UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාරය අසාරය පිළිබඳබෞද්ධ විග්‍රහය

සාරය අසාරය පිළිබඳබෞද්ධ විග්‍රහය

අප විසින් යමි කිසි දෙයක් තෝරා ගැනීමේදී සරුදෙය සහ නිසරු දෙය කුමක්ද, යනුවෙන් වෙන්කරගතයුත්තේ කෙසේද? යන කාරණාව පිළිබඳව බුදුදහමට අනුව අවබෝධ කරගත යුතුයි. සාරය සහ අසාරය සම්බන්ධ බෞද්ධ විවරණය කුමක්ද? සාරය සහ අසාරය කුමක්ද? යනුවෙන් තෝරාගැනීීමේ දී එය කෙසේ නම් කළ යුතුද? යන අවබෝධය තුළ අපගේ වර්තමාන ජීවිතය වඩාත් වාසනාවත්ත සහ වඩාත් සතුටුදායක ආකාරයෙන් ජීවත් වීමට අවස්ථාව ලැබෙයි.

අපගේ සංසාරික ගමන වඩාත් යහපත් ධර්මානුකූල ගමනක් ලෙස පරිවර්තනය වනුයේද , යමි දවසක පූර්ණ අවබෝධය සඳහා යන ගමනේදී නිර්වාණය සාක්ශාත් කරගැනීම සඳහා සාරය සහ අසාරය තෝරාගන්නා ක්‍රමය අනුවයි.අප සියලු දෙනාම වාසනාවට මිනිසුන් ලෙස ඉපදිලා තිබෙන අතර බෞද්ධයන් ලෙස ද ඉපදි තිබීම ඉතාම දුර්ලබ අවස්ථාවක්. අප ඉපදිලා තිබෙන්නේත් බුද්ධ ශූන්‍ය කල්පයක් නොවන, බුද්ධ දේශනාව තිබෙන බුද්ධෝ්ත්පාද කාලයකය. මිනිස් භවය ලැබීමත් වාසනාවක්.බුද්ධෝත්පාද කාලයක මිනිස් භවයක් ලැබීමත් , කල්‍යාණ මිත්‍ර සේවනය සඳහා අවස්ථාව ලැබීමත්, සිදුවන අතර බුද්ධ ශූන්‍ය කාල තුළ කල්‍යාණ මිත්‍ර ඇසුරත් හමුවන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයන් හමුවන්නේම බුද්ධෝත්පාද කාලවල පමණයි. සද්පුරුෂ ඇසුර කල්‍යාණ මිත්‍ර ඇසුර මෙම භවය තුළ ලැබී තිබෙන නිසාම සද්පුරුෂ ධර්මයට කල්‍යාණ මිත්‍ර ධර්මයට ඇහුම්කන් දීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. පෙර සංසාරය පුරා කළ පින් අනුව වටිනා මිනිස් භවයක් මෙම ආත්මය තුළ ලැබී තිබෙන අතර අන්‍ය ආගමකට සම්බන්ධ නොවී බෞද්ධ පියෙකුට දාව බෞද්ධ මව්කුසක ඉපදීමට පුබ්බෙච කත පුඤ්ඤතා හෙවත් පෙර කළ පින් හේතුවෙලා තිබෙනවා.එතුළින් අන්‍ය ආගම්වල ඉපදිලා සිටින පිරිස් පව්කාරයන් ලෙස කිසිදු ආකාරයෙන් අදහස් වන්නේ නැහැ.බෞද්ධයන් ලෙස මේ ලෝකය තුළ ඉපදිලා බෞද්ධ ආගම අදහන පිරිසක් නිසා පවට ලජ්ජාවක් සහ බියක් කුඩා කල සිටම ලැබී තිබීම වාසනාවක්.බුදුදහම තුළ ප්‍රාණඝාතය තුළින් පව් සිදුවන බව හඳුන්වා ඇතත් ඇතැම් ආගම තුළ ප්‍රාණඝාතය පවක් ලෙස හඳුන්වා නැහැ. සොරකම, ප්‍රාණඝාතය, කාමමිත්‍යාචාරය ධර්මයට අනුව අකුසල සිදුවන කාරණා ලෙස දක්වා ඇති අතර අනෙකුත් ආගම් තුළත් අඩු වැඩි වශයෙන් එකී කාරණා පිළි්බඳව පවතින අයහපත් බව සඳහන් කර තිබෙන අතර කුමන ආකාරයෙන් විමර්ෂණය කර බැලුවත් බුදුදහම කිසිදු සත්වයෙකුට කරදරයක් නොවන ආකාරයෙන් ජීවත් වීමට යෝජනා කර ඇත. සැම විටම අපගේ සංකල්ප ක්‍රියාත්මක විය යුත්තේ සබ්බේ සත්ථා භවන්තු සුඛ්තත්වා යනුවෙන් සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා යන්නයි.බුදුදහම මිනිසුන් පමණක් කේන්ද්‍ර කරගනිමින් කතාකරන දහමක් නොවන අතර එය මේ ලෝකය තුළ ජීවත් වන සියලුම සත්ත්වයන් පිළිබඳව සමාන අයිතිවාසිකම් සහිත ආගමක් වෙයි. සියලුම සත්වයන්ගේ අයිතිවාසිකම් බුදුදහම පිළිගන්නා කාරණාවක් වෙයි. සියලු සත්වයන් පිළිබඳව සිතා කල්පනා කළ ධර්මයක් ලෙස බුදුදහම හඳුනාගත හැකියි.සියලු ආගම් සඳහා ගරුකරන බුද්ධ ධර්මය අදහන බෞද්ධ පිරිසක් වීම පිළිබඳව සතුටු විය යුතුයි. ඊළඟ ආත්මය සිංහලයෙකු නොවුනත් බෞද්ධයකු විය යුතුයි. නිවන් දැකීමට අවශ්‍ය කටයුතු කාරණා ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන්නේ බෞද්ධයකු ලෙස ඉපදුනොත් පමණයි. නිවනට අදාළ වන කාරණා සිංහලයන් විසින් කරගන්නේ නැහැ.සබ්බ පා පස්ස අකරණං හෙවත් පවින් මුදවමින් කුසලස්ස උපසම්පදා හෙවත් කුසලයෙහි පිහිටවමින් සද්ධර්මයට අනුව ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේම බෞද්ධකම තුළ පමණයි. ලැබී තිබෙන අවස්ථාව වටිනා අවස්ථාවක් වුවත් දිගු ආයුෂක් ලබා නොතිබිම ගැටළුවක් වෙයි.කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ මිනිස් අයුෂ හතළිස් දහසක් පැවතුණ බවද, කෝනාගම බුදුරජාණන් වහන්සේගේ යුගය වන විට මිනිස් අයුෂ අවුරුදු තිස් දහසක්ද , කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලය තුළ පරම අයුෂ අවුරුදු විසි දහසක් ද, ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු එකසිය විස්සක් ද වෙයි. වර්තමානය වන විට පිරිමියෙකුගේ පරම ආයුෂ අවුරුදු හැටක් හැත්තෑවක් වන අතර අපේ රට තුළ කාන්තාවන් තවම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී නොමැති නිසා කාන්තාවකගේ වයස අවුරුදු හැත්තෑවක් හැත්තෑ පහක් අතර ප්‍රමාණයක රැඳී තිබෙයි.

කල්ප විනාශය ළඟා වීමත් සමඟ මිනිසාගේ ආයුෂ කාලය අඩුවෙයි. අවුරුද්දට දින තුන්සිය හැටපහක් තිබෙනවා නම් ,අවුරුදු අසූවක් ජීවත් වුවහොත් දින විසිනවදහස් දෙසියක් වෙයිි. තමන්ගේ වර්තමාන වයස හැත්තෑව නම් හැත්තෑව තුන්සිය හැටපහෙන් ගණනය කළ විට ජීවත්ව සිටින දින ගණන ලැබෙන අතර එම ලැබෙන ගණනෙන් දැනට ජීවත් සිටි දවස් ගණන අඩු කළ විට ඉදිරියට ජීවත් වීීමට තිබෙන දින ගණන ලැබෙයි. අවුරුදු අසූවක් ජීවත් වුණා යනු දින විසිනවදහස් දෙසියක් පමණයි. ‘අච්න්ත්‍ය තම්පි භවතේ’ නොසිතපු ආකාරයේ සිදුවීමක් මෙම අතර තුර සිදුවිය හැකියි. සිතාගෙන සිටි අකාරයේ දෙයක් විනාශ වෙලා යාමේ හැකියාව තිබෙන්නත් පුළුවන්.බුද්ධොත්පාද කාලයක් තුළ දුර්ලභ මිනිස් භවයක් ලැබී තිබෙන අතර සද්ධර්මය ද ලැබී තිබෙනවා කල්‍යාණ මිත්‍රයන් ගේ ඇසුර ලැබීමේ අවස්ථාව ලැබී තිබෙනවා. සද්පුරුෂ ඇසුර ලැබී තිබෙනවා. ලැබී තිබෙන මිනිස් ආත්මභාවය දීර්ඝ අයුෂයක් සහිත මිනිස් භවයක් නොවි අල්ප ආයුෂ සහිත වීම ගැටලුවක් වෙයි. අල්ප ආයුෂ සහිත වූ මිනිස් භවය ලැබුණ අවස්ථාව තුළ අප විසින් කරනු ලබන්නාවූ තෝරා ගැනීම් ඉතාම නිවැරැදි ආකාරයෙන් සිදුකර නොගත හොත් , සාරය සාරය ආකාරයට හඳුනානොගත හොත් අසාරය අසාරයඅකාරයට හඳුනානොගත හොත් ඊළඟ භවය මිනිස් භවයක් හෝ බුද්ධ ධර්මය අදහන ආත්ම භාවයක් නොවී තිරිසන් ආත්මයක් ලැබී සතෙක් අකාරයට ජීවත් වීමට ද සිදු විය හැකියි.තිරිසන් අපායක නිරිසත්වයෙකු ද විය හැකියි .ප්‍රේත විෂයෙහි ඉපදුන නිරිසත්වයෙකු ද විය හැකියි. නිරි සත්වයෙකු වනවාසේම අසුර කොටස් අතරද ඉපදුන ගව් දහස් ගණන් දිගු ශරීර තිබෙන ඉදිකටු තුඩක් අකාරයේ හිසක් තිබෙන ආකාරයෙන් ඉපදුන හොත් නැවත සද්ධර්මයක් හෝ කුසලයක් වැඩීම පිළිබඳව සිහිනයකින් වත් සිතීම අපහසුවෙයි. කුසල් කරගැනීමට අවශ්‍ය පින හෝ අවබෝධයක් ඔවුනට නොමැති නිසාම සංසාරය පුරා ගමන් කරනවා විනා දුකෙන් නිදහස් වීමට හෝ සංසාරයෙන් නිදහන් වීමට සිතීමේ අවස්ථාවක් වත් ලැබෙන්නේ නැහැ.

දේවදත්ත කල්ප සියගණනාවක කාලයකට අවිචියට වැටී ඇත. කල්පයක කාලය අවුරුදු මාස සති, දින, පැය තත්පර වශයෙන් ගණනය කළ නොහැකිය. කල්පයට අදාල වන වර්ෂ ප්‍රමාණය ගණනය කළ නොහැකිය. මෙම උපමා තුළින් එය අවබෝධ කරගත යුතුයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ කල්පය පිළිබඳව නිතරම තොරතුරු සඳහන් කරනවා. කල්පය ලෙස සඳහන් කරනු ලබන්නේ කෙතරම් පුමාණයක් ද? යනුවෙන් ස්වාමීන්වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාරනු ලැබුවා. පින්වත් භික්ෂුව, ඔබට එය තේරුම් ගැනීම අපහසුයි.ඒ වගේම දුෂ්කරයි. ඔබට එය තෝරාදීම මටත් දුෂ්කරයි. එම ස්වාමීන් වහන්සේත් බුද්ධ්මත් නිසාම බුදුරජාණන් වහන්සේ කල්පය පිළිබඳව තෝරාදීම දුෂ්කරයි කියනවා මිස බැහැයි යනුවෙන් දේශනා කරන්නේ නැහැ. අවසානයේදී නැවත වතාවක් එම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අමතමින්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වදාරනු ලබන්නේ දූෂ්කර බවයි.එය තේරුම් ගැනීමට පහසු ආකාරයට උපමාවක් ගෙන තෝරා දෙන ලෙස ඉල්ලීමක්ද, කරනු ලැබුවා. පින්වත් භික්ෂුව, සැතපුම් හතක් උස සැතපුම් හතක් දිග සැතපුම් හතක් පළල යෝධ කළු ගල් තලාවක් පිළිබඳව සිතන්න. එම කළු ගල් තලාව අවුරුදු සියයකට වතාවක් ඉතාම සිනිඳු රෙදි කඩකින් කවුරුන් හෝ පිස දමනවා නම්, එම ආකාරයෙන් පිස දැමීම නිසා එම කළු ගල ගෙවී අවසන් වනවාද, පින්වත් භික්ෂුව, එදාටත් කල්පය අවසන් වන්නේ නැහැ. එවැනි සංසාර ගමනක් පිළිබඳව බුදුදහම පමණක් විශ්වස කරයි.එක නිරයකට වැටුණහොත් කල්ප ගණන් ගෙවන් කරන්න වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. දේවදත්ත එවැනි කල්ප සිය ගණනාවක නිරයක වැටුණා. සද්ධර්මයක් ඇසෙන්නනේ නැහැ වගේම සද්ධර්මයක් අවබෝධ කරගැනීමේ අවස්ථාවක් නැහැ. විශාල කර්ම ශක්තින් ලෙස දුක්විඳිමින් කර්ම ගෙවයි. ඔබ සහ අප හදිස්සියේ හෝ හෙට උදෑසන මියගොස් එවැනි ආකාරයේ අවීචි නිරයක උප්පත්තිය ලැබුවහොත් බුද්ධෝත්පාද ගණනාවකට නැවත පැමිණෙන්න ලැබෙන්නේ නැහැ.තිරිසන් අපාය තුළ ඉපදුන සතෙකුට නැවත මිනිස් ලෝකයට පැමිණීමට තිබෙන අවස්ථාව කෙතරම් දුුර්ලභද? යන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. පින්වත් මහණෙනි, තිරිසන් අපාය තුළ ඉපදුන පුද්ගලයෙකු නැවත ෙමි ලෝකය තුළ ඉපදීමට තිබෙන අවස්ථාව පැහැදිළි කරනවා නම්, මිනිස් භවය සමානයි කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලීම. එය ඒතරම්ම දුර්ලභ අවස්ථාවක් වෙයි. සාරය සාරය ලෙස තෝරාගත යුත්තේද එම නිසයි. අසාරය අසාරය ලෙස තෝරාගත යුත්තේද? එම නිසයි. දුර්ලභ මිනිස් භවයක් සමඟ සද්ධර්මයත් ලැබුණ අවස්ථාවක හරය අතහැර දමා නිසරු දෙය වැළඳගනු ලැබුවහොත් අපගේ ඊළඟ භවය කොතනැට ගමන් කරාවිද?යන්න කිව නොහැකියි. ඊළඟ භවය ගමන් කරන්නේ කොතැනටද? යන්න තීරණය වන්නේම දිගු කාලයක සිට මනස කුමන ආකාරයකට පුරුදු පුහුණු කර තිබෙනවාද? යන කාරණාව මතයි.

බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරමය තුළ වැඩ සිටින කාලය තුළ මහානාම ශාක්‍ය රජතුමා නිතරම විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරනු ලැබුවා. ස්වාමීනී , භාග්‍යවතුන් වහන්ස,කිඹුල්වත් නුවර හරහා පැමිණෙන විට හරිම ජනාකීර්ණයි. සිවුරඟ සේනාවම සිටිනවා. එම සේනාව නිසා හෝ රථයක් නිසා හෝ මම කිඹුල්වත් නුවර හරහා පැමිණෙද්දී හදිස්සියේම මරණයට පත්වුවහොත් මගේ ගතිය කුමන ආකාරයේ ද? මගේ චුතිය කුමන ආකාරයේ ෙවිවිද? යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මහානාම රජතුමා ප්‍රශ්නයක් විමසා සිටි අතර එයට පිළිතුරු නොදී සිටි බුදුපියාණන් වහන්සේ පෙරලා මහානාම රජතුමා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.රජතුමනි, ඔබතුමාගේ ගෙවත්ත තුළ ගස් තිබෙනවාද?එම ගස් නැමී තිබෙන්නේ කුමන දිශාවටද?

ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස , එම ගස් පෙර දිගටම හැරී, නැමී, බරවී තිබෙනවාට රජතුමනි, එම ගස් බොහෝ කාලයක සිට එසේ බරවී නැමී තිබෙනවාද?ස්වාමීනී ,මම දන්න කාලයේ සිටම එම ගස් පෙරදිගටම නැමි තිබෙනවා. නැගෙනහිරටම නැමුන, නැගෙනහිරටම හැරුන නැගෙනහිරටම බරවෙලා තිබෙන ගස් සුළඟට වැටුණත්, දිරාගොස් වැටුණත්, හදිස්සියේ වැටුණත්, ගස කපද්දී වැටුණත්, එම ගස් වැටෙන්න පුළුවන් කුමන පැත්තටද? යනුවෙන් රජතුමාගෙන් ඇසූ ප්‍රශ්නයට පෙරලා රජතුමා ලබාදුන් පිළිතුර වූයේ බොහෝ කාලයක් හැරිල , බරවී නැමී තිබුනේ පෙරදිගට නිසා වැටෙනවා නම් වැටෙන්නෙත් පෙරදිගටමයි. අපගේ සිතත් බොහෝ කාලයක් හැරිලා නැමීලා බරවෙලා තිබෙන්නේ කුමන පැත්තටද?අන්තිම හුස්ම පොද යනවිට විඤ්ඤාණය වැටෙන්නෙත් එම පැත්තටමයි. අප වැටෙන පැත්ත තම තමන්ටම සිතාගත හැකියි.

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]