UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමි රාජ්‍යයක් සඳහා...

දැහැමි රාජ්‍යයක් සඳහා...

බුදුදහමේ මූලික පදනම සත්වයාගේ සංසාර විමුක්තියට අදාළ ඉගැන්වීම් සමුදායයි. බුදුන් වහන්සේ දේශනා කළ සියලුම දේශනාවන්ගේ හරය ගතහොත් එහි මූලික අරමුණ වන්නේ සත්‍යාව බෝධයට මඟ පෙන්වීමයි. එහෙත් උන්වහන්සේ ඒ නිසා ජනතාවගේ මෙලොව අභිවෘද්ධිය පිළිබඳ අවධානය යොමු කර නැතැයි එයින් කොහෙත්ම අදහස් නොවේ.

ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට මිනිසාට ආර්ථික දියුණුව අවශ්‍ය යැයි බුදුදහම සලකන නමුත් අධ්‍යාත්මික පදනමකින් තොරව ලබා ගන්නා ආර්ථික දියුණුව සැබෑ එකකැයි නොපිළිගැනීම බුදුදහමේ විශේෂ ලක්ෂණයකි. මේ පිළිබඳව සඳහන් කර ඇති දේශනාවල දී බුදුන්වහන්සේ, සමාජ ප්‍රගතිය සඳහා අනුබල දෙන අතරම, ධාර්මික බවෙන් තොර සුඛිත, මුදිත, සාමකාමී යුකිත්ගරුක සමාජයක් ගොඩනැඟිය නොහැකි බව අවධාරණයෙන් පවසති.

රටක් පිළිබඳ කතා කිරීමේ දී එහි ජනතාවගේ නිදහස ආර්ථික උන්නතිය හා සාමකාමී බව රැඳී ඇත්තේ එහි පවත්නා පාලන තන්ත්‍රයේ සංවිධානය මතය. ඒ අනුව රටක ආණ්ඩු ක්‍රමය පිළිබඳවද බුදුන් වහන්සේගේ මතය වූයේ යම් පමණකට පාලන පක්ෂය ධාර්මික ප්‍රතිපත්ති මත රජය කරවන්නේද එපමණකට රටේ ජනතාව යහපත් ජීවිත ගත කරන්නේ ද යනුයි.

රටක ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමෙහිලා බලපාන කරුණු අතර රජතුමා නැතහොත් ආණ්ඩුවට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. රටේ අපරාධ වැඩිවීම, සොර සතුරු බිය ඇති වීම හේතුවෙන් දරුණු නීතිරීති ඇති කොට ජනතාව මර්දනය කිරීමට හේතු වන්නේ නම් ඒ සඳහා ප්‍රධාන වශයෙන් වගකිවයුතු වන්නේ රජතුමා හෙවත් පාලක පක්ෂය බව බුදුන්වහන්සේ නොයෙකුත් අවස්ථාවල පෙන්වාදී ඇත.

රාජ්‍ය නායකයන් හෙවත්, රජ, ඇමති, නිලධාරි ආදීන් දූෂිතවීම, අධාර්මික වීම මුළු රටක්ම දූෂිත දුක්ඛිත තත්ත්වයට වැටී පිරිහී යාමට හේතුවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ අනුව රටේ සෞභාග්‍යය මෙන්ම ජනතාව අතර යහපත් චර්යා ධර්මයන් වර්ධනය වී සාමයත් ධාර්මික දිවි පෙවෙතත් ස්ථාවරවීමට නම් නීතියට වඩා පාලක පක්ෂයේ ආදර්ශමත් චර්යාව වැදගත් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

බුදුන් වහන්සේ ජීවත් වූයේ රාජාණ්ඩු ක්‍රමයක් පැවැති යුගයක හෙයින් දැහැමි සමාජයක් ගොඩනැගීමෙහිලා පාලක පක්ෂය සතු වගකීම ගැන සඳහන් කරන විට රජතුමා මූලික කර ගත්තද එය හැම අතින්ම වත්මන් රාජ්‍ය නායකයන්ටද අදාළ කර ගත හැකිය. රජකමට මහජන සම්මතයෙන් තෝරා පත් කර ගනු ලබන තැනැත්තා විශිෂ්ට ශෝභාවෙන් හා ප්‍රතාපවත් පෞරුෂයෙනුත් හෙබිය යුතු වන්නාක් මෙන්ම ඔහු බුද්ධි සම්පන්න ද විය යුතු ය.

මිනිසුන්ට නිසි තැන සංග්‍රහ කරන්නට ද නිග්‍රහ කරන්නට ද බලය ඇත්තෙක් විය යුතු ය. බෞද්ධ මතය අනුව රජු හුදෙක්ම මහජන මෙහෙයෙහි යෙදුණෙකැයි ද, අයබදු අය කරන්නට රජෙකුට අයිතිය තිබෙන්නේ මහජනයා රැක ගැනීමේ කාර්යය සපුරාලීම සඳහා පෙරළා කෙරෙන ගෙවීමක් වශයෙනැයි ද සඳහන් වේ.

දේශපාලන වශයෙන් ධාර්මික වීම සඳහා රජුත් ඔහුගේ නිලධාරීනුත් ආත්මාර්ථය නොතකා සිටිය යුතු අතර, සෘජු විය යුතු බවත්, මෘදු විය යුතු බවත්, අවිහිංසා සහිත දේශපාලන ඥානයකින් හෙබිය යුතු බවත් අවධාරණය කෙරෙයි. තවද, බුදුදහමෙහි සඳහන් ආදර්ශ රජ හෙවත් චක්‍රවර්තිගේ ධර්මිෂ්ඨ පාලනය කුමක්දැයි විස්තර වන තැන ඔහු යුක්තියේ හා සාධාරණත්වයේ ප්‍රතිමූර්තියක් වශයෙන් සංකේතවත් කෙරෙයි. ධර්මය හෙවත් යුක්තිය ස්වකීය පාලනයෙහි ජීවනාලිය වශයෙන් සලකා ක්‍රියා කරන රජු රටේ සෑම අංශයකම ජනතාව කෙරෙහි යුක්තිය ඉටු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව සලසන බව බෞද්ධ ග්‍රන්ථවල විස්තර වෙයි.

‘ධාර්මික වූ ධර්ම රාජ වූ සක්විති රජ දහම නිසා ධර්මයට සත්කාර කරනුයේ, ධර්මයට ගරු කරනුයේ, ධර්මයට බුහුමන් කරනුයේ ධර්මය ද්වජය කොට ඇතියේ, ධර්මය ආධිපත්‍යය කොට ඇතියේ අනුයුක්ත නිලධාරීන් කෙරෙහිද, බලකාය කෙරෙහි ද, නගරගම් නියම් ගම් වැනි සියලු ජනතාව කෙරෙහි ද, මහණ බමුණන් කෙරෙහි ද, මෘග පක්ෂීන් කෙරෙහිද ධාර්මික රක්ෂාවරණය සලසයි.’

දැහැමි පාලනයක් වීම සඳහා බුදුදහමට අනුව තිබිය යුතු තවත් විශේෂ අංගයක් නම් ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන රජු චතුර් විධ අගතියෙන් තොර විය යුතු බවය.

තමන්ට පක්ෂ පාත වූවන්ට විශේෂ සැලකිලි දැක්වීම, සාධාරණත්වයට පිටුපා ස්වකීයයන්ට තනතුරු රැකියා දීම ආදී ක්‍රියාවන් ඡන්දයෙන් අගතියට යාමට ඇතුළත් වෙයි. පළිගැනීමෙන් හෝ වෛරයෙන් අගතියට යෑම, බිය නිසා අගතියට යෑම මුලාවෙන් හා උමතුවෙන් අගතියට ගොස් කරුණුූ අවබෝධ කර නොගැනීම, ආදී ක්‍රියාවන් පාලක පක්ෂය තුළ පවත්නේ නම් එහි දැහැමි පාලනයක් බලාපොරොත්තු නොවිය හැකි බව බුදුන්වහන්සේ දක්වති.

පාලක පක්ෂය මහජනයා අතර ජනපි‍්‍රය වීමට දිය යුතු දායාද හතරක් ගැන ද බුදුදහමෙහි සඳහන් වේ. රාජ්‍යයේ ධනය වියදම් කොට සුබ සාධක කටයුතු කිරීම. මහජනයාගේ සිත් දූෂ්‍ය වන අන්දමේ කතා නොකිරීම, අභිවෘද්ධියට හේතු වන නව සංවර්ධන කාර්යයන් ආරම්භ කිරීම, රටේ මහජනයා පන්ති භේදයෙන් වළක්වා සමානව තැබීමට ක්‍රියා කිරීම.

බෞද්ධ මතයට අනුව දිගු කලක් පවතින්නේ බල කාමය තුළින් බලය රැක ගන්නා රජයක් නොව, පොදු ජන යහපත සලසමින් රජ කරන ධාර්මික රාජ්‍යයකි. දැහැමි රජයක යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳවද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මහජනතාව රජ කෙනෙක් හෝ රජයක් පත් කළ විට රාජ්‍ය බලය ඔහුට හෝ එයට බාර දෙයි. එහෙත් භාරකරුවා මහජනතාව අමතක නොකළ යුතු ය. රාජ්‍ය බලය රජයට භාර කරන්නේ මහජනතාව විසින් ගිවිසුමකට අනුවය. මේ ගිවිසුම නිසා දෙපැත්තටම යුතුකම් හා අයිතිවාසිකම් ඇත. බෞද්ධ මතයට අනුව රජයකට ප්‍රධාන යුතුකම් හතරක් ඇත.

මනුෂ්‍ය අයිතිවාසිකම් රකිමින් රට පාලනය කිරීම. මේ හේතුවෙන් ජනතාවට රජයෙන් හෝ වෙනත් පුර වැසියන්ගෙන් හෝ හිංසාවක් පීඩාවක් හෝ බියක් නැතිව ජීවත්වීමට ඉඩ සැලසිය යුතු ය.

රටේ අපරාධ නැති කිරීම, මෙය කළ යුත්තේ අපරාධවලට හේතුවන සමාජ හා මානසික හේතු ඉවත් කිරීමෙනි. ඒ සඳහා ආචාර ධර්ම පදනම් කර ගත් අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දිය යුතු ය. ආර්ථික විෂමතාවයක් ඇති නොවන අයුරින් හා භාණ්ඩ සුලභ වන අයුරින් ස්ථාවර ආර්ථික පදනමක් ඇති කළයුතුයි.

සියලුම රජයේ ප්‍රතිපත්ති ධාර්මික මූලධර්ම උඩ පිහිටු විය යුතු ය. මෙසේ කිරීමට උගත් බුද්ධිමත් ආගමික නායකයන්ගේ උපදෙස් හා අනුශාසනා ලබා ගත යුතු ය. යුතුකම් පැහැර හරින රජයක් මහජන මතය ප්‍රකාශ කිරීමෙන් ඉවත් කිරීම ජනතාව සතු අයිතියක් බව බෞද්ධ මතයයි. රජය ප්‍රජාතන්ත්‍රික නම් රජයේ වැරැදිවලට මහජනයාට ද වගකිව යුතු හෙයිනි. ඒකාධිපති රජයක් රජයේ යුතුකම් පැහැර හරිනම් එය විප්ලවයෙන් වූවත් ඉවත් කිරීම මහජනතාවගේ අයිතිවාසිකමක් බව ‘පදමානවක ජාතකයෙන්’ පැහැදිලි වෙයි. ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් මෙන්ම සමාජවාදී පදනමක් තිබීම බෞද්ධ ආදර්ශ රජයේ වැදගත් ලක්ෂණයකි.

ව්‍යවස්ථාදායක බලයක් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයත් මහජනයා සතු වුවද, යුක්තිය සාධාරණය ලෙසත් ප්‍රතිපලදායි ලෙසත් විසඳා ලිය හැකි වනු පිණිස ඒ බලය රජුට පැවරෙයි. මේ නිසා රජු දඬුවම් පැමිණවීමේ දී ක්‍රෝධයෙන් හා අගතිගාමිත්වයෙන් තොරව, ඉවසීමෙන් යුක්තව තීරණ ගත යුතු බව සඳහන් වෙයි. දඬුවම් වුවද? පැමිණ විය යුත්තේ වරදකරුවා කෙරෙහි ආදර කරුණා පෙරදැරි කරගෙනය. මින් ඇඟවෙන්නේ දඬුවම් කිරීමේ අරමුණ පළිගැනීම නොව චරිතය ප්‍රතිසංස්කරණය කිරීම හා මිනිසුන් වරදට පෙළඹීම වලක්වාලීම බවත්ය.

මේ අනුව කිසියම් රටක් ධාර්මික රාජ්‍යයක් වන්නේ බෞද්ධ මතයට අනුව එහි පාලක පක්ෂය සතුව තිබිය යුතු ‘චර්යා ධර්ම’ රටේ ආණ්ඩු ක්‍රමය, ආර්ථික පදනම, නීතිය හා යුක්තිය පසිඳලීම හා ප්‍රජා අයිතිවාසිකම් ආදී ගුණාංගයන්ගේ උත්තරීතර භාවය අනුව බව අපට පැහැදිලිය.


 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]