සංවරය, ඛන්ති සංවරය, ගුණ සංවරය, විරිය සංවරය, ඇතුළත් වී තිබේ නම් ඒ සියල්ල මේ ගුණ නවයට ඇතුළත් වෙයි. එසේනම්, මේ ගුණවල අකුරක් ගානේ අති විශාල බලයක් ශක්තියක් තිබෙයි. එසේනම්, කොයි කවුරුත් බුදු ගුණ භාවනාව මුලින්ම වැඩීම ප්‍රයෝජනවත් වෙයි.

සතර කමටහන්වල පළමුවැන්න බුද්ධානුස්සතියයි. එසේ නැත්නම් බුදු ගුණ භාවනාවයි. දෙවැන්න මෛත්‍රී භාවනාවයි. තෙවැන්න අසුභ භාවනාවයි. සිව්වැන්න මරණ සති භාවනාවයි. මේ භාවනාවන් සතර අතුරින් අප මුලින්ම බුදු ගුණ භාවනාව සිදු කළ යුතුයි. කාටත් ඉතිපි සො ගාථාව කටපාඩම් වුවත් එය සිහිකල්පනාවෙන් මෙනෙහි කිරීම වැදගත් වෙයි. ගුණ නවයක් ඇතුළත් මෙහි දවසට එක ගුණය බැගින් මෙනෙහි කළොත් දින නවයකදී ගුණ නවය අවසන් වෙයි. මෙම බුද්ධානුස්සති භාවනාව වඩන්න කැමැති පින්වතුන් බුදු ගුණ මෙසේ මෙනෙහි කරන්න. සො භගවා ඉතිපි අරහං, සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ, සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො, සො භගවා ඉතිපි සුගතෝ, සො භගවා ඉතිපි ලෝකවිදූ , සො භගවා ඉතිපි අනුත්තරෝ පුරිස දම්ම සාරථී, සො භගවා ඉතිපි සත්ථා දේව මනුස්සානං, සො භගවා ඉතිපි බුද්ධො, සො භගවා ඉතිපි භගවා නව ගුණයන් අනුලෝම (මුල සිට අගට) වශයෙන් පුළුවන් තරමින් මෙනෙහි කරන්න.

ප්‍රතිලෝම (අග සිට මුලට) වශයෙන් ආපස්සට අනුපිළිවෙළට මෙනෙහි කරන්න. සො භගවා ඉතිපි භගවා, සො භගවා ඉතිපි බුද්ධො, සො භගවා ඉතිපි සත්ථා දේවමනුස්සානං, සො භගවා ඉතිපි අනුත්තරො පුරිස දම්ම සාරථී, සො භගවා ඉතිපි ලෝකවිදූ , සො භගවා ඉතිපි සුගතෝ, සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො , සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ , සො භගවා ඉතිපි අරහං යනුවෙන් මෙනෙහි කරන්න. මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිය දහස් වර ලක්ෂවර මෙනෙහි කරන්න. ඊටපසුව එක ගුණයක් මෙනෙහි කරන්න. සො භගවා ඉතිපි අරහං යනුවෙන් දිගටම දිනක්, දෙදිනක්, තෙදිනක් මෙනෙහි කරන්න. දෙවන දවසේ සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. ඊළඟට තෙවැන්න සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො මෙසේ ගුණ ටික, ටික දවසකින් සතියකට වරක් එක ගුණයක් හෝ මෙනෙහි කර ඉදිරියට යන්න. එය බුද්ධානුස්සති භාවනාවයි.

යම් කිසිවෙක් බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන්ම සංසාර ගමන කලකිරී, කෙලෙසුන් නැති කර, කෙලෙසුන් නිිරුද්ධ කර බුදු ගුණ භාවනාව නැවත නැවත මෙනෙහි කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

එසේනම්, බුදු ගුණ භාවනාව නිවන් සම්පත් ලබා දෙන භාවනාවක්. එය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ මැනවින් සඳහන් වෙයි. එසේනම්, කොයි කවුරුත් තමන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණුවට බුදු ගුණ භාවනාව හැකිතාක් මෙනෙහි කරන්න. බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සිදු කරමින් බුදු ගුණ භාවනාව බහුලව මෙනෙහි කිරීමෙන් තමන්ගේ සති, සමාධි, ඥාන හොඳින් දියුණු වෙයි. කරන කියන දේ නිවැරැදි වෙයි. ආරක්ෂාව, යහපත, තමන්ටම ලැබෙයි. සුවසේ නිදන්න, සුවසේ පිබිදෙන්න බුදු ගුණ භාවනාව වැඩීම බොහොම අගෙයි. යක්ෂ, පේත , භූත අමනුෂ්‍යයන් පවා බුදු ගුණ භාවනාවට බියයි. ඒ නිසා කවුරුත් බහුලව බුදු ගුණ භාවනාව මෙනෙහි කළොත් තමන්ට නිවන් සම්පත් ලබන්න පුළුවන්. නිවන් දකිනා තුරා සුගතියක වාසය කරන්න පුළුවන්.

අපායෙන් නිදහස් වීම වැදගත්ම කාරණාවක්. ලෝකවාසී සත්ත්වයෝ බහුලව වාසය කරන්නේ සතර අපාගතවයි. නරක, තිරිසන්, පේත, අසුර අපා සතරේ සත්ත්වයෝ බහුලව වාසය කරති. එය ගණනය කරන්නත් අපහසුයි. නමුත්, මනුලොව සිටින මිනිසුන් ගණන කෝටි හතක් ලෙස ගණනය කළ හැකියි. වතුර වළක, වැවක, ගඟක තිරිසන් සතුන් කෝටි කීයක් වෙසෙනවාද? මේවා තිරිසන් ලෝකයි. පේ‍්‍රත ලොවේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැ. නරකයේ එකසිය තිස්හයක් වූ අපායවල වාසය කරන සත්ත්ව සංඛ්‍යාව අපමණයි. ඒවායේ උරුමව ඇත්තේ දුකමයි. මේ දුකෙන් නිදහස්වීමට බුදු ගුණ භාවනාව බොහොම ප්‍රයෝජනවත් වෙයි. බුදුවරයෙක් තමන්ගේ ගුණ ප්‍රකාශ කළේ අවශ්‍යම මොහොතක පමණයි. කසීභාරද්වාජට, අග්ගික භාර්ද්වාජට බුදු ගුණ දේශනාවන් වදාළා. ආලකාරාමයේදී කාලක සිටුතුමා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඇතුළු පළාතේ පිරිසකට බුදු ගුණ දේශනාවන් වදාළා. ආලකාරාම සූත්‍ර දේශනාව සිදු කරන අසිරිමත් මොහොතේදී මහා පෘථිවිය වාර සතරකින් කම්පා වූ බව ධර්මයේ සඳහන් වෙයි. එසේම බුදු ගුණ දේශනාවෙන් ආලාකාරාම ප්‍රදේශවාසීන් සහ සාකේත නුවරවාසී අති විශාල පිරිසක් අපමණ පැහැදීමකට පත් වුණා. අන්‍ය ආගමිකයන් පවා බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනාගත්තත් පැවසුවේ නැහැ. ඔවුන් බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡා පැවැත්වූවා. බුදු ගුණවල අසීමිත බලය අසා තිබූ අන්‍ය ආගමිකයන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා.

බුදු ගුණ ගැන පැහැදීමෙන්, විශ්වාසයෙන් වැඳ නමස්කාර කරනවානම්, බුදුරදුන් වෙනුවෙන් බුද්ධ පූජා පවත්වනවානම් එහි අනුසස් ලැබෙන්නේ හෙට නොවෙයි අදයි. බුදු කෙනෙක් ලොවේ සැම විටම පහළ වන්නේ නැහැ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයකට පහළවන්නේ බුදුවරු විසි අට නමයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් යනු අසංඛෙය කල්ප සතරකුත් කල්ප ලක්ෂයයි. මෙපමණ කලකට බුදුවරු විසිඅට නමයි. එසේනම් බුදුවරයෙක් ලොවේ පහළවීම කෙතරම් දුර්ලභ අවස්ථාවක් දැ’යි සිතා බලන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ බුද්ධාන්තරයකින් පසුවයි. ඊටපසුව ලොවේ බුදු කෙනෙක් පහළ වෙන කාලයක් , සටහනක් ඇත්තේම නැහැ. ඒ නිසා අද අදම පින් කරගත්තොත් පින්වතුන්ට සංසාරෙම සැපයෙන් වාසය කරන්න පුළුවන්. නමුත්,මේ ගැන සිතන්නේ බොහොම ස්වල්ප දෙනයි.

සමහරු මරණය ළඟාවූවිට පන්සලට දුවන්න සූදානම් වෙනවා. දන් දෙන්නේ ,සිල් රකින්නේ ජීවිතයේ අවසාන කාලයෙයි. කාලය අවසානයේ ලබාදෙන දානය ප්‍රභල නැහැ. එසේවන්නේ සිහි කල්පනාව මඳ නිසයි. එවැනි පුද්ගලයාට ශීලයක් ගන්නත් සිහි කල්පනාව මද වෙයි. මෙසේ මඳ සිහියෙන් කරන පින්කම් බොහෝ දුරට අසාර්ථක වෙයි. සිහි කල්පනාව මඳ වූ විට මොන පින්ද? මොන භාවනාද? මොන සිල් ද කියලා තමන්ටම කල්පනා වෙයි. එසේනම්, සිහිකල්පනාව තිබෙන කාලයේ පින් දහම් කර, බණ භාවනා වඩන්න අද අදම වෙහෙස මහන්සි වීමට අධිෂ්ඨාන කර ගන්න.


 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]