UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා මළුවේ සාම්ප්‍රදායික පුද සිරිත්

සිරිපා මළුවේ සාම්ප්‍රදායික පුද සිරිත්

"වන්දනාකරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ‘ඉර සේවයයි’ උදෑසන සූර්යයා උදා වී ගෙන ඒම සිරිපා අඩවියේ දී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මළුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. දොළොස් මහේ පහන ද ශ්‍රී පාදස්ථානයට පමණක් ආවේණික වූවකි."

පුරාතනයේ පටන් සමන්තකූටය ජගත් ආකර්ෂණයට පත්වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය මෙම ගිරි ශිඛරය මත පිහිටුවා තිබීම නිසාය. ශ්‍රී පාද වන්දනාසමය ආරම්භ වන්නේ උඳුවප් මස පුරපසළොස්වක පොහොය උදාවත් සමඟය. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය ශ්‍රී පාද වන්දනා සමයයි. මේ අතර සෑම වසරකම මැදින් පුර පසළොස්වක පොහොය දිනය වැඩිම වන්දනාකරුවන් පිරිසක් සිරිපා මළුවට එක්රැස් වන දිනයයි. මැදින් පොහෝදා සිරිපා මළුවේ සිදු කෙරෙන පුණ්‍යෙීත්සව මාලාව විශේෂ වැදගත්කමකින් යුක්තය.

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීම තුළිනි. ඒ අතර පැල්මඬුල්ලේ ගල්පොත්තාවල විහාරස්ථානයේ සිදුකෙරෙන ආගමික වතාවත්, රත්නපුර මහ සමන් දේවාලයේ සිදුකරන පුද පූජා හා සමනල කන්දේ සිදුකරන ආගමික වතාවත් නියමිත ඒ ඒ අවස්ථාවන්හිදී අනුපිළිවෙත්වලින් සිදු කෙරේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා ගමන් යාමයි. අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණු එකල පා ගමනින්ම වන්දනා ගමන් යාමට මෙරට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. ශ්‍රීපාද වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමිවිය. සමන් දෙවියන්ට භාරහාර වී ශ්‍රී පාද වන්දනා ගමන ආරම්භ කරන ජනතාව ඇතැම්විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානයයි. එම දුෂ්කරතාව නිසාම ශ්‍රී පාද වන්දනාගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති. එහිදී ඔවුහු ගමන් විඩාව සංසිඳුවා ගැනීම පිණිස මෙවැනි කවි ගායනා කළහ.

ගමනේ වෙහෙසක් සිතට නොගල්ලා
ගමනට මුනිමග කවි පවසල්ලා
බුදුගුණ කියමින් ගමන යමල්ලා
දෙනතට වැඳ සිරිපා වැඳගල්ලා

සිරිපා වන්දනාව කරන පිරිස ‘නඩය’ නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා නඩේ ගුරා යනුවෙන් හඳුන්වයි. සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම්කර ගැනීමයි. එනම් වචනය සංවරකර ගැනීමයි. කට පරෙස්සම් කර නොගැනීම සිරිපා කරුණාවට බාධාවකි.

සිරිපා වන්දනාවේ දී ගෙත්තම් කිරීම නමින් සිදුකරන අභිචාර විධියක් පවතියි. ඉදිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම මෙයින් අදහස් වේ. ජනවහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතන දී මසාගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදුකරයි. මෙම ජනකවිය එයට සාක්ෂි දරයි.

ගෙත්තම් පානට ගොසින් බසින්නේ
ගෙත්තම් කරලයි සමහරු යන්නේ
ඉදිකටු නූලක් සුරතට ගන්නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ

සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිණෙනුයේ පාත මළුවටයි. එම ප්‍රදේශය වන්දනාකරුවන් බෙහෙවින්ම ගැවසෙන විශ්‍රාමශාලා සහිත ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ‘ඉර සේවයයි’ උදෑසන සූර්යයා උදා වී ගෙන ඒම සිරිපා අඩවියේ දී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මළුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. දොළොස් මහේ පහන ද ශ්‍රී පාදස්ථානයට පමණක් ආවේණික වූවකි. සිරිපා සමය තුළ පමණක් මෙය දැල්වීම සිදුවුව ද සැදැහැවත්හු මෙය දොළොස් මහේ පහන ලෙස සලකති.

සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සම්ප්‍රදායිකව පැවැත්වෙන පුදසිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන්හි දී සිදුවන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින සැදැහැවතුන් සියලු දෙනාම මළුවෙන් ඉවත්කර පිවිසෙන දොරටු වැසීමයි. ඉන් අනතුරුව මළුවේ කාර්ය මණ්ඩලය විසින් නා නා විධ සුවඳ වර්ග මුසුකළ පැන් කළ හතකින් ශ්‍රී පාද පද්මය දෝවනය කරනු ලැබීම සිදුවේ. ඉක්බිතිව සුමන සමන් දේවාලය ද එලෙසින්ම පවිත්‍ර කෙරේ. මුළු සිරිපා මළුවම සුවඳ පැනින් සෝදා සඳුන් කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරණි සිරිතකි.

මෙම පවිත්‍ර කිරීම්වලින් පසුව සම්ප්‍රදායිකව සකස් කළ බුද්ධ ප්‍රතිමාව ගෞරවාන්විත පුද පෙරහරක් මඟින් මළුව වටා තෙවරක් වැඩම කරවා ගෙනවිත් ශ්‍රී පාද වහන්සේ අබියස තැන්පත් කෙරේ. දේව පූජාව ද එබඳුම පූජා පෙරහරක් මඟින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවතුන්ට වන්දනාව සඳහා දොරටු විවර වන්නේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍ර විධි පැවැත්වීමෙන් පසුවයි. ශ්‍රී පාදස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී පාදස්ථානයෙහි ආගමික තේවාව භාරව සිටින භික්ෂූන් වහන්සේලා දෛනිකව උදේ සවස ශ්‍රී පාද වහන්සේ අබියස සහ සමන් දේවාලය තුළ සෙත් පිරිත් දේශනා කරති. කපුරාළවරුන්ගේ යාතිකාවන්ද සිරිත් පරිදි පැවැත්වේ.

මෙම පුද පූජා හා උත්සවවලට අමතරව සෑම වසරකම මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ සිරිපා මළුව තුළ සිදුකෙරෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ඇතුළු පුණ්‍යෙීත්සව මාලාව ද විශේෂ වැදගත්කමකින් යුක්තය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]