UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරටදී පැවැත්වීමෙන් ලොවට පණිවුඩ රැසක් දිය හැකියි - මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි

ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරටදී පැවැත්වීමෙන් ලොවට පණිවුඩ රැසක් දිය හැකියි - මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි

බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි සඳහන්වන සමාජ සාධාරණත්වය සහ එයින් ගොඩනඟා ගත හැකි තිරසාර ලෝක සාමය තේමාව කරගත් ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරටදී පැවැත්වීමෙන් ලෝකයට පණිවුඩ රැසක් ලබාදිය හැකි මහඟු අවස්ථාවක් උදා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරීමේ ජාත්‍යන්තර සංගමයේ උප සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ අධ්‍යාපනික, සාමාජික හා විද්‍යාත්මක සංගමයේ (යුනෙස්කෝ) බෞද්ධ කටයුතු පිළිබඳ නියෝජිත මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ පැවැසූහ.

තෛ‍්‍රනිකායික මහානාහිමිවරුන් ප්‍රධාන මහ සඟරුවනෙහි ආශීර්වාදයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් බෞද්ධ රටවල් අසූපහක බෞද්ධ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන බවද උන්වහන්සේ පැවැසූහ.

බෞද්ධ චින්තනයෙන් ඉස්මතුවන යහපාලන සංකල්පය පිළිබඳ ග්‍රන්ථය ගැන සහ මෙරටදී මැයි මස 12, 13, 14 දිනවලදී, පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය පිළිබඳව උන්වහන්සේ සමඟ බුදුසරණ කළ සාකච්ඡාවකි මේ.

බෞද්ධ චින්තනයෙන් ඉස්මතු වන යහපාලන සංකල්පය පිළිබඳ ග්‍රන්ථයක් ලිවීමට මා මුලින් අදහස් කර තිබුණේ නෑ. එහි ආරම්භය සිදු වූයේ 2015 වසරේදී. කාලගුණ වෙනස්වීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රංශයට ගියා. ඒ අවස්ථාවේ දී පැරීසියේ දී අප එතුමා හමුවුණා. ඒ අවස්ථාවේදී එතුමාගේ නායකත්වයෙන් දැන් පවත්වාගෙන යන යහපාලනය පිළිබඳව සාකච්ඡා වුණා. එහිදී එතුමා බුදුදහමේ යහපාලන සංකල්පය පිළිබඳ ඉගැන්වීම ගැන විමසා සිටියා. ඒ ගැන පර්යේෂණයක් කර ග්‍රන්ථයක් ලියන බව මා එහිදී සඳහන් කළා.

සෝබෝන් සරසවියේ ඉන්දියානු සහ බෞද්ධ දර්ශන අංශයේ ජ්පචදජධඪඵ ජඩඥදඥබ මහාචාර්යතුමාත් මමත් වසරක් තිස්සේ මේ ගැන පර්යේෂණය කළා. ඒ පර්යේෂණය නම් පාලි ත්‍රිපිටකය තුළින් විශේෂයෙන් බුදුහාමුදුරුවෝ යහපාලන රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව කරන ලද දේශනා ගැනය. අනතුරුව ඒ පිළිබඳ බටහිර මතය සොයා බැලුවා. රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ බෞද්ධයන් පමණක් නොව විශේෂයෙන් ඇරිස්ටෝටල්, සොක්‍රටීස්්, ප්ලේටෝ, කෞටිල්‍ය ආදී විශාල පිරිසක් සිය අදහස් දක්වා තිබෙනවා.

ඒ බොහෝ දෙනෙක් කතා කර තිබෙන්නේ රාජ්‍ය තන්ත්‍රයන් අතර බලයේ රැඳී සිටින්නේ කෙසේද? රටක් අල්ලා ගන්නේ කෙසේද? එසේ බලය අල්ලාගෙන මියයනතුරා ජීවත් වන්නේ කෙසේද? හතුරන් ඝාතනය කරන්නේ කෙසේද ආදී ලෙස එවැනි නොමඟ යන අදහස් උදහස් බොහෝ තිබෙනවා. එම සංකල්පද අධ්‍යයනය කර විශේෂයෙන් බෞද්ධ රාජ්‍ය තන්ත්‍රය මුලින්ම ඇති වූණේ කෙසේද කියා විමසා බැලුවා. ඉන් අපට අවබෝධ වූයේ මහා සම්මත නමැති රජතුමා පළමුවෙන් මිනිසුන්ගේ කැමැත්තෙන් රාජ්‍යත්වයට පත්වුණා. ඒ මහා සම්මත රාජ පරම්පරාව සිදුහත් කුමරාගේ රාජ පරම්පරාවයි. ශාක්‍ය පරම්පරාවයි.

මා මෙම ග්‍රන්ථයෙහි සාකච්ඡා කරන්නේ ඒ රාජ්‍ය තන්ත්‍රයත් සමඟ සිදුහත් කුමරා බුද්ධත්වයට පත්වීමෙන් පසු රාජ්‍යත්වය පිළිබඳ දැක්වූ දේශනා ක්‍රම පිළිබඳවයි. උන්වහන්සේ එදා ඉන්දියානු සමාජයේ පැවැති, අක්‍රමිකතා ඉවසූයේ නෑ. බුද්ධ කාලයේදීත් දූෂණ සොරමැරකම් පැවැතී තිබෙනවා. වංචා දූෂණ, පළිගැනීම්, සමාජයේ පැවැති අසාමාන්‍යතා, ධනය බෙදී යාමේ සහ වැඩ කිරීමේ තිබෙන අසමානතාවය ආදී නොයෙක් දේ දුටු බුදුරජාණන් වහන්සේ ඒ ගැන සතුටුවූයේ නෑ. එසේ අසතුටු වූවා පමණක් නොව, පසේනදි කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමා, අජාසත්ත රජතුමා ආදීන්ට දේශනා කළේ පවත්වාගෙන යන රාජ්‍ය ක්‍රමය වැරැදි බවයි. දසරාජ ධර්මයෙන් යුක්තව රට පාලනය කරන ලෙස උන්වහන්සේ දේශනා කළා. මෙසේ සඳහන් කළ විස්තර මෙම ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව අපේ රට මහා දැවැන්ත ඉතිහාසයකට හිමිකම් කියන රටක්, දෙසියකට ආසන්න රජ පරම්පරාවක් අප රටේ ජීවත් වුණා. මා එහිදී කල්පනා කළේ මෙම යහපාලනය පිළිබඳ වෙහෙසී ක්‍රියා කළ රජවරු කවුද යන්න පිළිබඳවයි. අපේ රටේ සිටි රජවරු අතර විශාල පිරිසක් යහපාලනය පිළිබඳ සේවය කළ අය සිටිනවා. ඒ අතරින් රජවරු පස්දෙනෙකු පිළිබඳ මෙම ග්‍රන්ථයෙහි සඳහන් කරනවා. ඒ යහපාලන රජවරු අතර දුටුගැමුණු රජතුමා, සද්ධාතිස්ස රජතුමා, වළගම්බා රජතුමා, බුද්ධදාස රජතුමා, පරාක්‍රමබාහු රජතුමා පිළිබඳව විස්තර කැරෙනවා. ඊට අමතරව යහපාලන පිළිබඳ ක්‍රියා කළ ගරු කළ රජවරු විශාල පිරිසක් අපේ රට පාලනය කළා. ඒ යහපාලන තන්ත්‍රය පිළිබඳ මහාවංශය, ථූපවංශය, ශාසනකතාවල තොරතුරු සොයා බැලුවේ ඒ රජවරුන්ගේ පැවැති පාලන තන්ත්‍රය පිළිබඳවය.

ඊට අමතරව මා පර්යේෂණයක් කළා. පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වන බුදුහාමුදුරුවෝ බෝධි සම්භාර ධර්මය පිරූ බෝධ් සත්ව අවධියේ රජ කෙනෙකු ලෙස ජීවිතය ගත කළ අවස්ථාවලදී බෝධි සත්ව රාජ්‍ය පාලකයෙකු ලෙස රට පාලනය කළ ආකාරය ගැන ආදී කරුණු මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ ජනතාව ගැන පමණක් නොව ලෝක ජනතාව ගැන කල්පනා කරමින් මේ ග්‍රන්ථයේ කරුණු බොහෝ දුරට සම්පිණ්ඩනය කර තිබෙනවා.

සමස්ත ලොවට පණිවුඩයක් දීමේ අවශ්‍යතාවය නිසා මේ මුළු ලෝකය අල්ලස, දූෂණය, හිංසාව, යුද්ධ, ඒකාධිපති භාවය ආදී නොයෙක් දේවලින් පෙළෙන අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඉතා ඉහළින් යහපාලන රාජ්‍ය තන්ත්‍රයන් ලෝකයේ ගොඩනැගිය යුතුයි, පාලනය කළ යුතු යි යනුවෙන් 2006 තීරණය කළාට පසු මේ ග්‍රන්ථය තුළින් අපේ ලංකාවට ඉතා කීර්තියක් ගෞරවයක් ඇති වෙනවා. විශේෂයෙන් බුදුදහමට. ඒ නිසා පළමුවන වතාවට බෞද්ධ ධර්මයේ සඳහන් වන යහපාලනය පිළිබඳ ග්‍රන්ථය ලියන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා.

එක්සත් ජාතීන්ගේ වෙසක් සංවිධානය

එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය පිළිබඳව ලංකාව විශාල ගෞරවයක් තිබෙන රටක්. සිදුහත් කුමරාගේ උපත, සම්මා සම්බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ සමස්ත ලෝක ප්‍රජාවගේ ගෞරවය හිමිවිය යුතුයි යන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළේ අපේ රටේ විදේශ අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිතුමා.

ඊට පසුව 2000 වසරේ සිට එක්සත්ජාතීන්ගේ සංවිධානයෙන් දැනුම් දුන්නා ලෝකයේ සියලු බෞද්ධ රටවලට මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය පැවැත්වීම සඳහා. එසේ දැනුම්දීමෙන් පසු තායිලන්ත රජය, විශේෂයෙන් පරලොව සැපත් භූමි බෝල් රජතුමාගේ සහයෝගය ඇතිව තායිලන්තයේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටුවා ගැනීමට.

එම සංවිධානයේ දැනට රටවල් අසූපහක් පමණ සිටිනවා. ඒ රටවල් අසූ පහට අයත් එම සංවිධානයේ උප සභාපති ලෙස මා කටයුතු කරනවා.දැනට දහතුන් වතාවක් එක්සත් ජාතීන්ගේ මෙම සංවිධානය වෙසක් උත්සවය පවත්වා තිබෙනවා. වියට්නාමයේ දී දෙවතාවක් පවත්වා තිබෙනවා. අනෙක් හැම වතාවකදීම තායිලන්තයේ දී පවත්වනු ලැබුවා.

2017 වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ලංකාවේදී පැවැත්වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තීරණය කර අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලීමක් කළා.

තායිලන්තයේ පිහිටි ජාත්‍යන්තර විධායක කමිටුවෙන් ඉල්ලීමක් කර අනුමත කරවාගෙන එය මෙරට පැවැත්වීම සඳහා. ඉතා සතුටෙන් ඒ ඉල්ලීම ජාත්‍යන්තර විධායක කමිටුව අනුමත කළා. මේ 2017 වසරේ මැයි මාසයේ 12, 13, 14 දවස් තුනේ දී එම වෙසක් උත්සවය පවත්වනු ලබනවා. විශේෂයෙන් මෙම වෙසක් උත්සවය තුළ බෞද්ධ ධර්මයේ ඉගැන්වෙන බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් සමාජ සාධාරණත්වය ඉටුවන්නේ කෙසේද? යන කාරණාව සහ ලෝක සාමය ඇති කරන්නේ කෙසේද? යන්න එහි ප්‍රධාන මාතෘකාවයි.

මේ සඳහා රටවල අසුපහක පිරිස් ලංකාවට පැමිණෙනවා. අපට ඇති තවත් වැදගත් කාරණාවක් නම් අපේ රටට මිත්‍ර සබඳතා පවතින රාජ්‍ය නායකයන් ඉන්දියාවේ අගමැතිතුමා, මොංගෝලියාවේ ජනාධිපතිතුමා ආදී රාජ්‍ය නායකයන් මෙරටට පැමිණෙන බව දැනට දැනගන්නට ලැබී තිබෙනවා. තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, මියන්මාර්, වියට්නාමය, චීනය, ජපානය, කොරියාව රටවල සඟරජ හිමිවරුන් මෙරටට පැමිණෙනවා.

රටවල් අසූ පහක බෞද්ධ නායකයෝ, සඟරජ හිමිවරු, රාජ්‍ය නායකයන් මෙරටට පැමිණීමේ තේරුම ලංකාව පිළිබඳ විශාල ප්‍රසිද්ධියක් ලෝකය තුළ ප්‍රකට වීමයි. එමෙන්ම වසර 30 ක යුද්ධයෙන් පසු අප ලොවට දැනුම් දෙනවා ලංකාව දැන් සාමකාමී රටක්, යහපාලනය පවත්වාගෙන යන රටක්, මනුෂ්‍යයන්ට සංචාරයට නැරඹීමට සුදුසු රටක් ලෙස. විශේෂයෙන් මෙම ජාත්‍යන්තර කමිටුවේ උපසභාපති ලෙස මා බලාපොරොත්තු වෙනවා මෙම උත්සවය සිදු කිරීම තුළින් මෙරටට ලොකු ගෞරවයක් ලබා ගන්නවා පමණක් නොව ලෝකයේ, බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස අපේ රට පත් කර ගැනීම. නමුත් මා වෙලාවකට කනගාටු වෙනවා මේ පිළිබඳ අවබෝධ නැති සමහර බොහෝම කුඩා පිරිසක් මේ උත්සවය පිළිබඳ නොයෙක් විධියේ අදහස් ඒ අය ළඟ තිබෙනවා. ඒ මෙම උත්සවය පිළිබඳ අවබෝධයක් නැතිකමින් ප්‍රකාශ කරන අදහස්.

එහෙත් ඉතාම සාර්ථක ජාත්‍යන්තර වෙසක් උත්සවයක් මෙරටදී පවත්වනවා.

මෙම උත්සවයේ දී ජාත්‍යන්තර වැඩමුළු හතරක් පැවැත්වෙනවා. පළමුවන වැඩමුළුව අපේ ප්‍රධාන තේමාව යටතේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළින් සමාජ සාධාරණත්වය ඇතිකර ගන්නේ කෙසේද? ඒ තුළින් ලෝක සාමය ඇති කරගන්නේ කෙසේද? ලෝක සාමය ඇති කරගන්නේ කෙසේද? යන මාතෘකාව මඟින් වැඩමුළුවක් පවත්වනවා. එහිදී ලාංකීය මෙන්ම ජාත්‍යන්තර විද්වතුන් හත් දෙනෙකුද සහභාගි වෙනවා.

එහිදී බුදුහාමුදුරුවන්ගේ දේශනාවන්හි ඇති වැදගත්කම ලෝකවාසී ජනතාවට අවබෝධ කරවීම සිදු කෙරෙනවා. දෙවන වැඩමුළුව නම් සමාජ ආගමික සංහිඳියාව, මනුෂ්‍ය සමාජය සඳහා සාමය ඇති කරන්නේ කෙසේද? යන්නයි. ඊට මේ රටේ ප්‍රභූ ස්වාමීන්වහන්සේ නමක්, ක්‍රිස්තියානි ධර්මය වෙනුවෙන් කාදිනල් තුමා වැනි කෙනෙක් සම්බන්ධ කර ගැනීමත්, හින්දු ආගම වෙනුවෙන් ඉන්දියාවෙන් විශේෂඥයෙකු ගෙන්වා ගැනීමටත්, ඉස්ලාම් ආගම වෙනුවෙන් මැලේසියාවෙන් ඒ පිළිබඳ විශේෂඥයෙක් ගෙන්වා ගැනීමටත්, සමාජ සේවය කරන සිංගප්පුරුවේ නායක ස්වාමීන්වහන්සේ නමක් සහභාගි කරවීමටත් අපේක්ෂා කරනවා.

මේ විද්වතුන් ඒකරාශී වී සාකච්ඡා කරන්නේ ලෝකයේ ආගම් අතර විශ්වාස, ගෞරවය, තරකර ගන්නේ, අවබෝධය දියුණු කර ගන්නේ, ඒ සමඟ සංහිඳියාව ඇති කරගන්නේ කෙසේදැයි යන්න පිළිබඳවයි.

විශේෂයෙන් පිටරටවල විශාල දුර්මතයක් පවතිනවා. මේ දුර්මතය නම් බෞද්ධයන් විසින් අන්‍ය ආගමික අයට හිරිහැර කරනවා කියන අදහස ඇත්තටම එවැනි අසත්‍ය වැරැදි ප්‍රචාර ලෝකයට ඉදිරිපත් කරන්නේ අපේ රටට හිතවත් මනුෂ්‍යයන් නොවෙයි. ඒ කියන්නේ විශේෂයෙන් ඇතැම් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරුවන් අපේ රටට අපකීර්තියක් ඇති වන අයුරෙන් දුර්මත ප්‍රචාරය කර තිබෙනවා.

ඈත පළාත්වල යම් සුළු ප්‍රශ්න තිබෙන්න පුළුවන්.නමුත් නැති ප්‍රශ්න ඉතා ඉහළින් ජාත්‍යන්තර සඟරාවල සඳහන් වෙනවා. ඊට පිළිතුරු දීමත් සඳහා ලංකාවේ ආගමික සංහිඳියාව, ජාතීන් අතර සංහිඳියාව ඇති වී තිබෙනවාය. කියන කරුණු ගැන ලෝකයට මෙම පණිවුඩය දීමත් දෙවන වැඩමුළුවේ එක් අරමුණක්. තුන්වන වැඩමුළුව නම් බෞද්ධ ආර්ථිකය සහ සංස්කෘතික සංචාරයයි. ඉන් අදහස් කරන්නේ විශාල වියදමක් දරා සිදු කරන උත්සවයකින් පසුව රටටත් යම් ප්‍රයෝජනයක් ලැබෙන්නත් ඕන. ඒ නිසා අප කල්පනා කළා ලෝකයේ ව්‍යාපාරික සංවිධානවල අයටත් ආරාධනා කරන්න. ඒ වැඩමුළුව සඳහා. එසේ කැඳවා මේ රටවල් අසූපහක නියෝජිතයෝ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ලංකාවට කැඳවාගෙන එන්නේ කෙසේද? කියා සාකච්ඡාවට බඳුන් කරනවා.

ඊළඟට මෙම සාකච්ඡාවන් තුළ අප බලනවා අපට බෞද්ධ බැංකුවක් ආරම්භ කර ගන්න. ඇයි බෞද්ධ බැංකුවක් ආරම්භ කරන්නෙ. දුප්පත් බෞද්ධ මිනිසුන්ට ආර්ථික සහන ලබා ගන්න. බෞද්ධ කටයුතු තව තවත් දියුණු කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇති කරගත හැකිදැයි බලනවා.

මෙම වැඩසටහන නිසි අයුරෙන් සංවිධානය කර ගත්තොත් අපට මෙහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හතරවන වැඩමුළුව නම් ජපානය, චීනය, කොරියාව, ලංකාව ආදී රටවල බෞද්ධ රූපවාහිනී එක් එක් ආයතන ස්වාධීනව පවත්වාගෙන යනවා. නමුත් ලෝකයේ යම් කිසි ප්‍රශ්නයක් මතුවූවාට පසුව ඊට නිසි පිළිතුරක් දීමට වගකිවයුතු පුද්ගලයෙක් නෑ. බෞද්ධ ලෝකයට ප්‍රශ්නයක් ආවිට බෞද්ධ රූපවාහිනී ආයතන බෞද්ධ සංවිධාන ලංකාවට එකතුවී වැඩමුළුවක් පවත්වා ලංකාවේ බෞද්ධ මාධ්‍ය මූලස්ථානයක් පිහිටුවා ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙම සිදුවුවහොත් බුදුදහම ගැන ගැටලුවකදී පිළිතුරු ලබා දෙන්නෙ ලංකාවෙන්. ඒ හතර වන කරුණයි. ඊට අමතරව මෙම උත්සවය අප මහනුවරින් අවසන් කරන්නෙ. බොහෝ දෙනෙක් කැමැතිවෙනවා දළදා හාමුදුරුවන් වහන්සේට පුද පූජාවන් පිළිගන්වා දළදා හාමුදුරුවන් වැඩ ඉන්න මාළිගාව පිහිටි මහ මළුවේ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට ඒ ලෝක සාමය ඇතිවේවා යන අදහසින්. මේ ලෝකයේ හැම තැනකම පාහේ යුද්ධ මිනීමැරුම්, ලක්ෂ ගණන් මනුෂ්‍යයන් දුකට පත්වූ අවස්ථාවක්, ඒ නිසා බෞද්ධ නායකයෝ ඒකරාශී වී ලෝක සාමය පතා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට සූදානම් වනවා.

මේ මගින් ලොවට දියහැකි පණිවුඩ ගණනාවක් පවතිනවා. එකක් නම් අපේ රටේ බෞද්ධ ප්‍රෞඪත්වය ලොවට කියාපෑම, දෙවෙනි කරුණ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑහීමකට පත්වෙනවා මේ රටේ යුද්ධයෙන් පසුව බටහිර ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ යහපාලනය රජය සමඟ සෑහීමකට පත් වී සිටින වෙලාවේ ගොඩනගාගත් ජාත්‍යන්තර දියුණුව විශාල පිටුවහලක් වෙනවා. මෙවැනි උත්සවයක් පැවැත්ම මඟින් තුන්වැන්න ථෙරවාදී බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාව තුළ රටවල් අසූපහක බෞද්ධ නායකයන්ගේ සම්බන්ධතාවය තුළින් ලෝකයේ බෞද්ධ මූලස්ථානය ලෙස ඉදිරියට ආරම්භයක් ලබා ගත හැකිවීම.

ඒ සමඟම බෞද්ධ ආර්ථිකයත් සංස්කෘතික සංචාරයත් ආදී කරුණු රාශියක් මෙහි ප්‍රතිඵල ලෙස ලබා ගැනීමට අප කල්පනා කළා. අපේ රටේ අය මේ පිළිබඳව මේ වන විට කෙතෙක් දුරට දැනුම්වත් වී ඇත්දැයි මා දන්නේ නෑ.

විශේෂයෙන් මා සතුටු වෙනවා. ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, බුද්ධශාසන අමාත්‍යතුමා, අමාත්‍යාංශ නිලධාරින් සහ අපේ ජාත්‍යන්තර වෙසක් උත්සව කමිටුව විශාල උත්සාහයක යෙදී සිටීම මේ උත්සවය සාර්ථක කර ගැනීමට.ඒ සමඟම ජාත්‍යන්තර වෙසක් උත්සවය සමඟ වෙසක් සතියක් රට පුරා දියත් කිරීමටද අදහස පවතිනවා. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමටත් කටයුතු සූදානම් කර තිබෙනවා.

විශේෂයෙන් අස්ගිරි, මල්වතු, අමරපුර, රාමඤ්ඤ නිකායවල අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහ සඟරුවන මේ උත්සවය සාර්ථකව පැවැත්වීමට සහාය ලබා දෙනවා. අපට කාලයකින් ලැබුණු අනගි අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙම උත්සවය ලංකාවට ලබාගැනීමට හැකිවීම. ජාත්‍යන්තර වෙසක් උත්සවය කමිටුවේ සාමාජිකයන් සහ මෙරට එම උත්සවයේ සංවිධායකවරුන් සමඟ උත්සවයට අදාළ සියලු දේ පසුගියදා සාකච්ඡා කළා.

2500 බුද්ධ ජයන්තියෙන් පසු පවත්වන ඉතා වැදගත් ජාත්‍යන්තර උත්සවය ලෙස අපේ රටේ පැවැත්වෙන මෙම උත්සවය ලෙස සඳහන් කළ හැකි යි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]