UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුද්ගලයෙකු හඳුන්වා දිය යුත්තේ කෙසේද?

පුද්ගලයෙකු හඳුන්වා දිය යුත්තේ කෙසේද?

බුද්ධිමතුන්ගේ ප්‍රඥාාවන්තයන්ගේ දෝෂදර්ශනයට ලක් නොවන ආකාරයෙන් සහ අකුසල් රැස් කිරීමෙන් තොරව ජීවත් වීමට අප කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව අංගුත්තර නිකායේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. යම් කිසි පුද්ගලයෙකු නොදැන නොබැසගෙන නුගුණ කිව යුත්තාගේ ගුණ කියනවා නම්,ඔහු හෝ ඇය ප්‍රඥාාවන්තයන්ගේ සහ බුද්ධිමතුන්ගේ දෝෂ දර්ශනයට විෙවිචනයට අපහාසයට ලක්වීම අනිවාර්යයෙන්ම සිදුවෙයි. එපමණකුත් නොවෙයි, නොදැන නොබැසගෙන නුගුණ කිව යුතු පුද්ගලයාගේ ගුණ කියනවා නම්,ඔහු හෝ ඇය අකුසල් රැස් කරගන්නවා යන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

යම්කිසි පුද්ගලයෙකුගේ ගුණ කියමින් හෝ යහපත් බවක් පිළිබඳව යම්කිසි පුද්ගලයෙකුට හඳුන්වා දීමක් සිදුකරනවා නම්, ඒ පිළිබඳව පුර්ණ අවබෝධයක් අප තුළ අනිවාර්යෙන්ම තිබිය යුතුයි. උපාසක උපාසිකා යනුවෙන් හඳුන්වනු ලබන්නේද, ඔහු හෝ ඇය පන්සිල් රකිනවාද? නැද්ද? යන්න පිළිබඳ දැනගෙන නොවෙයි. පන්සිල් රැකිීම නොරැකීම උපාසකභාවයට අදාළ කාරණාවක් නොවෙයි.තිසරණය සමාදන් වූ පුද්ගලයා හෝ තැනැත්තිය උපාසක උපාසිකා වෙයි. නමුත් සීලය පුද්ගලික නිසාම සිල්වත් පුද්ගලයෙක් යනුවෙන් හැඳින්වීම අපහසු කාරණාවක් වෙයි. තමාගේ සිල්වත් බව නිවැරැදිව දන්නේ තමා පමණයි.එම නිසා තවත් අයෙකුගේ සිල්වත් බව පිළිබඳව නිවැරැදිව යමක් ප්‍රකාශ කළ නොහැකි වෙයි. කෙලෙස් සහිත වූ පෘතග්ජන මිනිසුන් පිළිබඳව එවැනි ආකාරයෙන් නිශ්චිත තීරණ ලබාදිය නොහැකි වෙයි. ඔවුන්ගේ ඇත්ත ජිවිතය පන්සලක ධර්මශාලාව තුළදී පැහැදිලිව දැක ගත නොහැකිය. ඇත්ත පුද්ගලයා පැවැත්ම සම්බන්ධ කාරණාවන් තුළින් දැකබලා ගත හැකි වෙයි.ඉඩකඩම් ,මිල මුදල්,තමාගේ ගෞරවය, නම්බුව පිළිබඳ කාරණාවන් තුළින් කාරණා ඉදිරිපත් වන විට සත්‍ය පුද්ගලයා පිටතට පැමිණෙයි. පෘතග්ජන ස්වභාවය එවැනි ආකාරයක් ගනී. අප කවුරුන් හෝ පිළිබඳව කාරණා ඉදිරිපත් කරන විට අප කවුරුත් දන්නා ගුණය වන තිසරණ සමාදන් වූ පුද්ගලයාට පැකිළීමකින් තොරව උපාසක උපාසිකා යන නාමයෙන් හැඳින්විය හැකි වෙයි. ඔබ උපාසක ශ්‍රේෂ්ඨයෙක්ද? උපාසක චණ්ඩාලයෙක්ද? යන කාරණාව දන්නේ තමා පමණයි. උපාසකභාවයෙන් හැඳින්විය හැකි වුවද, උපාසක භාවය තුළත් ශ්‍රේෂ්ඨයන් සිටිය හැකිය. තිසරණය සමාදන් වුවත් නිවැරැදිව තිසරණය සම්බන්ධව කටයුතු නොකරන පිරිස්ද සිටිය හැකිය. .ශ්‍රද්ධාව නොමැති පිරිස්ද සිටිය හැකි වෙයි.යම් කිසි පුද්ගලයෙකුගේ උපාසකභාවයෙහි උසස් පහත් බව පිළිබඳව තවත් අයෙකුට නිර්වචන ලබාදිය නොහැකි වන්නේ එම නිසයි. එවැනි නිර්වචනයක් ලබාදෙනවා නම්, අති දීර්ඝ කාලයක් ඉතා සමීපව එකම ගෘහයක සිට ඉතාම සිහි නුවණින් නීරික්ෂණය කළ යුතුයි. සීලය,උපාසකභාවය අභ්‍යන්තරයට අදාළ කාරණා නිසයිි.

කවුරුන් හෝ පුද්ගලයෙකුගේ කුමක් හෝ ගුණයක් කියනවා නම්,එය නොදැන කතා නොකළ යුතුයි. ළිඳේ ස්වභාවය ළිඳට බැස ප්‍රකාශ කළ හැකි වුවත් ,ළිඳට නොබැස නිවැරැදි තොරතුරු නොදැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකිය. එවැනි ආකාරයෙන් යමිකිසි පුද්ගලයෙකුගේ ගුණයක් ප්‍රකාශ කරනවා නම් ඔහුගේ හෝ ඇයගේ ජීවිත අභ්‍යන්තරයට කිඳාබැසිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තර ජීවිතයට කිඳා නොබැස ගුණ ප්‍රකාශ නොකළ යුතුයි. ඇතැම් විට ඔබ ගුණ ප්‍රකාශ කරනු ලබන්නේ දුර්ගුණ පුද්ගලයෙකුගේ විය හැකිය. දුර්ගුණ සහිත පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය යුතු පුද්ගලයෙකුගේ ගුණ කිව හැක්කේ අප ඔහු පිළිබඳ නිවැරැදි දැනුමක් ඇතිව කතා කළ හොත් පමණයි. නිවැරැදි පර්යේෂණයක් නොමැතිව කතා කළ හොත් දුර්ගුණ කිවයුතු පුද්ගලයාගේත් ගුණ ප්‍රකාශ කිරීමට පටන්ගැනීමෙන් තවත් විශාල පිරිසක් එවැනි ආකාරයේ පුද්ගලයන් සරණ යයි. එවැනි අයට පැහැදී ඔවුන් අනුගමනය කිරීමට යාමෙන් ඔවුන්ට රැවටීමෙන් විශාල වශයෙන් තමන්ගේ දේ අහිමි කර ගනී. එම නිසා යම්කිසි පුද්ගලයෙකු පිළිබඳව ගුණයක් වෙනත් පුද්ගලයෙක් හෝ තැනැත්තෙක් සමඟ ප්‍රකාශ කරනවා නම්,ඒ පිළිබඳ නිවැරැදි දැනීමක් ඇතිව පුර්ණ අවබෝධයකින් යුක්තව යමක් ප්‍රකාශ කළ යුතුයි. අප ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තරය පිළිබඳව ලබාදෙන අදහස තවත් බොහෝ අය නිරීක්ෂණාත්මකව සිහිනුවණින් බලයි.

ඇතැම් දෙමවුපියන් සමහර පුද්ගලයන් දුටු විගස තමන්ගේ දරුවන්ට යෝජනා කරයි. හරිම හොඳ අයෙක් වගෙයි . කනට ඇහෙන්න කතා කරන්නෙත් නැහැ.බිම බලාගෙනම සිටින යහපත් ළමයෙක්. අපේ දරුවාට නම් හොඳටම ගැලපෙනවා යනුවෙන් ඇතැම් දෙමවුපියන් ප්‍රකාශ කරයි. එක දවසක්වත් නොදැකපු පුද්ගලයෙක් පිළිබඳව හොඳටම ගැලපෙන බවට තමන්ගේ දරුවන්ට ප්‍රකාශ කිරීම ඉතාම වැරැදි සහගත ක්‍රියාවක්. අපේ රෙටි දරුවන් තවමත් දෙවමුපියන්ගේ වචනයට ඇහුන්කම් දෙන නිසා දෙමවුපියන්ගේ වචනයට අවනතව එම යෝජනාවලට එකඟ වෙයි. සමහරුන් විවාහ වෙයි. වෙනත් මුහුණකින් වසාගෙන සිටි යක්ෂයා හෝ යක්ෂණිය ජීවත් වීමට පටන් ගත් දවසේ සිට එළියට පැමිණෙයි.විවාහට පෙර ඔහු බිම බලාගෙන හොඳ පුද්ගලයෙකුගේ ස්වභාවය පෙන්නුම් කර ඇත්තේ මුළාවක් කිරීමටයි. කට වසාගෙන නොසිට කට ඇරියානම්, කතා කළා නම් ඔහුගේ ඇත්ත තත්ත්වය එළියට එයි. එම නිසා නිවැරැදිව සිහිනුවණින් ඇසුරු කිරීමෙන් තේරුම්ගෙන පමණක් කවුරුන් හෝ පුද්ගලයෙකු තවත් අයෙකුට යොජනා කරන්න. ඔහුට වාහනයක් තිබුණට , ගෙයක් සාදා තිබුණට ඔහු යහපත් පුද්ගලයෙකු බවට කාටවත් හඳුන්වාදෙන්න යන්න එපා.ජීවත්වීමට ගෙයක් තිබෙන බවට ප්‍රකාශ කරන ඇතැම් පුද්ගලයන් විවාහයෙන් පසු බිරිඳත්, දරුවනුත් එලවා දමමින් එම නිවස තමාගේ ආදායම් මාර්ගයක් සඳහා යොදවන අවස්ථා ඇතැම් විට දක්නට ලැබෙයි. ඔවුන් සමාජයට වෙනත් මුහුණුවරක් පෙන්වමින් අකටයුතුකම් සියල්ල සිදුකරයි. එම නිසා ඔබ හඳුන්වාදෙන පුද්ගලයා ඔබගේ විශ්වාසය මත පදනම්ව සරණ ගියහොත් ඔහු හෝ ඇය ජීවත්වන තාක්කල් ඔබට ශාප කරාවි.ඇතැම් දරුවන් තමන්ගේ දෙමවුපියන්ට ශාප කරයි. දෙමවුපියන් කළ වරදට කවදාවත් සමාවක් නොදෙන බවට ප්‍රකාශ කරන දරුවන් සිටී.

ජිවිත කාලය පුරාවටම තමන්ගේ අම්මාට, තාත්තාට කීකරුව හැදුන වැඩුන දරුවන් පිළිබඳ දෙමවුපියන් තීන්දු තීරණ ගෙන ඇත්තේ ඔවුන් සතු ගේදොර යාන වාහන දෙස බලා පමණයි. ඔහුගේ අධ්‍යාත්මය පිළිබඳව කිසිදු සොයාබැලීමකින් තොරව ද්‍රව්‍ය දෙස පමණක් බලා පුද්ගලයෙක් පිළිබඳ ප්‍රකාශ කරන්න එපා. එම පුද්ගලයාගේ පෙනෙන්නට තිබෙන කාරණා මෙපමණයි . ඉතිරි කොටස තමන් නොදන්නා බවටවත් ප්‍රකාශ කරන්න. අඩුම වශයෙන් ඔබ නිසා අනෙකා පිළිබඳව පැහැදීමෙන් අපහසුතාවයට පත්වූ අයගෙන් සමාවක් හෝ ලැබෙයි. මොනවා වුණත් ඔහු හෝ ඇය පිළිබඳ හඳුන්වා දෙන විට කිසියම් කොටසක් නොදන්නා බව ප්‍රකාශ කළ වග සිහියට නැඟෙයි. පිටතට පෙනෙන ටික මෙපමණයි . ඉතිරි කොටස තමා දන්නේ නැති බවඅඩුම වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. ඉතිරි කොටස ජීවත් වෙලාම බැලිය යුතු බව ප්‍රකාශ කරන්න. එම නිසා බොහොම ප්‍රවේශමෙන් වචනය පිට කළ යුතුයි. අපගේ වචනය බොහෝ දෙනෙක් විශ්වාස කරයි. අපේ රටේ වැඩිහිටියන් ප්‍රකාශ කරන කාරණා දරුවන් තවමත් අසයි. ස්වාමීන් වහන්සේලා දේශනා කරන කාරණා ගිහියන් තවමත් පිළිගනී. ස්වාමීන් වහන්සේලා සමඟ එකට එක කියමින් තර්ක කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා දේශනා කළ වචනයක් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කළ වචනයක්නෙ යනුවෙන් සිතා පිළිගනී. මිනිසුන් අගාධවලට තල්ලු කරන්නේ නැතිව සිටිය යුතුයි. කිසිම සොයා බැලීමකින් තොරව කිසිදු දෙයක් නොදැන අවබෝධයෙන් තොරව ඇත්තටම දුර්ගුණ සහිත පුද්ගලයන් පිළිබඳව ,ගුණ වර්ණනා කළ හොත් කෙතරම් ප්‍රමාණයක් ඔහුට හෝ ඇයට රැවටෙයිද? එම නිසා බුද්ධභාෂිතය නොදැන නොබැස ගෙන නුගුණ කිව යුතු පුද්ගලයාගේ ගුණ ප්‍රකාශ කළ හොත් අකුසල් රැස්වෙනවා සේම උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දෝෂදර්ශනයට ලක්වීම වැළැක් විය නොහැකියි. වැරැදි පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට හඳුන්වාදීමෙන් පව් පිරෙයි. බාලයෙකු ප්‍රඥාවන්තයෙකු ලෙසද අසද්පුරුෂයෙකු සද්පුරුෂයෙකු ලෙස ද හඳුන්වාදීම අකුසල කාරණාවක් වෙයි.එම හේතුව නිසා බොහෝ පිරිසක් රැවටෙයි.


 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]