UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ආර්ථික දර්ශනය – 14:  සුරාවට ලොල් වීම දිළිඳුකම වැළඳ ගැනීමයි

බෞද්ධ ආර්ථික දර්ශනය – 14: 

 

සුරාවට ලොල් වීම දිළිඳුකම වැළඳ ගැනීමයි

උපයන ධනය විනාශ වන දොරටු අතරින් එක් දොරටුවක් ලෙස මත්පැන් භාවිතය නම් කර තිබේ. එයින් වැළකීම නිත්‍ය ශීලය වශයෙන් සැළකෙන පංචශීල ප්‍රතිපදාවට අයත් එක් ප්‍රතිපත්තියකි. ගිහි ශීලයට අයත් නිත්‍ය හා උපෝෂථ ශීලය යටතේ එය මුළුමණින්ම වැළකිය යුතු වරදක් ලෙස අවධාරණය කර තිබේ.

සුරාපානයේ පවතින ආදීනව නොයෙක් අයුරින් සූත්‍ර දේශනා තුළ අන්තර්ගත වන අතර පුද්ගලයාගේ ආර්ථිකය කෙරෙහි එහි බලපෑම විස්තරාත්මකව විවරණය කර තිබේ. උපයන ධනය විනාශ වන ප්‍රධාන දොරටුවක් වන සුරාව ලංකාවේ ග්‍රාමීය හා නාගරික අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික දරිද්‍රතාව කෙරෙහි දැඩි ලෙස බලපා තිබේ. බෞද්ධයන් අතරින් බහුතරයක් සුරාවට දැඩි ලෙස ආසක්ත වී සිටීමද ඛේදවාචකයක් වේ.සුරාව පමණක් නොව මත්ද්‍රව්‍ය ගණයට අයත් වෙනත් දෑ පරිහරණය හේතුවෙන්ද වටිනා තරුණ ජීවිත රැසක් විනාශයට පත්ව තිබේ. බෞද්ධයන් විසින් සංවිධානය කරනු ලබන බොහෝ මංගල හා අවමංගල උත්සව අවස්ථාවලදී සුරාවට ප්‍රමුඛ තැනක් ලබා දී තිබීම බෞද්ධ ජීවන පිළිවෙත කෙලෙසීමක් ලෙස සැළකිය හැකිය.

සුරාවෙහි ආදීනව

පුද්ගලයා ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය මෙන්ම සෞඛ්‍ය අතින්ද පහතට ඇද දමන සුරාවෙහි ආදීනව රැසක් බුදුරදුන් විසින් නොයෙක් සූත්‍ර දේශනාවන්හි සාකච්ඡා කර තිබේ. ඒ අතරින් සිඟාලෝවාද සූත්‍රයෙහි සුරාවෙහි ආදීනව හයක් දැක්වේ. එහි දැක්වෙන පරිදි සුරාපානය හේතුවෙන් මෙලොවදීම ධනය විනාශයට පත්වෙයි. (සන්දිට්ඨිකා ධනජානි) රණ්ඩු දබර කලකෝලාහල ඇතිවෙයි. (කලහප්පවඩ්ඩති) තම ශරීරය විවිධ ලෙඩ රෝගවලට ආයතනයක් වෙයි. (රෝගානං ආයතනං) අපකීර්තිය ඇතිවෙයි. (අකිත්ති සඤ්ජනනි) ලජ්ජාව නැතිවෙයි. (කොපීන නිදංසනී) ප්‍රඥාව දුර්වල වෙයි. (පඤ්ඤාය දුබ්බලීකරණී) මෙම ආදීනව අතරින් පළමු වැන්නෙන් ආර්ථිකය කෙරෙහි එහි දැඩි බලපෑම පැහැදිලි වෙයි. ඒ අනුව උපයන ධනය සුරාපානය හේතුවෙන් තමා ඉදිරියේදීම විනාශයට පත්වෙයි. ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම් ලාභී පුද්ගලයන් තමා මහන්සියෙන් උපයන ධනයෙන් වැඩි කොටසක් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වැය කිරීම හේතුවෙන් ආර්ථික වශයෙන් දිළින්දන් බවට පත්ව තිබේ. එසේම එවැනි මිනිසුන් අතර නිරන්තරයෙන්ම අඬදබර කලකෝලාහල දක්නට ලැබේ. පියාගේ බීමත්කම හේතුවෙන් පවුලේ අර්බුද හා ගැටුම් ඇතිවෙන අතර එය දරුවන්ගේ අනාගතයට ඍජුවම බලපා තිබේ.

ලෙඩ රෝග

සුරාපානය හේතුවෙන් ශරීරය ලෙඩ රෝග ඇතිකරන ආයතනයක් බවට පත්වේ. ආයතනය යන වචනය බුදුරදුන් මෙහිදී භාවිතාකොට තිබෙන්නේ අතිශය පුළුල් අර්ථයකින් බව පැහැදිලිය. සුරාපානය හේතුවෙන් හටගන්නා විවිධ ලෙඩ රෝග රැසක් වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව ආර්ථික සමෘද්ධිය අපේක්ෂාකරන කෙනෙක් පමණක් නොව නීරෝගීබව ප්‍රාර්ථනා කරන සෑම අයෙක්ම සුරාවෙන් මුළුමණින්ම වැළකිය යුතුය යන්න අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. උපයන ධනය සුරාවට වැය කිරීමෙන් එක් අතකින් ධනය විනාශ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ලෙඩරෝග ඇති වූ විට ඒ සඳහාද විශාල ලෙස ධනය වැය කිරීමට සිදුවේ. මත්පැන් අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා දෙගුණයක් එහි බලපෑමෙන් ඇති වී තිබෙන අර්බුද විසදීමට යොමු කිරීමට සිදුවී තිබීමෙන් පැහැදිලි වන්නේ එය සමාජයෙන් මුළුමණින්ම තුරන් කළයුත්තක් බවයි. මත්පැන් භාවිතයට යොමු වූ පුද්ගලයාගේ ශරීරය ලෙඩ රෝග වර්ධනය කරන ආයතනයක් ලෙස නම් කිරීමෙන් එහි බලපෑම කොතරම් ප්‍රබලද යන්න පැහැදිලි වේ. උපයන ධනය මතට මෙන්ම ඒ හේතුවෙන් ඇති වූ රෝග සඳහා වෙන්කිරීමෙන් තවදුරටත් ආර්ථික වශයෙන් පහතට වැටෙන අතර දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. ජීවිතය පුරා එක් රැස්කල ධනය මත්ද්‍රව්‍ය සඳහා වැයකොට තමාගේ පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ගේද ජීවිත අඳුරු කළ පුද්ගලයින් කොතෙකුත් දක්නට ලැබේ.

උමතු බව සහ මුලාව

සමාජ ගෞරවය හා විශ්වාසය ආර්ථික සමෘද්ධිය පිණිස අවශ්‍ය වේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ලැබෙන ධනයෙන් කොතෙක් ධනවත් වුවද සමාජය තුළ එම පුද්ගලයා කෙරෙහි ගෞරවයක් ඇති නොවේ. සුරාව විකිණීම නොකළයුතු වෙළෙඳාම් පහ අතරින් අවසන් දෙකටම අයත් වේ. (මජ්ජා වණිජ්ජා – විස වණිජ්ජා) ඒ අනුව කවර අර්ථයකින් ලාභදායක ව්‍යාපාරයක් වුවද එය බුදුසමයෙන් ඇගයීමට ලක් නොවේ. එමගින් උපයන ධනය ඉතා පැහැදිලිවම පුද්ගලයාට හා සමාජයට හානිකර අයුරින් උපයාගන්නා ලද්දකි. එබැවින් එය අධාර්මික ධනයකි. බහුවිධ ක්‍රම ඔස්සේ කවර මට්ටමින් වුවද මත්පැන් හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම බෞද්ධයෙකුට කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එසේ උපයාගත් ධනයෙන් යමෙක් පින්කම් කරන්නේ වුවද එහි අධාර්මික පදනම අමතක කළ නොහැකිය. මත් ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරිකයා පමණක් නොව එය භාවිතා කරන්නා සම්බන්ධයෙන්ද සමාජ ගෞරවයක් හෝ විශ්වාසයක් අපේක්ෂා කළ නොහැකි බව සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සිව්වන හා පස්වන ආදීනවයන්ගෙන් පැහැදිලි වේ. සුරාවෙහි ආදීනව සම්පිණ්ඩනය කරන සිඟාලෝවාද සූත්‍රය පෙන්වා දෙන්නේ ධනය නැති දිළිඳු කෙනෙක් පොකුණකින් දියබොන්නාසේ මත්පැනට ගිජු වූයේ නම් එම තැනැත්තා නොබෝ කලකින් ණයකාරයෙකු බවට පත්වන අතර සිය පවුල හා පරම්පරාවද විනාශ කරගන්නා බවයි. ගිහි ප්‍රතිපදාව පෙන්වන ධම්මික සූත්‍රයේ දැක්වෙන පරිදි ගිහියා විසින් මතින් වැළකිය යුතු අතර එය උමතුබව පිණිස පවතින්නක්ය යන්න වටහාගෙන තමන් එයින් වැළකිය යුතු අතර අන් අයටද අනුබල දීමෙන්ද වැළකිය යුතුවේ. අනුවණ පුද්ගලයා මතට යොමුවීමෙන් පාප කර්ම රැස්කරන අතර අන් අයද මුලාවට පත්කරයි. එබැවින් එය මතු භවයෙහි උමතුබව ඇතිකරන මෙලොවදි මුලාවට පත්කරන අනුවණ ජනයාගේ සිත් ගත් අපුණ්‍ය ආයතනයක් ලෙස (අපුඤ්ඤායතන) තවදුරටත් ධම්මික සූත්‍රයෙහි ඇතුලත් වේ. මෙම සූත්‍ර දේශනා අනුව මත්පැනින් උපයන ධනයත් එයට වැය කරන ධනයත් යන දෙකම අපුණ්‍ය ආයතනගත ධනය ලෙස නම් කළ හැකිය.මෙමගින් අවධාරණය කෙරෙන පරිදි සැබෑ බෞද්ධයෙකුට කිසිදු අවස්ථාවකදී මත් පැන් පානය කිරීමටත් එයට අනුබල සැපයීමත් කළ නොහැකිය. උත්සව සම්භාෂණයන්හි මත්පැනින් සංග්‍රහ කිරීම බෞද්ධකමට නිගාවක් වන අතර එය බෞද්ධ සදාචාරය බිඳ දැමීමක් වේ. එහෙත් එවැනි අධාර්මික ක්‍රියා සඳහා මංගල උත්සවයකදී කොතෙකුත් ධනය වැය කරනු අවස්ථා බෞද්ධයන් අතරද නොමඳව දක්නට ලැබේ. අවාසනයේදී සතුට හා සමාජ තත්වය ආරක්ෂා කිරීම යන මිථ්‍යා මතයෙහි පිහිටා තම මංගල උත්සවය අපුණ්‍යායතනයක් බවට පත් කරගත් හා එවැන්නක් බවට පත්කරගැනීමට සැළසුම් කිරීම හා එයට අනුබල දීම ධනය විනාශ කිරීමක් වේ. එවැනි අයහපත් ක්‍රියාවලට තම ධනය වැය නොකර නුවණින් යුතුව කටයුතු කිරීමෙන් දැහැමි විනෝදාස්වාදය පිරි පී‍්‍රතිමත් විවාහ උත්සවයක් සංවිධානය කිරීමට අවශ්‍ය ධර්මානුකූල ශක්තිය ගොඩ නඟා ගැනීම ප්‍රඥාවන්තයෙකු සතු වගකීමක් වේ. කොතෙක් සමාජ අභියෝග පැමිණියද ප්‍රඥාවන්තයා ඒ සියල්ල ඉදිරියෙහි නොසැලී නිවැරදි පිළිවෙත තෝරා ගනී.

ප්‍රඥාව දුර්වල වෙයි

පුද්ගලයාගේ ප්‍රඥාව දුර්වල වීම සුරාවෙහි අවසන් ආදීනවය වේ. බුදුරදුන්ගේ ධර්මය ප්‍රඥාවන්තයන්ටය (පඤ්ඤාවන්තස්සායං ධම්මො) ප්‍රඥාවෙන් යුක්ත ජීවිතය උසස්ම ජීවිතය ලෙස පිළිගැනේ. (පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං) මිනිසාට ඇති වටිනාම ධනය ප්‍රඥාවයි (පඤ්ඤා නරානං රතනං) සුරාවට යොමුවීමෙන් එය විනාශ වී ජීවිතය අවුල් සහගත බවට පත්වේ. ප්‍රඥාවෙන් තොර පුද්ගලයාට ආර්ථික දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. දුරදක්නා නුවණින් යුක්ත පුද්ගලයා උපයන ධනය සුරාවට හා මත්ද්‍රව්‍ය සඳහා වැය නොකර සිහිනුවණින් යුතුව ආයෝජනය කොට තමාගේත් තම පවුලේත් ආර්ථික දියුණුව ඇතිකර ගනී. එබැවින් දිළිඳුකමට හේතුවන ආර්ථික ඝාතකයා වන සුරාව නමැති පස මිතුරු දුරින්ම දුරු කිරීම ධනවත් වීමට මාර්ගය වේ.

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]