UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා වන්දනාව

සිරිපා වන්දනාව

 

රන්වැට සහිත සිරිපා උඩ මළුම

"නිරාමිස සුවය සඳහා ශ්‍රී පාදස්ථානය වාර්ෂිකව වන්දනා කෙරෙන අතර ඒ සඳහා ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් සිරිපා කරුණා කරන සියලු වන්දනාකරුවන් මහත් ඇප කැපවීමෙන් පැමිණීම අගයනු ලැබේ. සම්බුදු පා පහස ලද සමනල ගිර පිළිබඳව ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධා-රාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ් රජ මහා විහාරය යන විහාරයන්හි අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘බුදුසරණ’ සමඟ කළ සාකච්ඡාවකි මේ. "

ශ්‍රී පාදස්ථානාධිපති
බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි

සබරගමු වැසි ප්‍රාදේශීය නායක රජෙක් වන සුමන සමන් දෙවිතුමාගේ ගෞරවණීය ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ වැඩමවා සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළහ. එදා සිට මේ ලක් දෙරණ පාරිශුද්ධත්වයට පත්වුණි. මෙය සත්‍ය සිදුවීමක් වේ. එසේ නොවේ නම් මේතාක් වන්දනා කරමින් ගෞරව දැක්වේද? විශ්මිත සිදුවීමක් හෙයින් සම්‍යක් දෘෂ්ටික බැතිමතුන් පමණක් නොව අන්‍යදෘෂ්ටික අයද තම තමන්ගේ දෙවියන් ලෙස ගෞරව දැක්වීමට පෙළඹුණි. එදා සිට අද වන තෙක්ම ලොව වෙසෙන මිනිසුන්ගේ ගෞරවයට පත්ව ඇති මෙම උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන්ගේ පූජනීය උරුමයක් වූ ස්ථානයක් වේ.

අති දුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ආශ්චර්යජනක වේ. ඉතා අනුහසින් යුක්තය. මුහුදු ගමන්වල යෙදුනු විදේශිකයන්ට දර්ශනය වූයේද ශ්‍රී පාද පත්මය පිහිටි සමන්තකූට පර්වතයයි. මිනිසුන් පමණක් නොව සියලු දෙවියන්ගේද ගෞරවය ලබන උතුම් ස්ථානයකි.

අසිරිමත් සම්බුදු පහසින් පවිත්‍ර වූ මෙම පුද බිමෙන් ලක් දෙරණ සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා හතරක් ආරම්භ වීමත් අසිරිමත්ය. සැනසුම ගෙන දෙන පරිසරයක් හා ජල සම්පත ලබා දෙන වෙනත් ස්ථානයක් තිබේද? බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් දහම් අසා පැහැදී මඟඵල ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වූයේ සමනල ගිරි වැසි සුමන සමන් දෙවියන් වේ. එකල අවබෝධ ඤාණය ඇති මිනිසුන් මේ ලක්දිව විසූ බව සත්‍යයයි. ශ්‍රී ලංකාව සුරකින ලක් දෙරණේ පහළවූ ප්‍රථම දෙවියා සුමන සුරිඳුන් වේ. මහාවංශය, දීපවංශය, සමන්ත පාසාදිකාව, පූජාවලිය ආදී බිහිවූ ලේඛනයන්හි විස්තර සඳහන් වේ. අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, ගම්පොළ, මහනුවර රාජධානි යුගවල රජකළ රජවරුන්ගේ ගෞරවයට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලිය. විජයබා, පැරැකුම්බා, නිශ්ශංකමල්ල, විමලධර්ම, කීර්ති ශ්‍රී ආදී රජවරු නොයෙක් පුද පූජා සිදුකර ඇතිබව ශිලා ලේඛනවලින් හා සන්නස්තුඩපත් ආදියෙන් ඔප්පුවේ. මහා මේඝ වර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පත්ව අභිෂේක ලබා පළමුව ශ්‍රීපාද වන්දනාවට පැමිණ සමන් සුරිඳුන් උදෙසා දෙවොලක් තැනු බව සඳහන්ය. එදා සිට සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පත්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් බැතිමතුන්ගේ ගෞරවයට පත්ව තිබේ. අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය මගුල් ලකුණු එකසිය අටකින් යුක්තය. සමන් සුරිඳුගේ ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍යය මත බුදුරජාණන් වහන්සේ සිරිපා පිහිටුවා වදාළ සේක. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසුව ආවරණය විය. වෙහෙරක කොත්කැරැල්ලක හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන තැනක් ලොව කිසි තැනක තිබේද? මෙවන් අසිරිමත් වූ පුද බිමට පැමිණ වන්දනා කරන්නේ වාම ශ්‍රී පාදයටය. උතුම් වූ ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ලොව කිසිතැනකට නොදෙවැනි සංකේත දෙකක් වේ. එකක් නම් මොහඳුරු කරන පහන් ආලෝකය වූ දොළොස් මහේ පහනයි. අනෙක නම් පැමිණී වන්දනාවාර ගණන සනිටුහන් කරන දෙලොවට ඇසෙන ඝන්ඨාරයයි. එසේ පැමිණි වාර ගණන සිහිපත් කරමින් නාද කරන ඝන්ඨාරයක් ලොව තිබේද? දොළොස් මහේ පහන සුවගෙන දෙන්නකි. එදා සිට බැතිමතුන් පහනේ තෙල් ගෙන ගොස් නොයෙක් ලෙඩ දුක්වලට යොදාගෙන සුව ලබයි.

කාගේ හෝ මෙහෙයවීමක්, කැඳවීමක් නොමැතිව වන්දනා කරන ස්ථානයකි. ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ගමන කාට හෝ නතර කළ නොහැකිය. එය වෙනස් කළ හැකි දෙයක් ද නොවේ. මෙසේ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට පැමිණෙන්නේ ඈත අතීතයේ සිටම අපේ මනුෂ්‍යයන් දෙවියන් උදෙසා ද ගරු බුහුමන් කළේ ය. අපේ රටේ සිටි ඉහළම කරුණාවක්, මෛත්‍රියක්, පරිත්‍යාගශීලීභාවයක් ඇති දේවත්වයෙහි පුද්ගලයෙකි සුමන සමන් දේවරාජයාණන් වහන්සේ. එතුමා සිටි තැන ගිරි දුර්ගයක, සබරගමු පළාතේ අධිගෘහිත සමන්තකූට නිවාසි... ඉහළම තැන ඉන්නේ දෙවියන් යැයි පුරාතන මිනිසුන් තුළ විශ්වාසයක් පැවතිණි. දුෂ්කර බව නොසිතා ඒ ස්ථානයට යෑමේ වුවමනාව පැවැතිණි. අතීතයේ ගල්වල එල්ලී, වැල්වල එල්ලී ගලින් ගලට පැන පැන ආදී වශයෙන් දුෂ්කර ගමනක යෙදිණි. පසුකාලීනව දියුණුවත් සමඟ ගල් එකතු කර පඩි නිර්මාණය කෙරිණි. යකඩ යොදා ගනිමින් දම්වැල් යොදා ගමන් පහසුව සලසා ගැනිණි.

 පැරැණි ඝන්ඨාරදෙක හා අලුතින් ඉදිකළ කුළුණු සහිත ඝන්ඨාරය

හැටන් පාරේ පාලම් තනවමින් පඩිපේළි නිර්මාණය කරමින් මෑත ඉතිහාසයේ ඊට මුල් වූයේ මොරොත්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ය. පොල් මටොලු, කොලපු යොදා එකවර නොදැල්වෙන අරටු සහිත ලී යොදා පන්දම් තනා ඒවා දැල්වීමෙන් කලක් ආලෝකය ලබාගෙන තිබුණි. මී ඉටි, නා ඉටි, කැකුණ ඉටි, යකහලුව ඉටි ආදී කරුවල මූකලානේ පැවැති වනයේ ගස්වල ඉටිවලින් ඒ දල්වන ඉටිපන්දම නිර්මාණය කර තිබේ.

විදුලි ආලෝකය නොමැති එකල එබඳු පන්දමක් දල්වා ආලෝකය ලබාදීමේ රාජකාරී පුරාණයේ පැවතිණි. එබඳු දුෂ්කර ගමනක යෙදෙන විට මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි යුගයේ දී විදුලි ආලෝකය ද ලැබිණි.

ඉන්දියානු සමාගමක් ජල විදුලිය නිපදවීමට පැමිණුන ද විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදීමෙන් එය ඉටු නොවුණි. අනතුරුව එවකට අමාත්‍යවරයෙකුව සිටි සර් ජෝන් කොතලාවල මහතා එම කර්තව්‍යය භාර ගෙන ඇත. එසේ බාර ගෙන විදුලිබලාගාරය ආරම්භ කිරීමට සූදානම් විය. විවිධ කරදර පැමිණි විට සමන්දෙවියන්ට බාර විය. සමන් දෙවියන්ගේ පිහිටෙන් විදුලිබලාගාරය සාර්ථක වුවහොත් එහි ආලෝකය සියලු මාර්ගවලට ශ්‍රී පාද පත්මය පවතින තුරු එමගින් ලබාදෙන බව එම බාරයයි. කිසිදු කරදරවලින් තොරව විමල සුරෙන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් එය නිම කරන්නට හැකිවිය. එම බාරය ඔප්පු කිරීමෙන් අදටත් ශ්‍රී පාදස්ථානයට විදුලි ආලෝකය පවතින්නේ සර් ජෝන් කොතලාවල මහතාගේ එම ක්‍රියාව නිසයි.

ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ යුගයේදී ශ්‍රී පාදස්ථානයේ ඉහළ සිට පහළ දක්වා ජලනල පද්ධතියක් ලබා දුන්හ. විදුලිය අඩුපාඩු නොමැතිව දැනටත් සිදුවේ. ජලනල පද්ධතිය ඉතා දුර්වලව ඇති හෙයින් ප්‍රතිසංස්කරණය කිරීමට කාලය උදා වී ඇති බව ලක් රජය වෙත යෝජනාවක් කිරීමට ද අදහස් කර ඇත. ජලනල පද්ධතියට වසර හැටකට ආසන්න කාලයක් වේ.

පැරැණි පහන හා අලුතින් ඉදිකළ පහන් ගෙය සහිත ශෛලමය දොළොස්මහේ පහන, කොප්පරා පහන

ධම්මානන්ද නාහිමි යුගයේ දී තේවා කටයුතු, සංඝෝපස්ථාන ආරක්ෂක ආදී කට්ටල් බිහි කළේ ය. විහාරය, දේවාලය, නව නිර්මාණයද බිහි විය. ඒ යුගය දීප්තිමත් යුගයක් ලෙස සැලකිය හැකිය. අනතුරුව බටුගෙදර යසස්සි නාහිමියෝ පත්වූහ. අනතුරුව පත් වූ හඳපාන්ගොඩ විමල නාහිමියෝ නව ගොඩනැගිලි ඉදිකරවූහ.

උන්වහන්සේ සිටි යුගයේ දී අපේ දායක මහත්මයකු වන තිලක් මාරපන ඇමැතිතුමා අමාත්‍ය ධූරයට පත්ව තමාගෙන් කළ යුත්තේ කුමක්දැයි ඇසූ විට ඔබතුමා මුළු ලෝකයේම පූජාවට පත් වූ ශ්‍රී පාදස්ථානයට මාර්ගයක් ලෙස තිබෙන පලාබත්ගල මාර්ගය දුර්වල හා අපිළිවෙළ බැවින් ඒ ගැන අවධානය යොමු කරන්නැයි කීය. එකල ලයනල් බලගල්ල හමුදාපතිතුමන් ලවා පලා බත්ගල මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ කළා. පඩි පහළොස්දහසකට ආසන්නව එය නිර්මාණය කර පහසුම මාර්ගයක් බවට පත්කර තිබේ. අක්‍රිය වී තිබූ ජල මෝටරයක්ද එතුමා නැවත ලබාදුන්හ.තුනුරුවන් වෙත අලියෙක් පූජා කරන බව දන්වා ‘චූල’ නමැති හස්තියා ද පූජා කළේ ය.

පන්සල, පල්ලිය, පාසල, කෝවිල, දේවාලය ආදියෙහි සංඥා නිකුත් කිරීමට ‘ඝන්ඨාරය’ සීනුව තිබේ. පූජනීය ඝන්ඨාරයක් බවට පත් වූයේ ශ්‍රී පාදස්ථානයේ ඝන්ඨාරය නිසයි. මල් පහන් පූජාවට මෙන් ඊට ගාථාවක්ද තිබේ. යන වාර ගණනට ඝන්ඨාර නාද කළේ අපේ පැරැන්නෝ දෙව් ලොවට ඇසෙන්නයි. මෙසේ යන වාර ගණනට ඝන්ඨාරය නාද කරන එකම ස්ථානය ශ්‍රී පාදස්ථානය පමණයි. ටින් එකක් නොව ඊට ටොන් එකක් තිබිය යුතුයි යැයි හැඟීම ඇතිවීම නිසා පෑනකින් සැලැස්ම හදා උඩට ඇතුන් දෙදෙනෙක් පේකඩ, ලීස්තර ආදියද සටහන් කර ඝන්ඨාරය නිර්මාණය කළහ. එහිදී විවිධ අභූත අසත්‍ය චෝදනා කළත් ලේඛනගත දේ කාටවත් වෙනස් කළ නොහැකි ය. තිබූ දේ තිබෙද්දී අලුතෙන් යමක් නිර්මාණය කළ හැකියි. අතීතයේ සිරිපාදෙ දොළොස්මහේ පහනෙන් තෙල් ටිකක් ගාල සුවපත් වුනා යැයි ලොකු විශ්වාසයක් පවතී. ලංකාවේ තෙල් බේත් හදපු අය ආනුභාවය වැඩිවෙන්න ඒ පහනට පූජා කළේ ය. එසේ තෙල් කැකෑරී වෙනත් තෙලක් බවට එය පත්වේ. ඒකට ඉඩකඩ මදිනිසා පැල්මඩුලු රජ මහා විහාරයේ තිබෙන මැටි කොරහේ ආකෘතියට දොළොස් මහේ පහනක් ගලෙන් නිර්මාණය කළේය. 1938 දී පූජා කරපු පහන තිබෙද්දී නව පහනක් නිර්මාණය කළේ ය.එය මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණ වූවකි. මහ විජයබාහු රජතුමා පැරැණි සලපතල මළුව නිර්මාණය කර තිබෙන්නේ කළුගලෙනි. තිබූ ටෙරාසො වෙනුවට ගල් අතුරා නිසි අයුරෙන් සලපතල මළුවද සකස් කළේ ය.

ප්‍රධාන හෙදවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරයෙකු සමඟ වෛද්‍ය මධ්‍යස්ථානයක්ද බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ඇති කිරීමට හැකිවිය. පෙරවරු 6, පෙරවරු 10 සහ සවස 6 ට රාත්‍රී 10 ට සතර වේලාවකට තේවාවන් පැවැත්වීම ආදියද පිළියෙල කරවීය. බදාදා, සෙනසුරාදා දිනවල සවස 4 ට කෙම්මුර පූජාවද පැවැත්වේ. ඉතා පිරිසුදුව චාරිත්‍රානුකූලව ඒවා පැවැත්වේ. ඒ සිරිත පවත්වාගෙන එන අතර භගවාලෙනෙහි පිහිටි නොසිදෙන ගල් ළිඳක් පවතී. කලින් ඒ ගැන අසා තිබූ නිසා ද ඒ ළිඳෙන් පැන් ලබාගෙන පත්මය සේදීමට කටයුතු යොදා තිබේ. රෙදි වර්ග, පඬුරු බැතිමතුන් පත්මය වෙත පූජා කරනු ලැබේ. එබඳු ලෙස පූජා පැවැත්වීමට පෙළඹී ඇත්තේ බැතිමතුන් මිස අපගේ ඉල්ලීමට නොවන බවද සිහිපත් කළ යුතු වේ.

අකුණු සන්නාහ දෙකක් ඉදිකරවීමද වැදගත්ය. ආලෝක පද්ධතියද ප්‍රතිසංස්කරණය කැරවීය. මොරොන්තුඩුවේ නාහිමියන්ගෙන් පසු ස්ථානයේ දියුණුවට කළ සේවය පිළිබඳ සතුටු විය හැකි ය.

දානය වෙලාවට වැඩමවන සියලු ස්වාමීන් වහන්සේලාට දානය පිළියෙල කරදෙනු ලැබේ. මා ආරම්භ කළ දන්සැලද අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. පලාබත්ගල පාරේ අම්බලම් සියල්ල ඉදිකරවීය. ඉදිකටුපානේ අම්බලම ද බැංකුව අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරවීය. මහජන බැංකුව අනුග්‍රහයෙන් ජල ටැංකි යොදා පානීය ජලය ලබා දෙනු ලැබේ. වැසිකිලිද තැනවීය.

ලැබෙන පිරිකර පන්සල්වලට බෙදා දෙනු ලැබේ. නල්ලතන්නිය ප්‍රදේශයේ සිංහල, දෙමළ දහම්පාසල්වලට, කෝවිල්වලට, පන්සල්වලට ආධාර කරනු ලැබේ. සිරිත් චාරිත්‍ර උල්ලංඝනය නොකර සුබ සාධක සේවාවන්ද ඇතිකර තිබේ. සේවය නොඉවසන අය විවිධ චෝදනා කළත් ඒ ගැන කම්පාවටද පත් නොවේ.

අපගේ දායක මහත්මයෙකු වන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ද සහායෙන් මැදින් මහේ පින්කම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සජීව ආගමික විකාශනයෙන් දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]