UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මවුපියන් අමතක කළ දරුවන්ට පාඩමක්

ධම්මපදට්ඨ කථාවෙන්

මවුපියන් අමතක කළ දරුවන්ට පාඩමක්

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි ආසන්න ජනපදයක එක්තරා බමුණු නිවසක බ්‍රාහ්මණයෙක් වෙසෙයි. ඔහු විවාපත් බැමිණියද සමඟ සතුටින් ගත කරනා කල මහත් වූ ධන සම්පතින් ආඪ්‍යය. කිසිදු අඩුපාඩුවක් නොමැත. ඔවුනගේ විවාහ දිවිය ආලෝකමත් කළේ ඔවුනට ලද දරුවන් සිව් දෙනෙකු නිසාවෙනි. දරුවන්ට බෙහෙවින් ආදරය කළ මේ බමුණු පියා දරුවන්ගේ සියලුම දියුණුව සැලසුවේ ය. ඔවුනගේ සියලු අවශ්‍යතා සොයා බලා කුමාරවරුන් ලෙස ජීවත්වීමට පහසුකම් සලසා දුන්නේ ය. තරුණ වයසට පත් වූ කල්හි ඔවුන් හතර දෙනාට තමා සතු ධනයෙන් නිවෙස් තනාදී, ආවාහ විවාහයේ ද යොදවා තම ධනයෙන් අඩක් සමාන ලෙසින් දරුවන් සතර දෙනා අතරෙහි බෙදා දුන්නේ ය. එනම් කහවණු ලක්ෂ අටකින් හතරක් දරුවන් සිව් දෙනාට බෙදා දුන්නේ ය.

දරුවන් සිව් දෙනා වියපත් මවුපියන් ගැන නොබලමින් තමාගේ අඹු දරුවන් පෝෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර කල්යාමේදී බැමිණිය වියපත්ව මිය ගියා ය. අනතුරුව පිය බමුණා වෙනත් විවාහයක් කර ගනිතියි බියෙන් දරුවන් හතර දෙනා කතිකා කොට පියාට ආදරයෙන් සලකන්නට වූහ. ප්‍රණීත ආහාර පාන සලසමින් අත්පා මෙහෙවර ආදියෙහි යෙදෙමින් කවමින් පොවමින් සියලු උවටැන් නොපමාව ඉටු කළේ ය. ඒ අතර එක් දිනෙක දරුවන් සිව් දෙනාම එක්ව කතිකා කොට පියා වෙත පැමිණ අප ඔබ මෙසේ ජීවිත කාලය පුරා උපස්ථාන කරන බවත්, රක්ෂා කරන බවත් කියා පියා සන්තක ඉතිරි ධනයද දරුවන්ට ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. තම දරුවන් කෙරෙහි විශ්වාසය තැබූ පියා සියලු ධනයත් සියලු දේපළත් සමානව කොටස් හතරකට බෙදා දරුවන්ට පුදා නිදහස් වූවේ ය.

ඉන්පසු පියා දෙටු පුතාගේ නිවසෙහි ටික දිනක් සියලු ඇප උපස්ථාන ලබමින් සිටින විට දෙටු පුතාත් ඔහුගේ බිරිඳත් කියන්නේ තමන්ට විශේෂ යමක් නොදුන් බැවින් අනෙක් දරුවන්ගේ නිවෙස්වලට ද ගොස් උපස්ථාන ලබා ගන්නා ලෙසයි. කෝප ගත් පියා අනෙක් පුතුගේ නිවසට ද ගියේ ය. එහි දින කීපයක් සිටින විට එම පුතු හා ලේලිය ද එක්ව පියාට කියන්නේ අපට විශේෂ යමක් නොදුන් නිසා අනෙක් පුතුන්ගේ නිවසට ද යන ලෙසයි. පියා එම නිවසින් ද බැහැර වූ අනෙක් දරුවන්ගේ නිවෙස්වලට ද ගිය අතර එම නිවෙස්වලින්ද ලැබුණේ එවැනිම පිළිතුරකි. අවසානයේ කිසිදු නිවසක සෙවණක් මෙම පියාට නොලැබුණි. එම පියා එන විට දරුවන් නිවෙස්වල දොරටු වසා දමා පලවා හැරියේ ය. අවසානයේ කිසිවක් අහිමිව දුබලව සිඟන්නෙකු ලෙස මහ පාරට වැටුණි.

පිලෙන් පිල සිඟමන් යදිමින් යන මේ පියා ගෞතම බුදුපියාණන් වෙතට ගියහොත් තමන්ට පිහිටක් වෙතැයි සිතා හැරමිටි වාරුවෙන් සිඟමන් යදින බඳුනද අතින් ගෙන බුදුරදුන් වෙතට ගියේ ය. බුදුරදුන් සමඟ පිළිසදර කථා කළ මේ පියා තමන්ට වූ විපත බුදුරදුන් හමුවේ කියා සිටියේ ය. එවිට බුදුරදුන් මේ මහලු පියාට ගාථාවක් කියා දී එය මේ පුතුන් ද සිටින මහජනයා රැස් වූ සභාවක් අසලට ගොස් ගායනා කරන්නැයි වදාළහ. එහි අන්තර්ගතය මෙසේ ය.

දරුවන් සාදා සතුටු වී එම දරුවන්ගේ දියුණුව සලසා දුන් තමාට එම දරුවන්ගේ භාර්යාවන්ට මුළා වී බල්ලන් ලවා ඌරන් ලුහුබඳවන්නාසේ තමා එළවා දමයි.

අසද්පුරුෂ වූ මගේ දරුවෝ පුතුන් නොව යක්කුය.

මහලු අශ්වයකු සියලු වැඩගෙන අත්හැර දමන්නා සේ දිරාපත් මා දරුවන් විසින් අත්හැර දමන ලදී.

ඒ අසද්පුරුෂ දරුවන්ට වඩා මේ සැරයටිය උතුම්ය. එය මා ආරක්ෂා කරයි. ඒ පිහිටෙන් මට නැගිට සිටිය හැකියි. පියා මේ ගාථා හොඳින් උගෙන පුතුන් සිටින ස්ථානයක් සොය සොයා ඇවිදින ගමනේ එක්තරා දිනෙක සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී විශාල ජනතාවක් රැස් වූ සභාවක ඉදිරි අසුන්වල දරුවන් අසුන්ගෙන සිටින විටෙක එම සභාව මධ්‍යයට ගොස් මෙම ගාථා ගායනා කරන්නට විය. එකල බ්‍රාහ්මණ සමාජයේ මහලු දෙමාපියන් පෝෂණය නොකරන දරුවන් මරා දැමිය යුතු යැයි සම්මතයක්ද පැවතුණි. එබැවින් පියාගේ ගායනාව ඇසූ දරුවන් බියට පත්ව පියාගේ පා මුල වැඳ වැටී තමන්ගේ දිවි බේරා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. පුතුන් සිව් දෙනා මරන්නට සූදානම් වූ මිනිසුන් වෙතින් එසේ නොකරන්නැයි පියා ඉල්ලා සිටියේ ය. අද පටන් පියා හොඳින් පෝෂණය කරන ලෙසත් එසේ නොකරන්නේ නම් මරා දමන බව ද මිනිස්සු කීවාහුය.

අතිශයින්ම බියට පත් දරුවන් පියා කර මත හිඳවාගෙන තමන්ගේ නිවෙස් කරා රැගෙන ගොස් සිරුරෙහි තෙල් ගල්වා සම්භාහනය කරමින් නාවමින් කවමින් පොවමින් සියලු උවටැනින් සත්කාර කළහ.

කාලයක් ගෙවී ගිය පසු හොඳින් සුවපත් වූ පියා තමන්ට මේ සියල්ල ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා ලද බව කල්පනා කොට සිවුරු පිණිස වස්ත්‍රයක්ද පිළියෙළ කොට රැගෙන ගොස් බුදුරදුන්ගේ දෙපා මුල තබා ගුරු පූජාවක් කළේ ය. එය පිළිගෙන දහම් දෙසූහ. බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගියේ ය. අනතුරුව බුදුරදුන්ට තම නිවසට දානය පිණිස වඩින්නැයි ආරාධනා කළේය. පුතුන් සිව් දෙනාගේම නිවෙස් වෙත පිළිවෙළින් බුදුරජාණන් වහන්සේ වැඩම කොට දන් වළඳා දහම් දෙසා ඔවුන ද සරණ ශීලයෙහි පිහිටවූහ. එමෙන්ම ඔවුනට මවුපියන් පෝෂණයෙහි වටිනාකමද පහදා දී මාතුපෝසක ජාතකයද දේශනා කළහ. අවසානයේ දී බ්‍රාහ්මණයා හා පුතුන් සිව් දෙනා ද සෝවාන් ඵලයට පැමිණියහ.


 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]