UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ක්ෂේම භූමියකට පහසුවෙන් යා හැකි මාර්ගයකි

ක්ෂේම භූමියකට පහසුවෙන් යා හැකි මාර්ගයකි

උඳුවප් පුන් පොහෝ දින අප සාකච්ඡා කළ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි සඳහන් වූ මෝලිය ඵග්ගුන තෙරුන්ගේ ක්‍රියාපිළිවෙත ගැන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ භික්ෂුවක් සඳහන් කළ පසුව, භාග්‍යවතුන් වහන්සේ වෙනත් භික්ෂූන් වහන්සේ නමක් යවා මෝලිය ඵග්ගුන භික්ෂුවට තමා හමුවට පැමිණෙන්නට යැයි පණිවිඩයක් යවන ලද අතර, මෝලිය ඵග්ගුන භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වන්දනා කර එකත්පසෙක වාඩිවුණා.

තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මෝලිය ඵග්ගුන තෙරුන්ට ආමන්ත්‍රණය කළා. මෝලිය ඵග්ගුන තෙරුන් ඔබ භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතුව කටයුතු කරනවා යැයි පවසන්නේ ඇත්තද? එපමණක් නොවෙයි, ඔබ ඒ ආකාරයෙන් භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතුව සිටින අවස්ථාවක දී යම් කිසි වෙනත් භික්ෂුවක් අර භික්ෂුණීන් ඉදිරියේ ඔබට වරද පෙන්වාදුන් විට ඔබට කේන්ති එනවාද? නොසතුටු සිත් ඇතිව ඔබ වාසය කරනවාද? එලෙසම වරද පෙන්වා දෙන භික්ෂුව සමඟ කළහ ඇති කර ගන්නවාද? යම් ආකාරයකින් යම් කිසි භික්ෂුවක් අර භික්ෂුණීන් ඉදිරියේ ඔබට දොස් කිව්වොත් එම භික්ෂුණීන්ටත් ඔබට සේම කේන්ති එනවාද? නොසතුටු සිත් ඇතිව වාසය කරනවාද? කළහ ඇති කර ගන්නවාද?

ඵග්ගුන භික්ෂුව එසේ නම් ඔබ භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතුව සිටිනවා කියන කාරණය සත්‍යයක් නේද? මෝලිය ඵග්ගුන තෙරුන් වහන්සේ සඳහන් කළේ එය එසේය ස්වාමිනි, යන පිළිතුරයි.

තථාගත බුදුරජාණන් වහන්සේ මින් අනතුරුව මෝලිය ඵග්ගුන තෙරුන් වහන්සේට දේශනා කළ අදහස් පෙළ ඔබ අප සෑම කෙනෙකුට ම ධර්ම මාර්ගයට එකතුකොටගෙන සිතා බැලිය යුතු දහම් පෙළකුයි. ඵග්ගුන භික්ෂුව ඔබ ගිහි ජීවිතය අත්හැර ශ්‍රද්ධාවෙන් ම පැවිදි වූ කෙනෙක් නේද? ‘එසේය භාග්‍යවතුන් වහන්ස’, ඵග්ගුන ශ්‍රද්ධාවෙන් ගිහිගෙය අත්හැර සසුන්ගත වූ කුල පුත්‍රයෙක් වූ ඔබට භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙනවා කියන කරුණ ගැලපෙන දෙයක් නම් නොවේ. ඒ නිසා ඵග්ගුන යම් ආකාරයකින් යම් කිසි කෙනෙක් ඔබ ඉදිරියේ එම භික්ෂුණීන්ට දොස් කී විට ඔබ තුළ එම භික්ෂුණීන් ගැන යම් කිසි බැඳීමක් හෝ බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් එම සිතිවිලි දුරුකර දමන්න ඕන. ඵග්ගුන ඔබ ඒ ගැන මේ ආකාරයෙන් හික්මෙන්න. එනම් මගේ සිත වෙනස් කර ගන්නෙ නැහැ. මම පාපී වචන පවසන්නේ නැහැ. හිතානුකම්පීව වැඩ සිටිනවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රීයෙන් යුතුව සිටිනවා, කියා ඔබ ස්වයං සංවරයෙහි හික්මෙන්න.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මෙම අනුශාසනය අප සියලු දෙනාමත් සිහිපත් කළ යුතුයි. ලෞකික ජීවිතවල ඔවුනොවුන් කෙරෙහි සම්මුතියෙන් හෝ බැඳීම් පවතින්නට පුළුවනි. නිදසුනක් ලෙස මවුපියෝ, දරුවෝ, ස්වාමි, භාර්යා, සොහොයුරු සොහොයුරියන්, කල්‍යාණ මිත්‍රයන් හැටියටයි. එනමුත් ධර්ම මාර්ගයේ දී එම සම්මුති බැඳීම් කිසිවිටකවත් නීවරණ ධර්මයන් බවට පත් කර නොගත යුතුයි.

එනම් කාමච්ඡන්ද, ව්‍යාපාදය ආදී වශයෙනුයි. එවැනි බැඳීම් තද බැඳීම් බවට පත්වීම නිසා ධර්ම මාර්ගයට හානි වෙනවා. එහි මතුකොට දක්වන ලද පරමාර්ථ දහම් කතාව ඔබට පැහැදිලියි. ලෞකික ජීවිතය තුළ මොනතරම් සමීපව කටයුතු සිදු කළත් මවුපියෝ, දරුවෝ, ස්වාමිභාර්යා ආදී ලෙසින් තමාවත් තමාට අයිති නැති බව භාග්‍යවතුන් වහන්සේ මැනවින් දේශනා කොට වදාළා.

ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත ‘මම කියා හඳුන්වන මේ ශරීර පුංජය නිරන්තරයෙන් ම අනිත්‍ය ස්වභාවයට, දුක් ස්වභාවයට පත්වෙමින් පවතින්නේ, එනම් වෙනස්වීම, නිරන්තරයෙන් ම අනිත්‍ය ස්වභාවයට පත්වීම, ඒ නිසා ම දුක හට ගැනීමයි. තමාවත් එනම් තමන්ගේ සිතිවිලිවත් මේ සිත පවත්වන්නට උපකාර වූ කය නම් වූ පුංජයවත් තමන්ට අවශ්‍ය ආකාරයෙන් පවතින්නේ නැතිනම්, සිත්වලින් මොනතරම් සමීප වුණත්, බැඳීම් ඇතිකර ගැනීමෙන් සිදු වන්නේ ශෝකයක්, දුකක්, පමණක්මයි. එයට හේතුව අප බැඳීම් ඇතිකර ගන්න ඔබ, මම නම් වූ ඒ වස්තු සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් නිසයි. අප සියලු දෙනාම මෙන් ම සියලු වස්තූන් හට ගත්තා මෙන් ම බිඳී නැතිවෙලා යනවා. ඒ පිළිබඳව සිහි නොකිරීමෙන් හා සිතෙහි සමාධිය බැහැර කර ගැනීමෙන් සිදුවෙන්නෙ පරමාර්ථ ධර්මය අමතකව සම්මුතියේ පමණක් ජීවිතය පවත්වන්නට සිත පුරුදු වීමයි.

මෙයින් ඇතිවන අනිටු විපාකය නම්, සංඛත හෙවත් සංඛාර වස්තු හට ගෙන බිඳී වෙනස්ව යන විට සම්මුතියේ පමණක් සිත පවත්වා ගන්නා ඇත්තන්ගෙ සිත්වලට දුක ඉපදීමයි. ශෝකය ඉපදීමයි. එය එතැනින් නතර වෙන්නෙ නැහැ, හඬා වැළපීම්, සියදිවි නසාගැනීම් හෝ අන් අයට කරදර කිරීම දක්වාම දිගු වෙන්නට පුළුවනි.

මේ නිසා නුවණින් කල්පනා කරන, එනම් විදර්ශනා නුවණින් කල්පනා කරන ගිහි හෝ පැවිදි හෝ වේවා සියලු ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ සම්මුතියේ කොපමණ බැඳීම් යන අදහසින් කටයුතු කළත් පරමාර්ථ ධර්මය මනාව වටහාගෙන දහම් මඟට බාධාවන ආකාරයට සිත පවත්වා ගන්නෙ නැහැ. එයයි භාග්‍යවතුන් වහන්සේ මෝලිය ඵග්ගුන භික්ෂුවට මේ සඳහන් කරන්නේ.

තථාගත භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ, ධර්ම මාර්ගයෙන් බැහැරවන කෙනෙකුට ධර්ම මාර්ගය නැවතත් මතු කර පෙන්වන විට ඒ ගැන නොසතුටු විය යුතුවන්නේ නැහැ. අමනාප විය යුතු වන්නේ නැහැ. වරද පෙන්වා දෙන අය සමඟ කළහ කරගත යුතු වන්නේ නැහැ. ඒ අය කල්‍යාණවන්තයන් හැටියට පිළිඅරගෙන ධර්ම මාර්ගයේ පවතින මගේ සිත වෙනස් කරගන්නෙ නැහැ කියල හික්මෙන්න ඕනෙ. මම කිසිවිටකවත් පාපී වචන කියන්නෙ නැහැ, කියල අවබෝධයෙන් යුතුව තමාම හික්මීම ඇති කර ගන්න ඕනෙ. ඒ වගේ ම හිතානුකම්පීව කටයුතු කරන්නට ඕනෙ. ද්වේෂයෙන් තොරව, මම මෛත්‍රියෙන් කටයුතු කරනවා කියා දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුයි. එයයි සේඛ මාර්ගය වන්නේ. මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ මඟ වෙන්නෙ.

භාග්‍යවතුන් වහන්සේ දේශනාවේ පැහැදිලි කළ අයුරින් මේ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මය විවෘත වූ තරමට බබළනවා. ඒ ධර්ම මාර්ගය තුළ හික්මෙන්නට ඕනෙ, ගමන් කරන්නට ඕනෙ. මේ ධර්ම මාර්ගය තුළ ශාස්තෘවරයාණන් වහන්සේගේ වචනයට අනුව ගමන් කළොත් ඒ මාර්ගය ක්ෂේම භූමියක් බවට, මාර්ගයක් බවට පත්වෙනවාමයි. ක්ෂේම භූමියක් කියා කියන්නෙ ජීවත්වන විට සැකයෙන්, බියෙන් තොරව පහසු විහරණය කරන්නට පුළුවන් ස්ථානයටයි. භූමියටයි. ධර්මයේ දී ක්ෂේම භූමියක් වෙන්නෙ ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, බියක් ඇති නොවන මාර්ගයමයි.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ ආකාරයෙන් ම අනුගමනය කළොත් අපේ ජීවන මඟ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් බියට පත් කරන මාර්ගයක් බවට පත්වන්නේ නැහැ. සුවසේ ධර්මයෙන් ලද ප්‍රීතියෙන් යුක්තවම ඒ මාර්ගයේ ගමන් කළ හැකිවේ.

ධර්මයේ සඳහන් කළේ, “ඛේමෝ මග්ගෝ, සෝවත්ථිකො ප්‍රීතිගමනියෝ” යනුවෙනුයි. ක්ෂේමභූමියක සුව සේ ප්‍රීතියෙන් යා හැකි ගමනක් හැටියටයි. ඔබත්, අපත් මෝලිය ඵග්ගුන තෙරුන්ගේ මේ කතාව ජීවිතවලට එකතු කරගත යුත්තේ අන්න ඒ ආකාරයෙනුයි.

වර්තමානයේ ආචාර්ය ස්වාමීන් වහන්සේ නමක් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට අවවාද උපදෙස් දෙන විට වචන මාත්‍රයකින් හෝ යමක් අමනාප සිතින් නො පවසා, නාම මාත්‍රයකින් හෝ අමනාප දෑසින් ඒ දෙස නොබලා හරියට බිම දමා තිබෙන, පය පිසදමන පා පිස්නාවක් සේ අනතිමානී ගුණයෙන් යුක්තව එයට ඇහුම්කන් දිය යුතු වෙනවා. තමා කෙරේ වරදක් පවතින්නේ නම් එය සකසා ගත යුතු වෙනවා. තමා කෙරේ වරදක් නොපවතින්නේ නම් එහෙත් එයත් සංසුන් වූ මනසකින් ගුරුවරයා කෙරෙහි අනතිමානී ගුණයෙන් යුක්තව නිශ්ශබ්දව අසා වැඩ සිටිය යුතුමයි.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]