UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ හැත්තෑතුන්වන ජන්ම දිනය සැමරීම නිමිත්තෙනි

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන් වහන්සේ ජිවමානව වැඩසිටිනා ගංගාරාම නම් වූ පුදබිමෙහි වැඩවසනා හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන් වහන්සේගේ සඟ පරපුරේ සිව්වන මහ නායකයාණන් වහන්සේ පිළිබද උන්වහන්සේගේ හැත්තෑතුන්වන ජන්ම දිනය දා උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු පතමින් කෙටි සටහනක් තැබීමට අවස්ථාව ලැබීම, හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන්ගේ ගිහි සිසු පරපුරෙන් බිහිවූ මා ලද මහත් වාසනාවකි.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ යනු හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නා හිමියන්ගේ ගංගාරාම සඟ පරපුරේ වර්තමාන නායක හිමිපාණෝ මෙන්ම, හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නා හිමියන්ගේ අපරිමිත පරිශ්‍රමයේ ප්‍රතිඵලයෙන් බිහිවූ විද්‍යෝදය සරසවියේ කීර්තිමත් ආදි විද්‍යාර්ථ හිමි නමකි. මම වූ කලී, හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අපරිමිත පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසට බිහිවූ ආනන්ද විද්‍යාලයෙනුත්, විද්‍යෝදය සරසවියෙනුත් අකුරු කර එම සරසවියේ වර්තමාන උප කුලපතිවරයා වන්නෙමි.

යතිවර නායකත්ව ආකෘති

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ එක් පරපුරක් නියෝජනය කරනු ලබන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ නායකත්ව ආකෘතිය පිළිබඳ විමර්ශනයක යෙදීමට සුමංගල නා හිමියන්ගේ තවත් පරපුරක් නියෝජනය කරනා මට උන්වහන්සේගෙන් අවසර ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.

සමාජ ස්ථාරත්වය සඳහාත්,සාමජ ප්‍රගමනය සඳහාත් මූලිකත්වය දරනුයේ නායකත්වයයි. නායකත්වය යනු ඈත අතීතයේ සිටම සාකච්ඡාවට භාජනය වූ සංකල්පයක් වන අතර වර්තමානයේද නායකත්ව සංකල්පය පිළිබඳ අදහස් තව තවත් සංකීර්ණ ආකාරයෙන් සාකච්ඡාවට භාජනය කරනුයේ එහි ඇති වැදගත්කම එදා මෙන්ම අද දිනටද එකලෙස නොවෙනස්ව පවතින බැවිනි. නායකත්ව රටාවන් පිළිබඳ සමාජ විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත්, ආර්ථික විද්‍යානුකූලවත්, දේශපාලන විද්‍යා දැක්මෙනුත් සාකච්ඡා කර ඇති ආකාරය නායක්තවය පිළිබඳ සාහිත්‍ය විමර්ශනයේදී දැකගත හැකිවන අතර අපරදිගට සාපේක්ෂව පෙරදිග නායකත්වය පිළිබඳ විමර්ශනයේදී නායක්තවය අවබෝධකර ගැනීම සඳහා ප්‍රබල දායක්තවයක් ලබාදී ඇත්තේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසිනි. ශ්‍රී ලංකාවේද අතීතයේ මෙන්ම වර්තමානයේද නායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය ඉමහත් බව බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ චරිතාපදානයන් විමර්ශනයේදී දැකිය හැකිය. මෙම ලිපියෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලෙසට විරුදාවලිය ලත් ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ චරිතාපදානය තුළින් ගම්‍යවන නායකත්ව ලක්ෂණයන් පිළිබඳ තුලනාත්මක අධ්‍යනයක යෙදීම තුළින් නායකත්ව සංකල්පයට නව අර්ථ නිරූපනයක් ලබාදීමය. ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසින් සිදුකළ ආගමික හා සමාජීය උන්නතිය උදෙසා විදුදය ආදී විද්‍යාර්ථයන්ගේ එකමුතුව විසින් ශ්‍රී ජයවර්ධනපුර “පද්ම සම්මානයෙන්” උන්වහන්සේ පුදනු ලැබුවේ උන්වහන්සේගේ යතිවර ජීවිතයේ නොනිමි මෙහෙවර උදෙසාය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ පරපුර නියෝජනය කරමින් බෞද්ධයාගේ පරම අයිතීන් රැකගැනීම සඳහා සිය සිංහනාදය පතුරවමින් සිදුකරන්නාවූ අගනා සේවය මෙන්ම අනාගත බෞද්ධයාගේ අයිතීන් වෙනුවෙන් හඬක් නැඟීමට හැකි දැනුමෙන් හා බලයෙන් සපිරි සඟ පරපුරක් බිහිකරමින් ගෙවනා අති පූජනීය මෙන්ම සරල පැවිදි දිවියේ හැත්තෑතුන් වසරක ආවර්ජනයක් ඔස්සේ උන්වහන්සේගේ නායකත්ව ආකෘතිය අනාවරණය කර ලෝකයේ නායකත්වය පිළිබඳ ලියැවී ඇති සාහිත්‍යය තව තවත් පෝෂණය කිරීම කාලෝචිත මාතෘකාවක් බව සැවොම පිළිගනු ඇතැයි මම සිතමි.

නායකත්වය සතු දර්ශනය

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ජීවිත චරිතාපදානය අධ්‍යයනය කිරීමේදී අවබෝධ කරගත හැකි ප්‍රධාන දර්ශනය වනුයේ පොදු ජනයාගේ සුවහසක් ජීවන ගැටලුවලට හරසුන් උපදෙස් වෙනුවට භෞතිකවූත් ආධ්‍යාත්මිකවූත් පිහිටක් පන්සලෙන් ලබාදීමය. බුද්ධ පුත්‍රයෙකු ලෙසට බුදුන්වහන්සේගේ මඟ ගනිමින් භෞතික ගැටලු මැනවින් අවබෝධකරගත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ මිනිසාගේ දෛනික ජීවන ගැටලුවලට පන්සලෙන් පිහිටක් ලබා දෙන්නට ක්‍රියාකරන සංඝ පීතෘවරයෙකි. කුසගින්නෙන් පෙළෙනා මිනිසාට නිවන් මඟට අවැසි ගැඹුරු දහම් කරුණු දේශනා නොකළ පොඩි හාමුදුරුවෝ කුසට අහරක් ලබාදී කුසගිනි නිවමින් සරල දහම් කරුණකින් මිනිසාගේ සිත සුවපත් කළ සැබෑ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකි. නිවන් මඟ පසක් කරමින් උන්වහන්සේ යනෙනා මේ ගමනේ ලොකු පොඩි භේදයකින් තොරව සැමට එකාමෙන් සැලකීමේ ආදර්ශය ලබාදෙනු ලබනුයේ භෞතිකවාදී ජීවිත පද්ධතියට මිනිසා ඇති බැඳීමේ ප්‍රබලත්වයත් ඉන් මිදීමට ගිහියෙකුට ඇති අපහසුතාවයත් දන්නා වර්තමාන ලෝකයේ සැබැවින්ම ජීවත්වන භික්ෂූන් වහන්සේ නමක් ලෙසටය. ගංගාරාම විහාරස්ථානයේ දෛනිකව පැවැත්වෙන ආගමික වතාවත් සඳහා නායකත්වය දෙමින් අනුගාමිකයන්ගේ අධ්‍යාත්මික ගුණ දහම් වර්ධනය කිරීමේ ව්‍යායාමයක යෙදෙන ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සැබැවින්ම මිනිසාගේ ආධ්‍යාත්මික ජීවිතයට අර්ථදායී සුවයත්, භෞතික ජීවිතයට ක්‍රියාකාරී සුවයත් ලබාදෙමින් ආධ්‍යාත්මිකවූත් භෞතිකවූත් මිනිස් සිත්සතන් සමබර කිරීමේ දර්ශනයකින් යුතු නායකත්වයකට හිමිකම් කියති. එය ගංගාරාම විහාරස්ථානයේ නායකත්ව දැක්ම වේ.

නායකත්ව හර වටිනාකම්

කළමනාකරණ සාහිත්‍යයට අනුව හර වටිනාකම් යනු හුදෙක් මිනිසාගේ හෝ මිනිසා විසින් නිර්මිත සංවිධානයේ දැක්ම කරා ළඟාවීමේදී අනුගමනය කළ යුතු මූලික චර්යා ධර්ම පද්ධතිය වේ. බෞද්ධ භික්ෂුවගේ හර වටිනාකම් මොනවාද? යන්න විමසීම වඩාත් වැදගත් වනුයේ විනය පිටකයෙන් දක්වා ඇති භික්ෂූන්ගේ විනය නීති - රීති භික්ෂූ සමාජයේ උන්නතිය උදෙසා යොමුවන අවදියකදී ගිහි - පැවිදි අන්තර් සම්බන්ධතාවයේදී අද්විතීය භික්ෂු චරිතයක් හිමි යතිවරයෙකුට ළඟාවිය යුතු සමාජ ඉලක්ක සඳහා ඇවැසි වටිනාකම් අධ්‍යයනය කිරීමෙන්ය. විනය පිටකයේ ඇති විනය කර්මවලට අනුරූපීව සමාජ ශෝධනයේ යෙදෙනා භික්ෂූන් වහන්සේ සමාජ පරිසරයේ අභිමතය අනුව අනාවරණය කරගත් සුවිශේෂී වටිනාකම් පද්ධතියකින් සිය භික්ෂූ චරිතය සදාචාරාත්මක කරගනුයේ භික්ෂු චරිතයේ නායකත්ව ලකුණ සමාජ පද්ධතියේ ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණෙනි. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ විනය පිටකයේ විනය නීති - රීති තුළින් හැඩගැසුණු භික්ෂු ජීවිතය මෙන්ම සංකීර්ණ සමාජ පද්ධතියේ සාමාන්‍ය භෞතිකවාදී අපේක්ෂාවන්ගෙන් පිරුණු මිනිසුන් සමඟ ගැටෙනා ජීවිතයේදී අනුගමනය කළ හර වටිනාකම් පද්ධතියක් සිය නායකත්වය යටතේ පෙර දිනයේ සිටම පුරුදු පුහුණු කරගනු ලැබූ බව උන්වහන්සේගේ චරිතාපදානයෙන් විභාගකර විස්තර කරනු ලබයි. “ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ” නමින් ප්‍රසන්ත ලාල් ද අල්විස් විසින් 2014 දී ලියූ ග්‍රන්ථයෙහි ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ප්‍රමුඛ ගංගාරාම නායකත්ව ගුරු කුලය අනුගමනය කරනු ලබන හර වටිනාකම් පද්ධතිය දක්වා ඇත්තේ පහත පරිදිය. බලකිරීමෙන් තොරවීම හා පීඩාකාරීත්වයෙන් මිදීම. සැමට සේවය කිරීම, ස්ව - කැමැත්තෙන් පමණක් නැවත උදව් - උපකාර ලබාගැනීම නිවැරදි දේ කියාපෑම හා කියන දේ ක්‍රියාවට නැංවීම.

භික්ෂූන්වහන්සේ වෙනුවෙන් මහා කරුණාවෙන් විනය ඇතිකළ බුදුන්වහන්සේගේ දේශනයට අනුව යමින් දායක දායිකාවන්ගේ හිතසුව පිණිස ධර්ම ප්‍රචාරයත්, භෞතික ජීවිතයට අවැසි ගිහි කළමනාකරණ උපදේශයත් සපයන ගංගාරාමයේ භික්ෂුන්වහන්සේ සිය දායකයන් බලකිරීමෙන් තොරවත් පීඩාකාරීත්වයෙන් තොරවත් විහාරස්ථානයේ ආගමික වැඩසටහන්වලට සම්බන්ධකර ගැනීමේ චර්යා පද්ධතිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චර්යාවෙන් නිරූපිත හර වටිනාකමකි. සැමට සේවය කිරීම නම් වූ හර වටිනාකමට අනුව යමින් ජාති - ආගම් භේදයකින් තොරව, ලොකු - කුඩා භේදයකින් තොරව, කුල - මල භේදයකින් තොරව, වැදගත් මෙන්ම නොවැදගත් සෑම කාර්යයකදීම මිනිසාගේ සංවේදීත්වය අනුව ක්‍රියාකිරීමට ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ප්‍රමුඛ භික්ෂූන්වහන්සේලා සැමට හැකියාව ලැබී ඇත. නිදහස් මනසකින් මිනිසුන් දෙස බලමින් සමාජ පන්තීන් අතර ඇති සමචර්යාවන් මෙන්ම විසමචර්යාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබමින් සැමට සේවය සැපයීමට ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට හැකියාව ඇත්තේ භෞතිකවාදී අභිලාෂයන් තුළින් සිය ජීවිතය තෘප්ත කිරීමට තරම් ලෝභී සිතක් උන්වහන්සේට නොමැති බැවිනි. උපකාරයට අනිවාර්ය ප්‍රති - උපකාරය පදනම් වර්තමාන සමාජ පද්ධතියේ උපකාරයට ස්ව - කැමැත්තෙන් ප්‍රති - උපකාර කිරීමට දායක දායිකාවන්ට ඇති නිදහස ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ තුන්වන හර වටිනාකම වේ. එය හුදෙක්ම විහාරස්ථානයකින් පමණක් දැකිය හැකි එමෙන්ම වටිනාකමකින් මැන දැක්විය නොහැකි චර්යා රටාවකි. සමාජ ශෝධනයේදීත් සමාජ සංවර්ධනයේදීත් දායක දායිකාවන්ට මෙන්ම හුදු මිනිසාට ගංගාරාම විහාරස්ථානයෙන් යම්කිසි උපකාරයක් වේද එය නොමිලයේ ලබාගැනීමේ විභවතාව මෙම හර වටිනාකමෙන් ගම්‍ය කරයි. පොඩි හාමුදුරුවන්ගේ නායකත්වයෙන් යුතු ගංගාරාම විහාරස්ථානයේ දැකිය හැකි වඩාත් වැදගත් චර්යා රටාව වනුයේ කිවයුතු දේ කියන, කියන දේ කරන විවෘතභාවයෙන් යුතු චර්යා පද්ධතිය වේ.

පොඩි හාමුදුරුවන්ගේ ආභාෂයෙන් ජිවය ලබා ඇති මෙකී චර්යා රටාව ගංගාරාම විහාරස්ථානයේ අනන්‍යතාව රැකීමට මහත් රුකුලක් වී ඇත. ගංගාරාම විහාරස්ථානය යන නම ඇසූ පමණින් සෑම සිතක් තුළම ජනිතවන පෞරුෂත්වය රෝපණය කිරීමෙහිලා “කිවයුතු දේ කියන, කියන දේ කරන” විවෘතභාවයෙන් යුතු චර්යා ගුණ ඉවහල්වී ඇත. ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ නායකත්ව රටාව අධ්‍යයනය කිරීමේදී දැකිය හැකි තවත් ලක්ෂණයක් වනුයේ නායකයෙකු ලෙසට ගිහි - පැවිදි සමාජයන්ට හිතකරවූ හර වටිනාකම් පද්ධතියකින් තමන්ගේ නායකත්වය පරිපූර්ණවී ඇති ආකාරය වේ. ඒ අනුව නායකත්වය නමැති සංකල්පය තුළ නායකයෙකුට හර වටිනාකම් පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානයෙන් තහවුරු කරනු ලැබේ. සාර්ථක නායකත්වය සඳහා හුරුවක් නැතහොත් පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වන නායකත්ව ලක්ෂණයන් සමූහයක් පෙරදිග නායකත්ව රටාවන් අධ්‍යයනය කිරීමේදී දැකිය හැකිය. නමුත් නායකත්වය පිළිබඳ සංවර්ධනය වී ඇති කිසිදු න්‍යායක මෙකී ලක්ෂණය පිළිබඳව අවධානය යොමුකර නැති බව සාහිත්‍ය විමර්ශනයේදී දැකගත හැකිය. පෙරදිග නායකයන්ගේ චරිතාපදානයන් අධ්‍යයනය කිරීමේදී පෙනීයන මෙම ලක්ෂණය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානය අධ්‍යයනයේදී මැනවින් දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන්ගේ නායකත්ව ගුණාංග උන්වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන භික්ෂූ පරම්පරාවේ දර්ශනයටත්, හර වටිනාකම් දාමයටත් බලපා ඇති ආකාරය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානය කියවීමේදී දැකිය හැකිවේ. දෙවුන්දර ශ්‍රී ජිනරතන නායක මාහිමියන් විසින් ගංගාරාමයේ රාත්‍රී කාලයේ හේවිසි වාදනය නවතා දැමීමේ ආණ්ඩුකාරවරයාගේ නියෝගයට හේවිසි වාදනයෙන්ම පිළිතුරු සැපයීමට තරම් වූ අභීත නායකත්වයේ හුරුව ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානයේ සෑම තැනකම දැකිය හැකි ලක්ෂණයකි. දේශපාලනයේදී රාජ්‍ය නායක නායිකාවන් සමඟ නිවැරදි දෙයට හිස නමමිනුත් වැරදි දෙයට දඹරැඟිල්ල ඔසවමිනුත් රාජ්‍ය නායකයන්ගේ තීන්දු තීරණ සඳහා අභීතව නැගී සිටීමේ ශක්තිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලබන්නට ඇත්තේ සිය සඟ පරපුරේ අභීත නායකත්වයේ ආභාෂය අනුව යමින් විය හැකිය.

අනුගාමිකයන් හා පොඩි හාමුදුරුවෝ

නායකත්වය පවතිනුයේ අනුගාමිකයන් මතය. අනුගාමිකයන්ගේ අනුගතවීම නායකත්වයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වීම උදෙසා බලපානු ලබන ප්‍රබල කරුණකි. නායකත්වය විසින් අනුගාමිකයින් ග්‍රහණය කර ගැනීමේ උපක්‍රම කිහිපයක් බටහිර සාහිත්‍යයට අනුව විස්තර කරනු ලැබේ. නායකත්වයේ බලය ලෙසට අර්ථ නිරූපණය කර ඇති ප්‍රතිපාදනයන් හෝ ත්‍යාග ලබාදීමෙන්, තොරතුරු ග්‍රහණය කර ගැනීමෙන්, විශේෂඥතාවයෙන් අනුගාමිකයන් අද්දවා ගැනීමත් රඳවා ගැනීමත් සිදුකරනු ලබන ආකාරය විස්තර කරනු ලැබේ. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සැබවින්ම බටහිර නායකත්ව බලවේගයන් ලෙස සලකනු ලබන සෑම බලවේගයක්ම සිය නායකත්වය සඳහා සමාන්තරව භාවිතා කළ හිමිනමකි. අභීත තීරණ ගැනීමේදී දඬුවම් ස්වරූපයේ බලයක් ආරෝපණය කළ උන්වහන්සේ සිය ඉලක්කය ඉටුකරගන්නා තුරු දැඩි නායකත්වයක් ඉදිරිපත් කළෝය. නමුත් ආධ්‍යාත්මික ගුණ වගාවේදී සිය උපාසක උපාසිකාවන් වෙනුවෙන් ලිහිල් ස්වරයක් භාවිත කරමින් සිය දැනුම හරහා දහම් කරුණු දේශනා කළ උන්වහන්සේ ගිහි ජීවිතයේ ගැටලු විසඳීමට තොරතුරු ගබඩාවකින් තොරතුරු සම්පාදනය කර ක්ෂණික විසඳුම් සෙවීමට තරම් හැකියාවක් පෑ සේක. සිය උත්තුංග දේහය තුළින් පෞරුෂත්ව ආකර්ෂණයක් ඇති උන්වහන්සේ ජනකාන්ත බලයෙන් යුතු නායකයෙකු වනුයේ මිනිසාට සංවේදී ආර්ථික, සමාජීය, දේශපාලන ආදී කරුණු මත අභීතව සිය අදහස් ප්‍රකාශ කිරීමේ මාහැඟි චරිතය තුළිනි. ගංගාරාම විහාරස්ථානයේ අනුගාමිකත්වය විමර්ශනයේදී රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට මැති ඇමැතිවරුන්ද,ධනවත් හා පොහොසත් ජනයාද, දැන උගත්කමින් වැඩි ජනයාද, මධ්‍යම පාන්තික ජනයාද, දුගී දුප්පත් ජනයාද, අඩු අධ්‍යාපන ලද ජනයාද එකලෙස අනුගාමිකත්වය දරනු ලබන බව පෙනෙන කරුණකි. සමාජයේ ඉතා පුළුල් පරාසයක් තුළ විහිද ඇති අනුගාමිකයන් විශාල පිරිසක් හිමි ලංකාවේ ඇති විශාල විහාරස්ථානයක් ලෙසට ගංගාරාම විහාරස්ථානය හැඳීන්වීමට අනුගාමික පිරිස ප්‍රමාණවත් වේ. සිය සංඝ පරම්පරාවේ උන්නතිය උදෙසා ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් තුළ ඇත්තේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විශිෂ්ට දැක්මකි. පිරිවෙන් අධ්‍යාපනය ලැබූ අවදියේත්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අවදියේත්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය 1965 දී ලබාගැනීමෙන් පසුවත් ගංගාරාමයේ වැඩවිසූ දෙවුන්දර සිරි වාචිස්සර නාහිමියන්ගේ අනුදැනුම මත විහාරස්ථානයේ පාලනය පොඩි හාමුදුරුවෝ විසින් සිදුකෙරිණි. ඒ අනුව යමින් ගංගාරාම විහාර පරපුරේ අනාගත නායකත්වය සංවර්ධනය කිරීමේ පරම චේතනාවෙන් සිය සිසු හිමිවරුන් වන ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේට මෙන්ම ආචාර්ය පල්ලේගම රතනසාර ස්වාමීන් වහන්සේටද විදේශීය විශ්වවිද්‍යාලයන් තුළින් ආචාර්ය උපාධි ලබාගැනීමට අවැසි පහසුකම් සැපයූ පොඩි හාමුදුරුවෝ එම හිමිවරුන්ගෙන් ඉල්ලා සිටි එකම ඉල්ලීම වූයේ ‘ආචාර්ය උපාධියෙන් පසු සිය පූර්ණ කැපවීම ගංගාරාම විහාරස්ථානයේ අනාගත උන්නතිය උදෙසා යොමුකරන ලෙසටය”. ඒ අනුව යමින් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් මෙන්ම ආචාර්ය පල්ලේගම රතනසාර හිමියන් සිය ආචාර්යවරයාණන්ගේ ඉල්ලීමට කීකරු වෙමින් ගංගාරාම විහාරස්ථානයේ උන්නතිය උදෙසා දිවා රෑ වෙහෙසෙනු දැකගත හැකිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ගරු සභිකත්වය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට ලබාදුන් අවස්ථාවේ පවා එය පිළිගැනීමට පෙර සිය නා හිමියන් වන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ අවසරය ලබාගැනීම, මේ සඳහා කදිම උදාහරණය වේ. නායකත්වය සඳහා ගුරුකර ගත හැකි සංකල්ප දෙකක් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානයෙන් අනාවරණය කර ගැනීමට හැකිවේ.

අන්තර් පුද්ගල සම්බන්ධතා

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සඵලදායී නායකයෙකු ලෙසට අනුගාමිකයන් සමඟත් අනුගාමිකයන් නොවන පාර්ශ්වයන් අතරත් මනා අන්තර් පුද්ගල සම්බන්ධතා ජාලයක් ජනිත කර පවත්වාගෙන යනු ලබන චරිතයකි. සාර්ථක අන්තර් පුද්ගල සම්බන්ධතාවය තුළින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සිය අභිමතයන් ඉටුකර ගනු ලැබුවේ සාර්ථක නායකයෙකුගේ රුවගුණ පෙන්වමිනි. බෞද්ධ ආගමිකයන් මෙන්ම අන්‍ය ආගමිකයන් සමඟ සමීප ඇසුරක් පවත්වන පොඩි හාමුදුරුවෝ, නවම් මහා පෙරහැරට පැමිණෙන නැටුම් ශිල්පීන් සමඟත් කතා බහ කිරීමට අමතක නොකරන අද්විතීය චරිතයකට හිමිකම් කියන සංඝ පීතෘවරයෙකි. ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව අබියස වැඩවෙසෙමින් විහාරස්ථානය නැරඹීමට පැමිණෙන සිය දායකයන් නොවන ලොකු කුඩා සැදැහැවත් ජනයාට පිරිත් නූලක් ගැටගසමින් තෙරුවන්ගේ ආරක්ෂාව ලබාදෙනු ලබන නායක හිමිනමක් වේද? ඒ පොඩි හාමුදුරුවෝ පමණක් විය හැකිය. එවන් ක්‍රියාවන් ඔස්සේ ජනිත අන්තර් පුද්ගල සම්බන්ධතා ජාලය වෙනත් කිසිදු විහාරස්ථානයකට නොමැති ශක්තිමත් පදනමක් ඇතිකිරීමට පොඩි හාමුදුරුවන්ට මහත් ශක්තියක් පවතින බව පෙන්වා දිය හැකිය.

පරිවර්තන හැකියාව

හුණුපිටියේ ගංගාරාමය අවට ප්‍රදේශයේ ජීවත්වූ මිනිසුන් සමාජ ධර්මතාවන්ගෙන් බැහැර යම්කිසි ආකාරයක බිහිසුණු මිනිසුන් ලෙස ජීවත් වූ ජන සමූහයකි. මිනිසුන් මරා ගස්වල එල්ලන, නිදහසේ ජීවත් වූ පරවියන් පවා අල්ලා තෙලෙන් බැද ආහාරයට ගන්නා මිනිසුන් ජීවත්වූ ප්‍රදේශයක පැවති විහාරස්ථානයක වැඩවෙසෙමින් සිය පෞරුෂත්වයෙන් ඔවුන් සියල්ල දමනය කර හුණුපිටිය ප්‍රදේශවාසීන්ට පමණක් නොව ලෝකයේ ඕනෑම අයෙකු ලංකාවට පැමිණි විට වන්දනා මාන කිරීමට හෝ පැමිණ නැරඹීමට අවශ්‍යම ස්ථානයක් බවට හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය පරිවර්තනය කිරීමේ මා හැඟි කාර්යය සිදුකරනු ලැබුවේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝය.

කළමනාකරණ භූමිකාව

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානය කියවීමේදී අවබෝධ වන ප්‍රධාන එක් පැතිකඩක් වනුයේ නායකත්වය සාර්ථක කර ගැනීම සඳහා කළමනාකරණ දක්ෂතා මැනවින් භාවිත කර ඇති ආකාරයය. දායක දායිකාවන් පිළිබඳ මැනවින් සංවිධානය කළ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම, ගංගාරාමයේ නවම් මහා පෙරහැර හා එහි සංවිධාන කටයුතු, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ කටයුතු හා රාජකාරි, සිංහල අලුත් අවුරුදු උදාව හා ජනේරු උදාවේ කටයුතු, ස්වභාවික ව්‍යසනයන්හිදී සිදුකළ කටයුතු ආදී කරුණු පිළිබඳ විමර්ශනයේදී දැකිය හැකි ප්‍රධාන කරුණ වනුයේ පොඩි හාමුදුරුවන් තුළ පැවති සැලසුම් කිරීමේ හැකියාව, සංවිධානය කිරීමේ ශක්තිය, නායකත්වය හා පාලනයේ නිපුණතාවය ආදී කළමනාකරණ හැකියාවයි.

නිගමනය

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයාට සුවිශේෂී යතිවරයාණන් වහන්සේ නමක් වනුයේ බෞද්ධාගම පිළිබඳ පමණක් නොව ඒ හා බැඳුණු ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන, තාක්ෂණික මෙන්ම ස්වභාවදහම් පිළිබඳ පුළුල් පරාසයක් සිය විෂයය පථය ලෙසට සලකමින් දුප්පත් මිනිසාගේ සිට ධනවත් මිනිසා දක්වාත් බලය හිමි පුද්ගලයන්ගේ සිට බලය අඩු පුද්ගලයා දක්වාත් එක සමානව සැලකීමේ හැකියාව ඇති අද්විතීය චරිතයක් වන බැවිනි. ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානය අධ්‍යයනය කිරීමේදී අනාවරණය කළ නායකත්ව ලක්ෂණයන් අතර දැක්මක් පැවතීම, හර වටිනාකම් පැවතීම, නායකත්ව හුරුව හා පරම්පරාවෙන් උරුම නායකත්ව හැකියාව, අනුගාමිකත්වය, අන්තර් පුද්ගල සම්බන්ධතාව, පරිවර්තනය කිරීමේ හැකියාව මෙන්ම කළමනාකරණ හැකියාව වඩාත් වැදගත් ලක්ෂණයන් ලෙසට දැක්විය හැකිය. විශේෂයෙන්ම පරම්පරාවෙන් උරුම නායකත්ව හැකියාව, අන්තර් පුද්ගල සම්බන්ධතා ජාලය, පරිවර්තනය කිරීමේ හැකියාව හා කළමනාකරණ හැකියාව ආදී ලක්ෂණයන් නායකත්ව සංකල්පයෙහි ගුණාංග ලෙසට අපරදිග සාහිත්‍යයේදී අනාවරණය කර නොමැති සන්දර්භයකදී ගංගාරාමයේ නායකත්ව ආකෘතිය නැතහොත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ නායකත්ව ආකෘතිය තුළින් එකී නායකත්ව මූලිකාංග සාර්ථක නායකත්වයක් සඳහා අවැසි ආකාරය පෙන්වාදීමට හැකිය. ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය අප සැමගේ ප්‍රාර්ථනයයි.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]