UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංහිඳියාවේ කරුණාව

සංහිඳියාවේ කරුණාව

" කාසිම්, රාජ සුන්දරම් ලයනල් මෙහෙවරෙල්ලා, අපි සිරීපාදෙ කඳු මුදුනෙදි එක්වෙමු.’ යැයි මහගමසේකරයන් කීවේ ඒ අපූර්ව එකමුතුකම ගැන, සංහිදියාවේ තෝතැන්න ගැන නැවත සිහිපත් කරන්නට වන්නට ඇත.'

සමනොළ පුද බිම පිළිබඳ ජනප්‍රවාද ගත වූ පැරැණිම පද්‍ය කාව්‍ය ලෙස ශ්‍රී පාද වර්ණනාව සුවිශේෂී වේ. ඔද වැඩී ගිය බුද්ධ භක්තියෙන් ද, විශ්වාසයන්ගෙන්ද, සිරිතෙන් විරිතෙන්ද පෝෂණය වූ ගැමි ජන හදින් උපන් හැඟීම් වදනට හරවා එසේ මුවගට නැඟුනේ ළයාන්විත ස්වරයෙනි.

ශ්‍රී පාද වර්ණනාවේ එන ලෙස සම්බුදු හිමියන් සමන් ගිරට වඩින්නේ ඍධියෙන් නොව පා ගමනින්ය. සීතල හිමයේ, තුරුලතාවන් අතරින් බුද්ධ රශ්මියෙන්, පරිසරය ඒකාලෝක කරමින් වඩින ඒ අසිරිමත් ගමන් විලාසය විස්තර කරන්නේ සිත් රූ උපදින ලෙසය. බොදුනු සිත් පහන් කරවන ලෙසය.

ශ්‍රී පාද වර්ණනාවට අනුව බුදු හිමියන් සිරිපා වඩින්නේ රත්නපුර පාරෙනි. ඒ ගමනේ ලිහිණි හෙළ දක්වා ප්‍රවාද කතා බොහෝය. ලිහිණි හෙළ පසු කරන බුදුරජාණන් වහන්සේට එක් ස්ථානයක දී කිසිවෙක් දොඩම් ගෙඩියක් පූජා කළේය. උන්වහන්සේ එහිදීම එය වැළදූ නිසා එම ස්ථානය දොඩම්බැබිළ වූ බව ගැමියා පවසයි.

දොඩම්බැබිළ පසු කර ඉහළට වඩින බුදුහිමියන්ගේ සම්බුද්ධ චීවරය යම් හේතුවක් නිසා මදක් ඉරී ගියේය. උන්වහන්සේ නැවත වැඩම කළේ නූල සහ ඉඳිකටුව ගෙන චීවරය මසා ගැනීමෙන් අනතුරුවය. ඉදිකටුපාන, ගෙත්තම් පාන ලෙස සැලකෙන්නේ එම ස්ථානයය.

ඉඳිකටු පානේ සිට ඉහළ කොටස ගමන් මග තරමක් අසීරුය. බුදු හිමියන් සැරයටියක් ගෙන වැඩම කළ ආකාරයක් ද ජන කවියාගේ හිතේ ඇඳේ. ‘හැරමිටි පාන යි කියන්නේ එම ස්ථානයටය. ඉන්පසු උන්වහන්සේට හමුවන්නේ ධර්මරාජ ගලය , ගැමියන් විශ්වාස කරන්නේ ධර්මරාජ නම් තාපසයෙක් එහි ගල්පඩි පෙළ තැනවූ බවය. පෙර ‘හැරමිටිගල ලෙස හැඳින්වූයේ මේ ධර්මරාජ ගලය.

සිරිපා පත්මය සනිටුහන් කරන්නට තම ශාස්තෘන් වහන්සේ පයින්ම සමනළගිර තරණය කළා යැයි ගැමියා සිතුවේ ඒ ගමන වඩාත් ආකර්ශනිය ලෙස හැඟුණ, දැනුණ නිසා විය හැකිය. සෘධියෙන් වැඩියා කියනවාට වඩා මහ පොළොවේ ශ්‍රී පාද පත්ම ස්පර්ශ කරමින් වැඩම කිරීම වැඩි වටිනාකමක් ගෙන දෙන්නේ යැයි ඔවුහු විශ්වාස කළා වීමට පුළුවන.

මේ ජනප්‍රවාදයන් අතීතයට මෙන්ම වර්තමානයටද, අනාගතයටද එකසේ වැදගත්ය. පින්බිමක් වන්දනා කරන්නට යන මඟ ගෞරවය ආරක්ෂා කරගන්නට පරිසරය සුරකින්ට, ඓතිහාසික බව රැක ගන්නට, සංහිඳියාවෙන් යුතුව සාමුහික ගමනක් යන්නට, අනවශ්‍ය නවීකරණයන්ට නොයන්නට මේ ප්‍රවාද එක්තරා ආකාරයක පෙළඹවීමක්ය.

අතීත ලාංකිකයා කෘෂිකර්මාන්තය හා බැඳුණු සිය ජීවනෝපාය සරි කරගන්නට හිරුගෙන් ලැබුණු සේවයට කෘත ගුණ දැක්වූයේ හිරු දෙවි වන්දනාවෙනි. ප්‍රවාද කතාවන්ට හා ජන කවියට අනුව හිරුදෙවි වඳින්නට අතීත ජනයා සිරිපා ගිරි හිස තරණය කළ බව පෙනේ. හිරු තුන් වතාවක් ඉහළට නඟිමින් පහළට බසිමින් වෙව්ලන ආකාරයක් පෙනෙන එකම ස්ථානය වන්නේ සමනොළ ගිරිහිස වීම ඊට හේතු වන්නට ඇත.

බුදු හිමියන් ලංකාවට වැඩම කරන්නට පෙර හිරු දෙවියන් වඳින්නට ගැමියා මේ ගමන ගිය බව ගැමි ඇදහීම්වල සඳහන්ය. බුදුරදුන් සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුනෙහි ශී‍්‍රපාද පියුම් සනිටුහන් කිරීමත් සමඟ ඒ ගැමි ආගම බෞද්ධාගම බවට පරිවර්තනය විය. සිරිපා පින්බිම බෞද්ධයන්ගේ අති උතුම් පූජා භුමියක් බවට පත්විය.

පසුකලෙක රාජසිංහ රාජ කාලයේ ‘සිවනඩි පාදම්’ සිව දෙවියන්ගේ පාදය එහි පිහිටි බව හින්දූහු විශ්වාස කළහ. අදටත් විශ්වාස කරති. එහෙත් ඒ විශ්වාසයට එදත්, අදත්, කිසිදු බෞද්ධයෙක්, වෙනත් ආගමිකයෙක් විරුද්ධ නොවූහ.

පසු කලෙක බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරටට පැමිණි පසු ඔවුහු එය ‘ආදම් ගේ’ පාදය වන බවට විශ්වාස කළහ. අදත් කතෝලික ජනතාව විශ්වාස කරන්නේ සිරිපා ගිරිහිස ඇත්තේ ආදම්ගේ පාදය බවය. එහෙත් කිසිදු බෞද්ධයෙක්, හින්දු භක්තිකයෙක් ඔවුන්ගේ විශ්වාසයට එරෙහි නොවෙති. මේ තමන්ට අයත් පින් බිමකැයි රණ්ඩු දබර නොවෙති.

ඉස්ලාම් භක්තිකයෝ ද සිරිපා බිම සිය ආගමික නායකයෙක් හා සම්බන්කොට කියති. එකම රටක ආගම් තුනක ජනතාව එකම පින්බිමක වන්දනා මාන කරන්නට එකට ගමන් කරති. වැසි කුණාටු මැද සීතල හිමේ එකට ඇවිද යමින් හිතේ වැඩ සිටින බුදුහිමියන්ට, හිතේ ඉන්න දෙවියන්ට වැඳ එකටම ආපසු එති. අපි මේ ජාතියේය. අපි මේ ආගමේය යි කිසිවෙකුට සිතන්නට වුවමනාවක් නැත. රණ්ඩු දබර, හිත් අමනාපකම් නැත. සංහිදියාවේ ආරම්භයට මේ හොඳම මඟ නොවන්නේ ද?

“කාසිම්, රාජ සුන්දරම් ලයනල් මෙහෙවරෙල්ලා, අපි සිරීපාදෙ කඳු මුදුනෙදි එක්වෙමු.’ යැයි මහගමසේකරයන් කීවේ ඒ අපූර්ව එකමුතුකම ගැන, සංහිදියාවේ තෝතැන්න ගැන නැවත සිහිපත් කරන්නට වන්නට ඇත. ඒ සහජීවනය රටක්, ජාතියක් ලෙස අප හැම ලැබූ අපූර්වතම උරුමයක් නොවන්නේද?

ගමේ පන්සලේ දී, පල්ලියේදී ,කෝවිලේදී සමිතියේදී ඒ උරුමය යථාර්ථයක් බවට පත් කරන්නට, ශී‍්‍ර පාද පුදබිම සංකේතවත් කරන්නට අපට පුළුවන. ඒ සංහිඳියාව රටේ දියුණුවට යන ශක්තිමත් පාලමක් කරගන්නට පුළුවන .

අපේ අතීත මුතුන් මිත්තන් ඒ එකමුතුකම අගය කළහ. සහජීවනයෙන් ජීවත්වීම විනා, ජීවිතයේ සුන්දරත්වය, යථාවබෝධය විනා ඔවුන්ට එදා මහපොළොව බෙදා වෙන්කරගන්නට ඇවැසි වූයේ නැත.

ගොවිතැනේදී , මඟ තොටේදී පාළුව කාංසිය මඟ හරවා ගන්නට පද බැඳි ජන කවියෙන් ද කියැවෙන්නේ ද ඒ සංහිඳියාවේ මිහිරය.

තංගවේලු අත දුන්නා
සිරිපාදේ අපි නගිද්දි
කාදර්ලා තේ දුන්නා
සීත ගඟුලෙ අපි නාද්දි

තංගමනී හිනා වුණා
නල්ලතණ්නි පහුකරද්දි
සමන් දෙවිඳු පිහිට වුණා
ධර්මරාජ ගල නගිද්දි

අතීත මුතුන් මිත්තෝ අපට අපූරු පාඩමක් කියා දේ. අපි එකම ජාතියක් ලෙස අනාගත පරපුරට ඒ එකමුතුකම , සංහිඳියාවේ මිහිර දායාද කළ යුතුය. සිරිපා පින්බිමේ සිට ඒ සුන්දර ගමනට ආරම්භය දීමට පුළුවන.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]