UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමයේ සියවස් සැමරුම

වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමයේ සියවස් සැමරුම

වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමය

මෙරට ඉංගී‍්‍රසි ආණ්ඩුකාර සමයේ එඩ්වඩ් බාන්ස් විසින් කොළඹ නවකෝරළයේ සහ නවතොටමුණේ නායක පදවියට පිලානේ බුද්ධරක්ඛිත හිමියන් පත්කළ අතර ඒ වන විට තමන් වයෝවෘද්ධව වැඩ සිටි හෙයින් තත් පදවිය සඳහා උන්වහන්සේගේ ශිෂ්‍ය මලිගස්පේ මංගල හිමියන් යෝජනා කළ හෙයින් එපරිද්දෙන්ම එය සිදු වී ඇත. 1832 දී පිලානේ බුද්ධරක්ඛිත නාහිමියෝ අපවත් වූහ. මලිගස්පේ මංගල නාහිමියන්ගේ 5 වන ශිෂ්‍යයා වනුයේ පාමංකඩ ශ්‍රී මහා විහාරයේ නිර්මාතෘවර වූ ගණාචාර්ය බද්දේගම සරණංකර නාහිමියන්ය. උන්වහන්සේ ඥානවෘද්ධ, තපෝවෘද්ධ, ශීලවෘද්ධ යතිවරයෙක් ලෙස සම්භාවනාවට පත් වන අතර, උන්වහන්සේ කෙරෙහි පැහැදුණු බොහෝ සැදැහැවතුන් විහාරස්ථාන ආරම්භ කිරීමට ඒ ඒ පළාත්වලින් ඉඩකඩම් ද පූජා කොට ඇත.

බද්දේගම සරණංකර හිමියන් පිලාන ශ්‍රී මහා විහාරයේ දී මැලෑගොඩ නාහිමියන්ගේ ශිෂ්‍යභාවයෙන් පැවිදිවී ඇති අතර, පසුව උන්වහන්සේගේ සහ මලිගස්පේ හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උපසම්පදාව ලබා ඇත. මේ හේතුවෙන් මැලෑගොඩ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පිලාන ශ්‍රී මහා විහාරයේ අධිපතිත්වයට පත්වූයේ බද්දේගම සරණංකර හිමියන්ගේ සහ උන්දුරුගොඩ ධීරානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙක් වූ වැල්ලම්පිටියේ සීලානන්ද හිමියෝ ය. උන්වහන්සේට මීපේ පේමරතන, මීපේ සද්ධානන්ද, වතවන ධර්මාරාම සහ මීපේ ජිනරතන යනුවෙන් ශිෂ්‍යයන් සතර නමක් සිට ඇත. ඉන් මීපේ පේමරතන හිමියන් වැල්ලම්පිටියේ සීලානන්ද හිමියන්ගේ ඇවෑමෙන් පසු පිලාන ශ්‍රී මහා විහාරාධිපතිත්වයට පත් වූ අතර, උන්වහන්සේගේ ඇවෑමෙන් ඒ හිමියන්ට ශිෂ්‍ය බාලාදීන් නොවූයෙන් වතවන ධම්මාරාම හිමියන් පිලාන ශ්‍රී මහා විහාරාධිපතිත්වයට පත් කෙරිණි. උන්වහන්සේ වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමය ආරම්භ කොට එහි වැඩ සිටි හෙයින් උන්වහන්සේ වෙනුවෙන් ස්වකීය කණිෂ්ඨ සහෝදර මීපේ ජිනරතන හිමියන් එම වගකීම් දරනු ලැබීය.

වතවන ධම්මාරාමාභිධාන කොළඹ පළාතේ ප්‍රධාන සංඝ නායක නාහිමියන් වතවන සෝමානන්ද මාහිමියන්ගේ ද ශිෂ්‍යරත්නයක් වන අතර උන්වහන්සේගේ ශිෂ්‍යරත්නයන් වනුයේ වර්තමානයේ වැල්ලවත්ත සද්ධර්මාරාමයේ අධිපතිත්වය උසුලන කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති වතවන සිරිසුමන හිමිපාණන් සහ දැනට ඇමෙරිකාවේ වැඩ වසන මීපේ ධම්මාලෝක හිමියන් ය.


විහාරාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන්...

කොළඹ වැල්ලවත්තේ ශ්‍රී සද්ධර්මාරාමයෙහි සියවස් පූර්ණ මංගලෝත්සව අවස්ථාවෙහි ඒ වෙනුවෙන් ශුභාශිර්වාද පළ කොට සිටිනුයේ ඉමහත් සොම්නසිනි. අස්මදාචාර්යෝත්තම මංගල ධර්මකීර්ති ශ්‍රී සරණංකර වතවන ශ්‍රී ධර්මාරාමාභිධාන කොළඹ පළාතේ ප්‍රධාන සංඝ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මෙයට සියවසකට ඉහතදී බෝධි අංකුරයක් රෝපණය කිරීමෙන් ආරම්භ කළ මෙම විහාරස්ථානය මේ වන විට සකලාංග පරිපූර්ණ වූ දුටුවන්ගේ චිත්තප්‍රසාදය ඇතිවන මහානීය පුණ්‍යභූමියක් බවට පත්ව ඇති බැව් නිහතමානීව සඳහන් කරමි.

සියවස් සපිරි ශ්‍රී සද්ධර්මාරාමය පුණ්‍යභූමියක් වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක්, අසරණ සරණ, පරෝපකාර ආදී සමාජසේවා සළසන කේන්ද්‍රස්ථානයක් වශයෙන්ද ගෙවුණු සියවස තුළ කීර්ති නාමයක් සනිටුහන් කොට ඇත.

ගෙවුණු සියවසක වකවානුවෙහි විහාරස්ථානයෙහි වැඩ සිටිමින් ද පින්කම් සඳහා වැඩමවමින් ද දායක කාරකාදීන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරදීමට කැප වූ සහස්‍රාධික මහා සංඝරත්නය ද කෘතගුණ පූර්වකව සිහිපත් කොට සිටිමි.

 


පාමංකඩ ශ්‍රී මහා විහාරයේ ආශිර්වාදය

1916 වර්ෂයේ ඇරඹි මෙම විහාරස්ථානයේ නිර්මාතෘවරයාණෝ වනුයේ අපවත් වී වදාළ කොළඹ පළාතේ ප්‍රධාන සංඝ නායක වතවන ශ්‍රී ධම්මාරාමාභිධාන නා හිමිපාණෝ ය. පාමංකඩ ශ්‍රී මහා විහාරීය සඟ පරපුරට අයත් උන්වහන්සේ අල්පේච්ඡතාව, අනතීමානී බව ආදී ගුණයන්ගෙන් පොහොසත්ව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මය කෙරෙහි ඇලී ඊට නැඹුරුව වැඩ සිටි මහ තෙර නමකි.

කුඩා භූමි භාගයක ස්ථාපනය කරනු ලැබූ සද්ධම්මාරාමය අද වන විට සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත රමණීය විහාරස්ථානයක් බවට පත්ව ඇත. ධර්මාරාම නාහිමියන්ගේ ඇවෑමෙන් විහාරාධිපති ධූරයට පත් වූ තත්ශිෂ්‍ය කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති වතවන සිරිසුමන ස්ථවිරයන් නවකම්වලින් විහාරස්ථානය දැකුම්කළු කොට ඇත. ගිහි පැවිදි උභය පාර්ශ්වයෙහිම චිත්තාරාධනය කිරීමෙහිලා සමත් උන්වහන්සේ සද්ධර්මාරාමය කේන්ද්‍ර කරගනිමින් අධ්‍යාපන කේෂත්‍රයෙහි ප්‍රවීණ, ප්‍රශස්ථ සම්භාවනීය පිරිස් ඒකරාශී කොටගෙන කාලීන යුග මෙහෙවරක ද නිරත වෙති. හෙළ නවකතාකරු ඩබ්ලියු.ඒ. සිල්වා පදනම එහි එක් අංශයක් වන අතර ඉදිරියේ දී ඒ තුළින් සිංහල භාෂාධ්‍යයන කේෂත්‍රයට ඉමහත් ආලෝකයක් සපයනු ඇත.

 

 


වැල්ලවත්තේ ශ්‍රී සද්ධර්මාරාම නිර්මාතෘ වතවන ධම්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ

අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයෙහි සඳහන් ගුණයන්ගෙන් පිරිපුන් සංඝශෝභන ගුණධාරී මහායතිවරයාණන් වහන්සේ නමක ලෙස වැල්ලවත්තේ ශ්‍රී සද්ධර්මාරාමයෙහි නිර්මාතෘවර මංගල ධර්ම කීර්ති ශ්‍රී සරණංකර වතවන ශ්‍රී ධර්මාරාමාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශය ආශි‍්‍රතව වස් විසීමට වැඩම කළ අවස්ථාවෙහි නාහිමියන්ගේ අවධානයට යොමු වූ බිම්කඩෙහි 1916 වසරෙහි දී බෝධි අංකුරයක් රෝපණය කරමින් නූතන ශ්‍රී සද්ධර්මාරාමය ආරම්භ කළහ. ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ වැඩහිඳිමින් 1921 දී දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ද ඉදි කරවීය. ඉනික්බිති විහාරාංගයන් ඉදි කරවමින් සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් බවට මෙම විහාරස්ථානය පත් කිරීමට නාහිමිපාණෝ කැප වූහ.

ශාස්ත්‍රීය කටයුතුවලට ද යොමු වූ නාහිමිපාණෝ පාලි ව්‍යාකරණෝදය නම් කෘතියක් සකස් කොට එළි දැක්වූහ. කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහ නාහිමියන්ගේ කතිකාවත් සඟරා කෘතියෙහි සහ මහාචාර්ය ලිලී ද සිල්වා මැතිණියගේ ශාස්ත්‍රීය සංහිතාවන්හි පාලි ව්‍යාකරණෝදය සම්භාවනාවට පත් කොට ඇත. පිරුවානා පොත් වහන්සේගේ රත්නතුංග සංස්කරණයෙහි සංස්කාරක හිමිනමක වශයෙන්ද කටයුතු කළහ. වතවන ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ලෝක ශාසනික මෙහෙවර අගය කළ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්පති මොල්ලිගොඩ අමරවංශ මහ නාහිමියන් වරප්‍රමුඛ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහාසංඝ සභාව මඟින් 1967 දී මංගල ධර්ම කීර්ති ශ්‍රී සරණංකර ගෞරව නාමය සහිත කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදි.

කොළඹ නගරයෙහි වාසය කරන බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් සැම දෙනාගේම සම්භාවනාවට පත් වෙමින් දීර්ඝායු සහ ආරෝග්‍ය සම්පත් වින්දනය කිරීමට පුණ්‍ය සම්පත් ලැබූ නාහිමිපාණෝ සිව් එකසිය (104) වසක් ආයු වින්දනය කොට 1992 පෙබරවාරි 04 වන දින අපවත් වී වදාළ සේක. 2016 වර්ෂයට යෙදුණ විහාරස්ථානයෙහි සියවස් පූර්ණය නිමිත්තෙන් නාහිමියන්ගේ ගුණානුස්මරණය කරමින් වර්තමාන විහාරාධිපති වතවන සිරිසුමන හිමිපාණන්ගේ මූලිකත්වයෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]