UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු:  දන්තිකා මහරහත්තෙරණින් වහන්සේ

දන්තිකා මහරහත්තෙරණින් වහන්සේ

ගමක වේවා, වනයක වේවා, නිම්නයක වේවා, කඳුගැටයක වේවා රහතන් වහන්සේලා යම් තැනක වෙසේනම් එම බිම සුන්දරයි, ශෝභමානයි. නිරන්තරයෙන් ඵලසමවත් සුවයට යොමුවන ස්වභාවයෙන් යුතු සිතක් රහතන් වහන්සේට උරුමය. රහත් උතුමෝ සිත නිරන්තරයෙන් යහපත් අරමුණක නොගැටී සිටින හැම අවස්ථාවකම තමන් වහන්සේ උදාකරගත් නිවන් සුවය අත්විඳිමින් සිටී. කිසිඳු අයුරකින් කෙලෙස්වල හටගැනීමක් ඇතිවන අයුරින් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමක් රහතන් වහන්සේ තුළ නොමැත. මේ බිහිසුණු සංසාර සාගරයෙන් එතෙර වූ මහත් වූ ගුණසමුදායකින් යුතු දන්තිකා මහ රහත් තෙරණින් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා සිතින් තතු විමසමු.

දන්තිකා තෙරණියෝ බුදුවරයන් වහන්සේලා පහළ වූ සමයෙහි බොහෝ පින්කම් කොට ලොවට ශාන්තිය උදාකරන්නාවූ බුදුරජාණන් වහන්සේ නමක් නොමැති කාලයක චන්දභාගා ගංතෙර කිඳුරුයෝනියෙහි උපන්නාය. මො තොමෝ දිනක කිඳුරන් සමඟ ක්‍රීඩාකරමින් හැසිරුණ කළ රුක්මුලක දවල් කාලය ගත කරන එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් දුටුවාය. උන්වහන්සේ දැක පැහැදුණු ඕ තොමෝ සල්මල් පුදා ශ්‍රද්ධාවෙන් වැඳ ගියාය. එම උතුම් යහපත් ක්‍රියාවෙන් සිත එහි පිහිටුවීම නිසා මිනිස් සිරුර අතහැර තව්තිසා දෙව්ලොවට ගියාය.

තිස්හතක් වූ දෙවිරජවරුන්ට මෙහෙසියව කටයුතු කළාය. යමක් සිතන කල සියල්ල ඉටුවේ. සක්විති රජවරුන් දස දෙනෙකුට මෙහෙසිය වූවාය. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා අනන්තවත් සැප වින්දාය. ශ්‍රද්ධාවෙන් සල්මල් පිදීම මෙසේ අනන්ත ආනිශංස ලබන්නට හේතු විය.

අප ගෞතම සම්බුදු පියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත්නුවර කොසොල් රජතුමාගේ පුරෝහිත බමුණාගේ ගෙදර උපන්නාය. වයස මුහුකුරා ගිය කල්හි සැදැහැති උපාසිකාවක්ව සිට පසුකලෙක මහා ප්‍රජාපතී ගෝතමිය සමීපයෙහි පැවිදි වී රජගහනුවර වසන්නීය. දිනක දවල් ආහාරයෙන් පසු ගිජුකුළු පව්වට නැගී දවල් කාලය ගතකළාය. එම අවස්ථාවෙහි පිට උඩට නැගීමට ඇත්රුවෙකුට පය දිග්කරන්නා වූ ඇතෙකු දැක එයම අරමුණක් කොටබවුන් වඩා අර්ථ, ධර්ම නිරුක්ති, පටිභාන යන

සිව්පිළිසිඹියා සහිත මහ රහත්භාවයට පැමිණ වැඩ වදාළ සේක. ශාක්‍ය පුත්‍ර සාසනයෙහි පුජාවට සුදුසු තැනැත්තියක වූවාය. පිරිසුදු මනසින් පහ කරන ලද පාපධර්මයන් ඇතිව සකල කෙලෙස් සිඳ නැවත උපතක් නැති තැනැත්තකු බවට පත්වූයේ මේ උතුම් ගෞතම සම්බුදු සසුනෙනි.

රහත් භූමියට සැපවත්ව තමන් වහන්සේගේ ම අගනා පිළිවෙත දැක සොම්නසට පත්ව විරාගී සිතින් ගමන් මඟ උදානයක් ලෙස ප්‍රකට කරවන්නේ සැම සතට මහත් වූ වීර්යයක් ඇති කරවමිනි.

දිවා විහාරං නික්ඛම්ම
ගිජ්ඣකූටම්හි පබ්බතෙ
නාග මොගාහමුත්තිණ්ණං
නදීතීරම්හි අද්දසං’

දිවා විහාරය සඳහා ගිජුකුළු පව්වට නැඟ සිටින අතර ගං ඉවුරෙහි ඇතෙකුගෙන් බැස කෙනෙකු එතෙර වනු මම දිටිමි.

පුරිසො අඩකුසමාදාය දෙහි පාදන්තියාචති
නාගො පසායි පාදං පුරිසො නාගමාරුහි’

පුරුෂයෙක් ඇතාගේ වලිගය ගෙන පාදය දෙවයි කියූ කළ ඇතා පාදය දිගුකරයි. මිනිසා ඇතු පිටට නඟියි.

දිස්වා අදන්තංදමිතං මනුස්සානං වසංගත
තතො චිත්තං සමාධෙසිං බලු තාය වනං ගතා’

ස්වභාවයෙන් ම දමනය කිරීමට දුෂ්කර වූ සතා ඇතුරුවා විසින් දමනය කිරීමෙන් මිනිසුන්ගේ වසඟයට පැමිණ සිටින අයුරු මම දුටුවෙමි. එයින් මගේ සිත එකඟකරගතිමි. ඒ ක්‍රියාව හේතුකොටගෙනම මම වනයට ගියෙමි.

වනයට ගොස් එම සන්සිද්ධිය මෙනෙහි කොට සිත සමාහිත කිරීමේ ව්‍යායාමයෙහි නියැළිණ. මේ තිරිසන් සතා පවා ඇතුන් පුහුණුකරවන්නාගේ වචනයෙන් හික්මවා ගනී. මිනිසත් බව ලැබූ අප පුරුෂයන් හික්මවන උතුමන් ලෙසින් නම් ලද බුදුරජාණන් වහන්සේගේ වචනයෙහි නොහික්මෙන්නේ ඇයි? මෙසේ ඕතොමෝ සංවේග උපදවා අග්‍රමාර්ග සමාධියෙන් සිත සමාහිත කරගත්තේ ලොවට ආදර්ශයක් දෙමිනි.

ඉතා භයානක සංසාර ගමනේ නිමාව දැකීම උදෙසා අර්හත්ඵලය සාක්ෂාත්කරගැනීම ඉතා දුර්ලභ කාරණාවක්. සතර අපා දුකකට කෙනෙකු වැටුණහොත් එයින් මිදීම ඉතාම අපහසුයි. දුෂ්කරයි. මිනිස් ජීවිතයක කෙටි ආයු ප්‍රමාණයක් පැවතුණ ද සතර අපායන්හි අධික කාල පරිච්ඡේදයක් ගත කළ යුතු වෙනවා. රහතන් වහන්සේලා හැර අනෙකුත් සියලුම දෙනා මානසික රෝගවලින් පීඩාවට පත්වෙලා ඉන්නේ. එයින් පැහැදිලි වන්නේ මේ ලෝක සත්ත්වයා අතර මානසික දුක්පීඩා නැතිව සිටින්නේ රහතන් වහන්සේ පමණයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ‘සබ්බේ පෘථජ්ජනා උන්මන්තකා’ පෘතග්ජන සියලු දෙනා උමතු වූවෝය. මිනිසා මානසික වශයෙන් රෝගාතුරවීම නිරතුරුවම සිදුවන දෙයකි. සිය දෙනෙකු ගතහොත් ඔවුන් සියලු දෙනාම මානසික රෝගීන්ය. මේ මානසික රෝගය නිසා ම රාගයෙන් ද්වේෂයෙන්. මෝහයෙන් හටගන්නා රෝගවලින් දුක් විඳිනවා. මානසික රෝගවලින් ස්ථිරවම අපට නිදහස් විය හැක්කේ ධර්මය අවබෝධයෙන් ම පමණයි. එම ධර්ම අවබෝධයෙන් සතර අපායෙන් නිදහස් වූවෙකු බවට පත්විය හැකියි.

බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයට ගරු කරන අදහන සමයක් ය. ධර්මය අවබෝධ කරගත හැකි දුෂ්කරව වීර්යෙන් කටයුතු කළ යුතු සමයක් ය. චීවරයක් දරාගෙන ප්‍රතිපත්ති ධර්මයන්හි යෙදී උත්සාහයෙන් කටයුතු කරන්නා වූ උතුමෝ මෙලොව සුලභය. නමුදු ඉදිරියට ඇත්තා වූ කාලය දෙස නෙත්යොමු කරන විට ඇති වන්නේ මහත් වූ භයානකත්වයකි. මෛත්‍රී බුදුපියාණන් වහන්සේ පහළවීමට පෙරාතුව කල්ප ලක්ෂ විසි පහක් බුද්ධ ශුන්‍යය කාල පරිච්ඡේදයකි. ඉතා දුක්මුසු කාලපරිච්ඡේදවල උපතක් ලැබුවොත් කෙතරම් භයානක ද?

යම් කිසි හෙයකින් මෙලොව ජීවිතයේ දී අප ධර්මය අවබෝධ කොට නොගෙන තිරිසන් අපායට වැටුණහොත්, ප්‍රේත ලෝකයේ උපත ලැබුවොත්, අටමහා නරකයේ උපත ලැබුවොත් අසුර ලොව උපත ලැබුවොත් කොපමණ කාලයකින් නැවත ධර්මයේ සුවය විඳින්න ද? සසරේ භයානකත්වය එයයි. එම නිසාවෙන් සැමවිටම ජීවිත්වන මොහොතක් මොහොතක් පාසාම සතර අපායෙහි භයානකත්වය සිහිපත් කළ යුතුවේ. අප දකින සෑම දසුනකම භයානකත්වය දකින ලෙස එහි යථා ස්වභාවය දැක කටයුතු කරන ලෙස භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

දන්තිකා මහරහත් තෙරණින් වහන්සේ අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර වූ ‘පුරිසදම්ම සාරථි’ ගුණයයි. සියලු නොදැමුණු සත්ත්වයන් දමනය කිරීමේ මහත් වූ බුද්ධ බලයක් උන්වහන්සේ තුළ තිබුණි. භාග්‍යවතුන් වහන්සේ සියලු මනුෂ්‍ය සිත්තුළ හට ගන්නා කෙලෙස් දමනයට ධර්ම ඖෂධය ලබාදුන් සේක. ප්‍රඥාව මෝදු වූ නිසාවෙන් දන්තිකා තෙරණිය මහත් වූ වීර්යය වඩා මේ සසර ගමනට අවසාන තිත තැබුවේ පුරන ලද පාරමි ශක්තියෙනි. සසරේ භයානකත්වය සතර අපායේ දුක්ඛිතබව ඉපදීම, මැරීමේ යථා ස්වභාවය අවබෝධ කොට සියල්ලෙහි අනියත බව පසක් කොට ධර්මයෙන් සැනසීමට දන්තිකා මහරහත් තෙරණි උත්තරීතර චරිතවස්තුව උපකාරක වේවා!

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]