UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තුන් සරණේ සරණයි

තුන් සරණේ සරණයි

අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ, වෙසක් පුන් පොහෝ දිනක සමන් දෙවියන්ගේ ආයාචනයෙන් සමනළ කන්දට වැඩම කොට එහි ඉන්ද්‍රනීල පර්වත මස්තකයේ සිරිපා සලකුණ පිහිටවූ බව බොදුනුවන්ගේ විශ්වාසයයි. මහාවංශයේ සඳහන් පරිදි නිශ්ශංකමල්ල, පළමුවන විජයබාහු, පළමුවන පරාක්‍රමබාහු යන රජවරු ශ්‍රීපාදය වැඳ පුදාගෙන ඇත. ශ්‍රී පාදස්ථානයේ ගෞතම බුදුන් පමණක් නොව කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව්බුදුවරයන් වහන්සේලාගේම ශ්‍රී පාදයන් පිහිටා ඇතැයි සිංහල බෞද්ධයන් විශ්වාස කරති. ශ්‍රී පාදස්ථානයේ දී භාවිතා කරන බස් වහර සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකයන් ‘බුදුසරණ’ සමඟ කතාබහට එක්වූහ.

“මහ පොළවේ සමහර තැන් ශුද්ධභූමි කියලා අපේ හැඟීමක් තියෙනවා. පන්සල පුණ්‍ය ක්ෂේත්‍රයක් , පින් කෙතක්, කෙතේ වී වපුරනවා වගේ, පන්සලේ පින් වපුරනවා. ලංකාවේ දෙවියන් අරක්ගත් අඩවි තියෙනවා. මැණික් ගඟින් එතෙර වුණාම කතරගම දෙවියන්ගෙ අඩවිය. ශීත ගඟුලෙන් එගොඩ වුණාම සමන් දෙවියන්ගෙ අඩවිය. මේ දේව අඩවිවල ශුද්ධ භූමිවල කතාබහ කරන වචනත් වෙනස්. නිතරම ඇඳීමේදී රෙදි කිලිටිවෙනවා වගේම නිතරම භාවිතයෙන් වචනත් කිලිටි වෙනවා. සිරිපා වන්දනා කරනවා වෙනුවට සිරිපා කරුණා කරනවා කියලයි පවසන්නේ. සිරිපා කරුණාවට සූදානම් වෙනවා යන්නට ‘පේ වෙනවා’ කියා කියනවා.

සිරිපා කරුණා කිරීමේ දී කට පරිස්සම් කරගැනීම වැදගත්ම දෙයක්. නුසුදුසු වචන භාවිතයෙන් දේව උදහසට ලක්වෙනවා. සිරිපා කරුණාවට පිටත්වෙද්දී අපි ගිහින් එනවා කියනවා මිසක් ආපසු එන දිනයක් කියන්නෙ නැහැ. අපි ඒක එන හැටියකට බලාගමු කියනවා.

ගමනට එකතුවන පිරිසට කියන්නේ නඩය කියලා. එම පිරිසේ නායකයා වන්නේ නඩේ ගුරා. පළපුරුදු වන්දනාකරුවකු වන නඩේ ගුරා කෝඩුකාරයින් වැන්දවීම නඩය මෙහෙයවීම මනාව සිදුකරනවා. අතීතයේ පටන්, සිරිපා වන්දනාව ජන ජීවිතය සමඟ කොතරම් බද්ධවෙලාද කියා කියනවා නම්, සිරිපා වන්දනාවට ආවේණික, බස් වහරක්, චාරිත්‍ර වාරිත්‍ර මාලාවක්, චර්යා ධර්ම පද්ධතියක්, ඊටම ආවේණික සංස්කෘතික ලක්ෂණ සමුදායක් නිර්මාණය වී තිබෙනවා.

සිරිපා කරුණාවට යන සහභාගි වන නඩයේ ඇත්තන්ගේ භාණ්ඩ, ගෙනියන්නේ සැහැල්ලුවේ දමාගෙනයි. ගමනට වුවමනා කරන ඇඳුම් පැළඳුම්, කැවිලි පෙවිලි දමාගෙන යන ගමන් මල්ල සැහැල්ලුවයි. සිරිපා කරුණාකරන්න පාරවල් තුනක් තියෙනවා. හැටන් නල්ලතන්නි පාර, පලාබද්දල පාර, හා කුරුවිට එරත්න පාර ආදී වශයෙන්. සිරිපාදය කරුණා කරන්න මුලින්ම එකතුවන බාල අයට කියන්නේ කිරි කෝඩු කියලා. වැඩිමල් අයට කියන්නේ දඬු කෝඩු කියලා. නඩේ ගුරා මේ කෝඩුකාරයින් ගැන වැඩිපුර අවධානය යොමුකරනවා. විශේෂයෙන් ඉදිකටුපානෙදි මේ කෝඩුකාරයින් ඉදිකටු නූල් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේගේ සිවුර ඉරිලා මසාගත් තැන ඉදිකටුපාන, නැත්නම් ගෙත්තම්පාන නමින් හැඳින්වෙනවා.

සිරිපා කරුණාවේදී ඊට ආවේණික කවි ගායනා රැසක් තියෙනවා.තුන් සරණේ කවි බොහොමයක් භාවිතා කරනවා. සිරිපතුල් වන්දනා කිරීමට යන බැතිමතුන් භාවිතා කරනා ජන කාව්‍යයක් වන මෙය සිරිපා වන්දනාවේදි බහුලව ගායනා කරනවා. එකිනෙකාට ආශිර්වාද කරගැනීම වගේම වෙහෙස නිවාගැනීමත් මෙමඟින් බලාපොරොත්තු වෙනවා.

වන්දනා ගමනට පේ වී ආ නඩය බොහෝ විට නිර්මාංශව තමයි පැමිණෙන්නේ. ඒ වගේම කට පරිස්සම් කරගැනීමට කවුරුත් උත්සුක වෙනවා. ළිහිණි හෙළේ දී ලිහිණි අක්කේ කියලා කවුරුත් කෑ ගහනවා. ලිහිණි අක්කේ අපි ගිහින් එන්නම් කියලා නඩයේ පිරිස් කියනවා. ගමනට එකතුවන කොයි කවුරුත් සංවරශීලීව ඉවසීමෙන්, ශ්‍රද්ධාවෙන්, කරුණා කරනවා. නඩයේ කොයි කවුරුත් සීත ගඟුලෙන් මුවකට දොවා ගන්නවා.

සීත ගඟුලෙ නවතින්නේ,
වෙහෙස ටිකක් ඇරලන්නේ
ගත පිරිසුදු කරගන්නේ
පන්සිල් ගෙන නික්මෙන්නේ.......!

අතීතයේ සිරිපා කරුණාවේ වෙහෙස නිවාගන්න ඉවහල් කරගන්නේ තුන්සරණේ කවි, හිමගත වරුණ කාව්‍යයේ කවි ඉන්දියාවේ වන්දනා ගමනට කියන්නෙ තීර්ථ යාත්‍රා කියලා. එයින් අදහස් කරන්නේ තොටුපලකට ගමන් කරනවා යන්නයි.

හැම දෙයකටම භාවිතා කරන භාෂා මාධ්‍යය වෙනස්. කෑම කනවා යන්නට රස්සා වෙනවා. ඉස්සරහට යමු යන්න ඉස්සරහ බලමු. ජලයට ගඟුල, යනවා යන්නට කරුණා කරනවා. සුදු ඇඳුමට පිරුවටය ආදී ලෙස භාවිතා වෙනවා.

ඉස්සර කාලේ, සැහැල්ලුවේ, අග්ගලා, අලුවා, කැවිලි, පොල්කට්ටක්, කොලපතක්, සරල ආහාර, පොරවන රෙදි ආදී අඩුම කුඩුම සියල්ල ඇතුළත්, පැරැන්නන්, සති, දින, මාස් ගණන් ගෙවමින් දුෂ්කර ගමනක නිරත වුනේ. බුලත් පුවක්, තේ, කෝපි, කොත්තමල්ලි, රසකැවිලි, අග්ගලා ආදී ආහාර පානත් රැගෙන යාම පැරැන්නන්ගේ සිරිතකි. වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. යනුවෙන් පිරිසක් ගයද්දී අනිත් පිරිස, වැඳලා බහින මේ නඩේට, බුද්ධං සරණේ සරණයි කියා ආසිරි පතනවා.

සිරිපා කරුණා කරද්දී මම නම් ආයේ එන්නේ නෑ කියන්න හොඳ නැහැ. මහන්සියි කියන්නත් හොඳ නැහැ. සමන් දෙවියන්ගෙ පිහිටින් කරුණා කරමු...... ආදිය පැවසීමෙන් දෙවියන්ගේ ආරක්ෂාව හා රැකවරණය ලැබෙනවා.

සිරිපා කරුණාවෙදි විශේෂ ස්ථාන රැසක් හමුවෙනවා. ලිහිණි හෙල, ධර්මරාජගල, ආඩියා මලතැන්න, පලාබත්ගල, මහගිරිදඹේ, ගෙත්තම්පාන, හැරමිටිපාන, ඉදිකටුපාන ආදී ස්ථානවලදී ඊට විශේෂ වූ කවි ගායනා කියනවා. සිරිපා කරුණාවේ අසීරුම තැන මහගිරිදඹේ තරණයෙදි පවා ඇතැමුන් තුන් සරණේ කවි සජ්ඣායනා කරනවා.

සමනල අඩවියේ දී වැස්ස වහිද්දී පවසන්නේ ගඟුල බානවා කියලා. තුන් සරණේ කාව්‍ය ගායනා යන ජන කවි විශේෂය තමයි. වැඩිපුරම ගැයෙන්නේ ගමනේ වෙහෙස නිවාගන්නට

අග්ගල කං ඩෝං පුතා
හෙලේ නගින් ඩෝං පුතා...
ආදි කවි කියනවා.

සිරිපා කරුණාවෙදි බොහෝ විට කවුරු කවුරුත් කාටත් උදව් කරනවා. විහිලු තහලු කරමින් කට වරද්දා ගන්නෙ නැහැ. තරුණ තරුණියන් වුනත් සංවරව හැසිරීමට යොමුවෙනවා.

වඳින්න යන මේ නංගිට
බුද්ධං සරණේ සරණයි....
කියා

තරුණ පිරිස් කියද්දි

වැඳලා බහින මේ අයියට

සුමන සමන් දෙවි පිහිටයි කියලා තරුණිය පිළිවදන් දෙනවා. කටවරද්දාගෙන අසංවරව හැසිරුණු පිරිස් දේව දඬුවමට ලක්වූ අවස්ථා තියෙනවා.

හිමිදිරි පාන්දර සිරිපා කඳු මුදුනේ සූර්යයා පෙරදිගින් උදාවන දසුන (ඉර සේවය) ඉතා සුන්දර දසුනක්, ඉර සේවය නරඹන්න බොහෝ බැතිමතුන් අමතක කරන්නෙ නැහැ. සිරිපා වන්දනාවේ යෙදෙන්නෙ සිරිපා වාරයෙදියි. මාස හයක් අවාරය, අවාරයට හිමයේ මහ වරුසාව, වන සතුන් එමටයි. එම නිසා අවාරයට සිරිපා වඳින්න යාම සිදුකරන්නෙ නැහැ. පැල්මඬුල්ල විහාරයක අවාරයට තැන්පත් කරන සුමන සමන් දෙවි පිළිරුව පවා සිරිපා හිමයට වැඩමවන්නේ සිරිපා වාරයටයි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]