UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙදියවල දේවසුමන නා හිමි

දෙදියවල දේවසුමන නා හිමි

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන සිය නිවහන කර ගනිමින් සුවිසල් ලෝක, ශාසනික, ආගමික මෙහෙවරක නියැළුණු දෙදියවල දේවසුමනාභිධාන කළුතර තොටමුණේ උපප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේ මීට වසරකට පමණ ඉහත දී වසර 101 ක් පමණ සසුන් වැඩ වඩා කීර්ති ශේෂභාවෝපගත වූ ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය නිමිත්තෙනි.

කළුතර නගරයට ආසන්නව පිහිටි දෙදියවල ග්‍රාමවරයෙහි 1914 පෙබරවාරි මස 25 දින උපත ලැබූ උන්වහන්සේ පුරාකෘත පුණ්‍ය මහිමය විසින් මෙහෙය වන ලදුව ධර්මවිජය පිරිවෙනට වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීම සඳහා යොමු වූහ. වෙදකමට වඩා කසාවතට දැඩිව ඇලුම් කළ උන්වහන්සේ වසර 1936 දී කළුතර පානදුරා දෙතොටමුණේ ප්‍රධාන සංඝනායක ආඳාවල ශ්‍රී සාරානන්දාභිධාන නාහිමිපාණන් යටතෙහි පැවිදි බිමට ඇතුළත් වූහ. උන්වහන්සේගේ සෙවණෙහි උගත මනා බණදහම මෙන්ම ශික්ෂණය ද මැනවින් ලද දේවසුමන නාහිමිපාණෝ සිය පැවිදි දිවිය පුරාවට ම පිළිවෙතින් සරු වූහ. වසර 1944 දී උපසම්පදාව ලැබූ උන්වහන්සේ සිය නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1945 සිට පුරා දසක හතක් විහාරාධිපතීන් වහන්සේ ලෙසින් පිරිවෙන් විහාරස්ථානයෙහි අභිවෘද්ධිය පිණිස කටයුතු කළහ.

කළුතර නගරයෙහි කුඩා කඳු ගැටයක් මුදුනෙහි පිහිටි පෞරාණික විහාරස්ථානයක් වන ධර්මවිජය පිරිවෙන අවම පහසුකම් මධ්‍යයෙහි වුවද දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේට හැකි වූයේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි. ශරීර ප්‍රමාණයෙන් උන්වහන්සේ කුඩා වුවද උන්වහන්සේ කළ කාර්යයන් කුඩා නොවේ. විහාරස්ථානයට නිශ්චිත ආදායම් මාර්ගයක් නොවුවද මනා අරපරෙස්සමින් කටයුතු කළ උන්වහන්සේ සිය දායක කාරකාදීන්ගේ ද සහයෝගයෙන් යුතුව විහාරස්ථානය සකළ විහාරාංගයන්ගෙන් හෙබි මනරම් වූ ද මහත් ආගමික හා භාෂා ශාස්ත්‍ර මෙහෙවරක් සිදුකරන්නා වූ ද පිරිවෙන් විහාරස්ථානයක් බවට පත් කිරීමට හැකි විය.

ජාතියට, ශාසනයට මනා මඟ පෙන්වීමක් සිදුකළ වියත් යතිවරයෙකු වශයෙන් උන්වහන්සේ තුළ පැවති මනා පෞරුෂත්වය ද අප සැමට මහාආදර්ශයකි. කළුතර නගරය ආශි‍්‍රතව සිදුකළ සියලු ජාතික ආගමික මෙහෙයන්හි දී නිතැතින් ම මූලාසනය හිමි වූ උන්වහන්සේ ප්‍රදේශයේ මහාසංඝරත්නය අතරෙහි ද බහුමාන මධ්‍යයෙහි වාසය කළ උන්වහන්සේගේ ශාසනික සේවාවන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහාසංඝසභාවේ ද ඇගයීමට ලක් විය. ඒ අනුව උන්වහන්සේට ‘සද්ධර්ම කීර්ති ශ්‍රී’ යන ගෞරව වර්ෂ 1971 දී පිරිනැමිණි. තවදුරටත් ශාසනික කාර්යයන්හි උද්‍යෝගය ඇති කරනු වස් 1976 දී ‘සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ජිනවරවංස මංගල ධර්මකීර්ති ශ්‍රී සාරානන්ද’ ගෞරව නාම සම්මුතිය සහිතව කළුතර තොටමුණේ උපප්‍රධාන සංඝනායක පදවියට පත් කරන ලදහ. එකී සියලු ශාසනික තනතුරු තමන් වහන්සේගේ බැබළීමට ආභරණයක් කර නොගත් උන්වහන්සේ සිය ශාසනික කාර්යභාරය තව තවත් මැනවින් සිදුකරගෙන යෑමට ඒ සියල්ල ශක්තියක් කර ගත්හ. දේවසුමන ශ්‍රී නාමය ගිහි පැවිදි සුධීජනයා අතරෙහි නිතැතින්ම ඇගයීමට ලක් වූයේද එහෙයිනි.

දේවසුමන නාහිමිපාණන් වෙතින් විද්‍යාමාන වූ සුවිශේෂී ගුණාංගයක් වූයේ දුරදක්නා නුවණයි. තමන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වන විට විහාරස්ථානයට රථයකින් ප්‍රවේශ විය හැකි මාර්ගයක් හෝ නොවීය. එබඳු තත්ත්වයකින් පැවති විහාරස්ථානය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කළා පමණක් නොව සියවස් ගණනාවක් පුරාවට කිසිදු අර්බුදයකින් තොරව සියලු කටයුතු මැනවින් පවත්වාගෙන යෑමට හැකි අයුරින් මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩනංවන ලද්දේ ‘දෙදියවල ශ්‍රී දේවසුමන අරමුදල’ රුපියල් පනස් ලක්ෂයක මුදලක් යොදවා අරඹමිනි. එසේ ම සිය ශිෂ්‍යවරයන් සිය ආචාර්යයන් වහන්සේගේද විද්‍යස්ථානය වූ ලක්දිව සුපතල කීර්තිමත් විද්‍යස්ථානයක් වන විද්‍යෝදය පිරිවෙනට සම්බන්ධ කරමින් මනා උසස් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළහ. “කළුතර බෞද්ධ පාඨශාලාව“ නමින් පවත්වාගෙන ආ ඉරිදා දහම් පාසල ‘ශ්‍රී දේවසුමන දහම් පාසල’ නමින් පුනර්ජීවනයට පත්කොට ප්‍රදේශවාසීන්ගේ දුවාදරුවන් දෑහිතකාමි ගුණදහමින් සුපෝෂිත වූවන් පිරිසක් බවට පත් කිරීමට මඟ පෙන්වූහ.

සිය වයෝවෘද්ධත්වයෙහි තම ශිෂ්‍යවරයන් වෙතින් සියලු උපස්ථාන ලබන්නට තරම් වාසනාවන්ත වූ දේවසුමන නාහිමිපාණන් වහන්සේ සයනයට සීමා වන තෙක්ම පිරිවෙනෙහි සියලු කාර්යයන් සම්බන්ධිත කටයුතු කළහ. සිය දිවිගමනේ අවසාන වසර කිහිපය තුළ වඩාත් කායිකව දුර්වල වූ උන්වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය, සංස්කෘත භාෂාධ්‍යයනාංශයේ අංශාධිපති, නෙලුවේ සුමනවංස හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන්ගේ ආදර ගෞරව මැද සිය අවසන් කාලය ගත කළහ. බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයටම සියලු සංස්කාර ධර්මයන්හි පවත්නා අනිත්‍යතාව මොනවට පසක් කරමින් නාහිමිපාණන් වහන්සේ වසර 2015 දෙසැම්බර් මස 06 වැනි දින උදෑසන සුගති පරායණ වූ සේක. කාර්ය ශූරත්වය, අප්‍රතිහත ධෛර්යය, දුරදක්නා නුවණ ආදී ගුණයන්හි ප්‍රතිමූර්තියක් වූ මහත් ලෝක ශාසනික, ජාතික, ආගමික මෙහෙවරක නියැලී අමරණීයත්වයෙන් කීර්ති ශේෂභාවෝපගත නාහිමිපාණන්ගේ අත්‍යුදාර ගුණකඳ සමරමින් උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ආඳාවල දේවසිරි නාහිමිපාණන් හා ධර්මවිජය පිරිවෙනෙහි වත්මන් විහාරාධිපති මහාචාර්ය නෙලුවේ සුමනවංස හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද, දායක පිනැතියන් ද එක්ව 2016 දෙසැම්බර් 11 වන දින ගුණානුස්මරණ පින්කම සිදු කෙරිණි. ගුරුදේවයන් වහන්සේට ජාති ජරා ව්‍යාධි මරණ විරහිත ශාන්ත සුන්දර අමා මහා නිවනෙහි දොරටු විවර වේවායි ප්‍රාර්ථනා කරමි.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]