UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය

ධාතු මන්දිරය, පුස්තකාලය, හා සංඝාවාසය ඇතුළු දෙමහල් ගොඩනැගිල්ල 23 වනදා විවෘත කෙරෙන

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය


2600 ශ්‍රී සම්බුද්ධත්ව ධාතු මන්දිරය ශාසනාලංකාර පුස්තකාලය සහ සිරි සුභාරති අනුස්මරණ සන්ථාගාරය

කීර්තිමත් විහාරස්ථානයකි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරති නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 1919 වසරේ ආරම්භ වූ කුලියාපිටිය අස්සැද්දුව ශ්‍රී සාසනාලංකාර මහා විහාරය සත්කෝරළය පුරා ධර්ම ශාස්ත්‍රීය ආලෝකය විහිදූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කීර්තිමත් විහාරස්ථානයකි.

සිරි සුභාරති නාහිමිපාණෝ ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය කේන්ද්‍ර කරගෙන පොදු මහ ජනතාව ධර්ම මාර්ගයට යොමු කිරීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථාන රැසක්ම ආරම්භ කළහ.තම ආගමික, ජාතික, අධ්‍යාපනික මෙහෙවර අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා රැසක්ම සසුනට දායාද කළ සුභාරති මහෝපාධ්‍යායන් වහන්සේගේ අපවත් වීමෙන් පසු උන් වහන්සේගේ ශිෂ්‍යවර කබලෑවේ පියභාරති නාහිමියෝ ශාසනාලංකාර මහා විහාරයේ ආධිපත්‍ය ලබති. උන්වහන්සේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරන ලද ආගමික, ජාතික, අධ්‍යාපනික සේවාව හා සුබ සාධක කටයුතු නිසා ශාසනාලංකාර පිරිවෙනේ කීර්ති නාමය වඩාත් දීප්තිමත් විය.අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ මහාචාර්ය ධූරයක් ද දැරූ පියභාරති ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු දරමින් නිකායේ අභ්‍යුදය සඳහා කළ අගනා මෙහෙවර අනුනායක ධූරයෙන් පිදුම් ලැබීමට විශේෂයෙන් ඉවහල් විය.

කබලෑවේ පියභාරති අනුනාහිමියන්ගේ අපවත් වීමෙන් පසු ශාසනාලංකාර මහා විහාරයේ විහාරාධිපති පදවියට පල්ලේකාගම රතනභාරති ස්ථවිරයන් වහන්සේ පත්වෙති. නිකායේ හා ගුරු පරපුරේ පිළිවෙත් ආරක්ෂා කරමින් තරුණ භික්ෂුවක් ලෙස ප්‍රශංසනීය ආගමික, ජාතික සේවාවක් උන් වහන්සේ සිදු කරති. අප නිකායේ පරියත්ති සභාවේ ලේකම්වරයා ලෙස නිකායේ විභාග පැවැත්වීමේ කාර්යය මැනවින් උන්වහන්සේ සිදු කරති. කුලියාපිටිය දුරුතු මහා පෙරහර නිසා ශාසනාලංකාර මහා විහාරස්ථානය සිරිලක පතළ විහාරස්ථානයක් බවට පත්ව ඇත. මෙම විහාරස්ථානය සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීම සඳහා රතනභාරති ස්ථවිරයෝ කැපව කටයුතු කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ධාතු මන්දිරය සහිත දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමේ භාග්‍ය උදා කරගෙන අත.

කුලියාපිටිය අස්සැද්දුම ශී‍්‍ර ශාසනාලංකාර මහා විහාරය තුලින් ඉදිරියටත් ලෝක ශාසනික අමිල සේවාවක් සිදු කිරීමට විහාරාධිපති ස්ථවිර පාදයන් වහන්සේට හා දායක දායිකාවන්ට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.


ශාසනික නවෝදය මල්ඵල ගැන්වූ අවස්ථාවක්

කුලියාපිටිය අස්සැද්දුම . ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද 2600 ශ්‍රී සම්බුද්ධත්ව ධාතු මන්දිරය , ශාසනාලංකාර පුස්තකාලය හා සිරි සුභාරති අනුස්මරණ සන්ථාගාරය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ, තෛ‍්‍රනිකායික මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන්, විවෘත කිරීමට කටයුතු සංවිධානය කර තිබීම අපගේ බලවත් සතුටට හේතු වේ.

අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය ආරම්භ වීමත් සමඟ කුලියාපිටිය අස්සැද්දුම ප්‍රදේශයේ පමණක් නොව සත් කෝරළය පුරාත්, උතුරින් යාපනය දක්වාත් බොහෝ ගම් දනව්වල සිද්ධස්ථාන ගොඩනංවමින් ශාසනයට වැඩදායි භික්ෂු පරපුරක් ප්‍රථම විහාරාධිපති මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන්ගෙන් ඇරඹිණ. අනතුරුව විහාරධිපතිත්වයට පත්වූ කබලෑවේ පියභාරති ස්ථවිරයෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියද උසුලමින් විශිෂ්ඨ ශාසනික සේවාවක් ඉටු කළහ.

වර්තමාන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නායක ස්ථවිරයන් විහාරස්ථානයට මහත් කීර්තිරාවයක් ළඟා කර දීමට සමත් වූහ. උන්වහන්සේ විසින් ඇති කළ ශාසනික නවෝදය මල්ඵල ගැන්වූ අවස්ථාවක් වශයෙන් නව ධාතු මන්දිරය සහ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම, සියලු බෞද්ධ පින්වතුන්ගේ සිත්සතන් පුණ්‍ය චේතනාවන්ගෙන් පූර්ණ කිරීමට හේතු වනු නොඅනුමානය. ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් මෙම පුණ්‍ය මහෝත්සවයේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ආශිංසනය කරම්හ.


ශාසන චිරස්ථිතියට උරදුන් පින් බිමකි

කුලියාපිටිය ,අස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරය, වසර සියයකට ආසන්න ඉතිහාසයක් ඇති ශාසන චිරස්ථිතියෙහි ලා මහෝපකාරි පුණ්‍යායතනයකි. ප්‍රතිපත්තිගරුක සුපේශල ශික්ෂාකාමී මහ තෙරවරුන්ගෙන් ගෞරවයට, බහුමානයට පාත්‍රවූ මහා විහාරයකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ධුරීනව වැඩ සිටි කට්ටමුරිච්චානේ සිරි සුභාරති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දුටුවන් පහදවන භික්ෂු ප්‍රතිපදාවන්ගෙන් වශීකෘත වූ එවකට කුලියාපිටියේ ප්‍රදේශයේ සිටි සැදැහැවත් ප්‍රභූන්ගේ ආරාධනයෙන් පොල් අතු සෙවිළි කළ පැල්පතක වස් විසු උන්වහන්සේ සම්බුද්ධ ශාසනයටත්, මනුෂ්‍ය සමාජයටත් සුවිශාල සේවාවක් සිදුකළ මහා ශාසන පරම්පරාවක් ඇති කළ මහෝත්තමයෙකි. ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත තලම්මැහැර විජය, මහාචාර්ය කබලෑවේ පියභාරතී, ත්‍රිපිටකාචාර්ය පිදුමේ රතන ආදි මහා ස්වාමීන් වහන්සේලා ඒ සසුන් පරපුර බැබළ වූ මහා තෙරවරු වෙති. එසේම ශාසනාලංකාර මහා විහාරය කේන්ද්‍ර කොට ඇති වු විහාරස්ථාන ද රාශියකි. පන්නල කොහොඹේපොළ ශී‍්‍ර පූර්වාරාමය, බරිගොඩ මහින්දාරාමය, වස්සාවුල්ලේ ශ්‍රී සුගතාරාමය, දීගල්ලේ සිරි සුභාරති විහාරය, මරදන්කඩවල පහලඅඹතලේ ශ්‍රී ඉන්ද්‍ර ගුප්ත විහාරය ආදිය ඉන් සමහරකි. ප්‍රදේශයේ ආගමික හා සාමාජික සංවර්ධනය වෙනුවෙන් සමිති සමාගම් රාශියක්ද පිහිටුවා ඇත. මහාචාර්ය කබලෑවේ පියභාරති අනුනායක ස්වාමිපාදයන් වහන්සේගේ අවදියෙන් විහාරස්ථානය කීර්තිමත් විහාරස්ථානයක් ලෙස දියුණුවට පත් කළ අතර, සියලු විහාරාංගයන්ගෙන් සමලංකෘත විය.අනතුරුව විහාරාධිපතිත්වයට පත් වර්තමාන විහාරාධිපති පල්ලේකාගම රතනභාරති ස්ථවිරපාදයන් වහන්සේ වඩා දීප්තිමත්ව එම සේවාව ඉදිරියට පවත්වා ගෙන යන බව පෙනේ. ශත වර්ෂයකට ආසන්න කාලයක් අස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරයෙන් රටටත්, සමාජයටත්, සම්බුද්ධ ශාසනයටත් සිදුවූ අපිරිමිත සේවාව අනුස්මරණය කරමින් ඉදිරියටත් එම සේවාව වඩාත් හොඳින් පවත්වාගෙන යාමට වර්තමාන විහාරාධිපති නායක ස්ථවිරපාදයන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිංසනය කරමි.


කෘතවේදිත්වය පිරිනැමේ

‘අස්සැද්දුමේ පන්සල” නමින් පොදුජන ව්‍යාවහාරයේ පවතින පොදු ජන ගෞරවයට පාත්‍ර වූ කුලියාපිටිය –අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් මේ වැදගත් උත්සව අවස්ථාව සතුටට කරුණකි. අප විහාරස්ථානය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත් “ශාසනාලංකාර විහාර වංසය” නමින් විහාරස්ථානයේ ඉතිහාසය රැගත් ග්‍රන්ථයක්ද මේ අවස්ථාවේ නිකුත් වෙයි.

මේ වැදගත් උතුම් අවස්ථාවට අති පූජ්‍ය, තෛ‍්‍රනිකායික මහා නා හිමිවරුන්ගේ වැඩමවීම අප විහාරස්ථානයට මහත් ගෞරවයකි. එනිසා තෛ‍්‍රනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයටත් සහභාගිවන සැදැහවතුන් සැමටත් කෘතවේදිත්වය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙම දෙමහල් මන්දිරය ඉදිකිරීමේදි නන් අයුරින් දායක වු සැදැහැවත් පින්වතුන් සැමටත්, උත්සව සංවිධාන කමිටුව ඇතුළු අනෙකුත් නොයෙක් ආකාරයෙන් සහ සම්බන්ධවූ සැමටත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමි. තවද මේ භූමියේ විහාරස්ථානයක් තැනීම පිළිබඳ මූලික සංකල්පනා පහළ වීමෙන් පසු එය යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙසුණු ගිහිපැවිදි සැදැහැවතුන් සැමටද පුණ්‍යානුමෝදනා කරමි.

 

 


ගැමියාට සමීපතම සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථානය වූයේ ගමේ පන්සලය

ලාංකීය ජන මනස බුදුදහමේ ආභාෂය හේතුවෙන් අධ්‍යාත්මික හැදියාවෙන් සුපෝෂණය වූයේ මහින්දාගමනයෙන් අනතුරුවය. එතැන්සිට බුදුදහමේ දැක්ම සමාජගත කිරීමෙහිලා නියාමන කාර්යභාරය ඉටු කෙරුණේ ගමේ පන්සලෙනි. එනයින් ගැමියාට සමීපතම සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථානය වූයේ ගමේ පන්සලය.

ලාංකීය පන්සල් වංශ කතාව තුළ කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය ස්ථානගත වන්නේ විසි වැනි සියවසේ මුල් භාගයේදීය. යටත් විජිත සමයේ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ප්‍රමුඛ මෙහෙවරක නිරත වූ අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරය සත්කෝරළයේ සීමා මායිම් අතික්‍රමණය කරමින් ඈත. උතුරු කෙළවර දක්වා එවක පැවති දුෂ්කරතා මධ්‍යයේ සිය ශාසනික සේවාව ව්‍යාප්ත කිරීම සඳහා දැක්වූ දායකත්වය අතිශය ප්‍රශස්තය.

එවක විසූ ප්‍රභූවරුන්ගේ අනුග්‍රහය මත මෙම ශාසනික මෙහෙවර සිදු කෙරුණේ විහාරාධිපති මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන්ගේ මූලිකත්වයෙනි. ආගමික සහජීවනය උතුරට දිසාගත කරමින් යාපනය සුභාරතී බෞද්ධ මධ්‍යස්ථානය ස්ථාපනය වන්නේ ශාස්ත්‍රවේදී වීරඹුවේ විමලභාරතී හිමියන්ගේ විහාරාධිපතිත්වයෙනි. එදා මෙදාතුර අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය ලාංකිය බුදු සමයටත්, ජනතාවගේ අධ්‍යාපනික, ආගමික සහ සංස්කෘතික පුනර්ජීවනයටත් දැක්වූ දායකත්වය අපි ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කළ යුත්තෙමු.

අද දින ජනතා වන්දනාවට විවෘත කැරෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ධාතු මන්දිරය සහ ශාසනාලංකාර පුස්තකාලය ද සිරි සුභාරතී අනුස්මරණ සංඝාවාසයද අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරයේ නිර්මාතෘ හිමිපාණන්ගේ සහ එතැන් පටන් විහාරාධිපතිත්වයට පත් මාහිමිපාණන් වහන්සේලාගේ පින්වත් කාර්යභාරයන් අතරට එක්වන මහා ශාසනික මෙහෙවරේ දිගුවක් ලෙසින් සලකමු.

එම උතුම් ශාසනික සහ සමාජ සත්කාරය උදෙසා කැපවන වත්මන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නායක මාහිමිපාණන් වහන්සේටත් එහිලා මහෝපකාරි වන ගිහි පැවිදි සියලු පින්වතුන්ටත් මාගේ සුබාශිංසන පිරිනමමි.


ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය විහාරස්ථානයකි

ඓතිහාසික සත්කෝරලයේ කුලියාපිටිය, අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානය වසර සියයකට ආසන්න කාලයක් සැදැහැවත් ජනතාවගේ අධ්‍යාත්මික දියුණුව උදෙසාත්, ප්‍රදේශයේ අභිවෘද්ධිය උදෙසාත් ප්‍රශස්ත මෙහෙවරක නියැළුණු අස්සැද්දුමේ පන්සල ලෙසින් ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය විහාරස්ථානයකි.

මෙම විහාරස්ථානය ඇති කළ ආගමික, සංස්කෘතික පුනරුදය කුලියාපිටිය ප්‍රදේශයට සීමා නොවී සත්කෝරලයට ද ඉන් ඔබ්බෙහි දිවයිනේ නොයෙක් ප්‍රදේශවලටද පැතිරුණු පුළුල් ශාසනික, සමාජ මෙහෙවරකි. විහාරස්ථානයන් නොවූ දුෂ්කර ගම්දනව් තෝරා ගෙන වෙහෙර විහාර ඉදිකිරීම, විවිධ සමිති සමාගම් හරහා ළමා, තරුණ, වැඩිහිටි සැම ඒකරාශි කරගනිමින් ශාසනික සහ සමාජ උන්නතිය උදෙසා විවිධ සේවාවන් දියත්කිරීම ආදි වශයෙන් අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානය ඉටුකරන කාර්යභාරය අතිශය ප්‍රශංසනීයය.

එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද 2600 ශ්‍රී සම්බුද්ධත්ව ධාතු මන්දරය, ශාසනාලංකාර පුස්තකාලය සහ සිරි සුභාරති අනුස්මරණ සන්ථාගාරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය බැතිබර සිත්පහන් කරවන තවත් උත්කර්ශවත් ඓතිහාසික අවස්ථාවක් වනු නිසැකය. ප්‍රදේශයේ ශාසනික උන්නතියටද, අධ්‍යාත්මික ප්‍රබෝධයටද මෙම පූජෝත්සවය මහඟු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමි.

විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා එදා මෙදා තුර කැපවු මහා සංඝරත්නයද, සැදැහැවත් ජනතාවද කෘතවේදීව සිහිකරමින්,අස්සැද්දුම ශී‍්‍ර ශාසනාලංකාර විහාරස්ථානයේ සියලු ආගමික, සමාජයීය කර්තව්‍යයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මෙත් සිත් පෙරදැරිව සුභාංශිංසන පිරිනමමි.


අගනා සමාජ මෙහෙවරක නිරතව සිටීම ප්‍රශංසනීය වේ

මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ වූ මෙම විහාරස්ථානය පුරෝගාමී මෙහෙවරක නිරත වූ දායක කාරකාදීන්ගේ අපේක්ෂා සාක්ෂාත් කිරීම ගරුතර ස්වාමීන්වහන්සේලාගේ දැඩිතර අධිෂ්ඨානයෙන් හා අනුශාසනයෙන් සිදු වූ බැව් රහසක් නොවේ. සිරි සුභාරතී නාහිමියන්ගේ ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා මෙම අද්විතීය ශාසනික හා ජාතික මෙහෙවරෙහි මහත් කැපවීමෙන් නිරත වූහ.

සිරි සුභාරති නාහිමියන් ප්‍රදේශ රැසක පිහිටුවා වදාළ විහාරස්ථාන උසස් ලෙස පවත්වා ගනිමින්ම උන්වහන්සේගෙන් පසු ශාස්ත්‍රවේදී වීරඹුවේ විමලභාරතී හිමියන් උතුරු පළාතේ යාපනයෙහි පවා බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගත්හ. අස්සැද්දුම ශ්‍රී සුභාරති විද්‍යාලය මෙන්ම සුභාරතී දහම් පාසලද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵල වෙයි. මහාචාර්ය කබලෑවේ පියභාරති හිමියන් ඇතුළු දීප්තිමත් ශිෂ්‍යවරයාණන් වහන්සේ රැසක් බිහි කිරීමටද උන්වහන්සේ සමත් වූහ. දිවයින පුරා උන්වහන්සේලාගේ සේවය විහිදී පැවතීම විශේෂ සංසිද්ධියකි. විහාරාධිපති පදවිය පමණක් නොව නිකායේ අනුනායක පදවියක්ද හොබවමින් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධූරය දැරූ කබලෑවේ පියභාරති නාහිමියන්ද කුලියාපිටිය සමාජසේවා සංවිධාන රැසක් ස්වකීය අනුශාසකත්වය යටතේ පිහිටුවා වදාළ බව අපි දනිමු. උන්වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති පදවියට පත් ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති මාහිමියන්ගේද කැපවීම් ප්‍රදේශයේ ශාසනික ප්‍රබෝධය වර්ධනයට බෙහෙවින් සමත්වී ඇත.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]