UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදට්ඨ කථාවෙන්: 

සප්ත වෘතයක් සපුරා සක් දෙවි

"තමන් කළ පින්කම්හි ආනිසංස මෙලොවදීම දුුටු පිරිස බොහෝ ප්‍රසාදයට පත්ව ගමට ගොස් ගමෙහි සිවු මංසන්ධියෙහි විශ්‍රාම ශාලාවක් කරලීමට තීන්දු කළහ. මෙම ශාලාවෙහි ඉසුරුවතුනට ද , දුප්පතුන්ට ද, ගිලනුන්ට ද යනුවෙන් කොටස් තුනක් වීය."

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටි සමයෙහි මහාලී නමැති ලිච්ඡවියෙකු පැමිණ ශක්‍රයා පිළිබඳව ඔබ වහන්සේ දන්නේ කවරක්දැ’යි විමසා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහාලිය, තමන් වහන්සේ ශක්‍රයා දුටු බවත් එම දැකීම අතිශයින් දුෂ්කර කාර්යයක් බවත් වදාළේය. එමෙන්ම ශක්‍රයා බවට පත්වීමට අවශ්‍ය කරුණු ද හොඳින් දන්නා බව ද දෙසීය. සක් දෙවිඳු පෙරදී මඝ මානවක නමින් මනුෂ්‍යයෙකුව ඉපදී සිටි බවත්, නගරයක් පාසා දන් දුන් බවත්, සකසා දන් දුන් බවත් , ආවාස සාදා දුන් බවත්, සුජාතා නම් බිරිඳක් සිටි බවත් බුදු හිමියෝ පැහැදිලි කළහ.

පෙර මනුෂ්‍යයෙකුව ඉපිදී සිටි මෙම සක්දෙවි රජ සප්ත ව්‍රතයක් සමාදන්ව ඊට අනුව ජීවත් වූ බවත් එය ශක්‍ර දිව්‍ය සම්පත් ලබන්නට හේතු වූ බවත් බුදු හිමියෝ පෙන්වා දුන්හ. අනතුරුව එම සප්ත ව්‍රතයද පැහැදිලි කොට වදාළහ. එනම්

01. දිවි ඇති තෙක් මවුපියන් පෝෂණය කිරීම

02. දිවි ඇතිතාක් කුල දෙටුවන් පිදීම

03. දිවි ඇතිතාක් මෘදු වචන ඇත්තෙක් වීම

04. දිවි ඇතිතාක් කේළාම් කීමෙන් වැළකීම

05. දිවි ඇතිතාක් මසුරු සිතින් දුරු වීම

06. දිවි ඇතිතාක් සත්‍ය ප්‍රකාශ කිරීම

07. දිවි ඇතිතාක් ක්‍රෝධ සිතින් දුරු වීම

යන්නයි. දැහැමියෙකුගේ පැවැතිය යුතු මෙම උතුම් ගුණ දෙවි මිනිසුන් දෙපිරිසේම බුහුමනට හේතු විය.

මහාලීයනි, පෙර මඝමානවකව මෙම උතුම් ප්‍රතිපදාවෙහි යෙදුණු බවත් ඒවා වඩාත් සවිස්තරාත්මකව දැන ගැනීම පිණිස විස්තර විවරණ ඉදිරිපත් කොට වදාළහ.

පෙර මගධයෙහි මචල නම් ගමෙහි මඝ නම් මානවකයෙක් ගමේ එක් බිමක් සකසා ඉතා රමණීය තැනක් බවට පත් කළේය. එතැනට පැමිණි වෙනත් මිනිසෙක් ඔහුට පහර දී ඒ තැන අත්පත් කර ගත්තේය. එවිට මඝමානවක ඔහුට ද්‍රෝහි නොවී වෙනත් තැනක් රමණීය ලෙස සැකසීය. එතැන ද වෙනත් කෙනෙකු අල්වා ගත් විට තවත් බොහෝ තැන් සැකසීය. ඒ සියල්ල අනෙක් අය අල්වා ගත්හ. එවිට මෙම සියලු දෙනාට සැපවත්ව වාසය කරන්නට භාග්‍යය උදාවිය. මඝ මානවක ඒ දෙස බලා තමන් බොහෝ පින් රැස් කර ගත්තේ යැයි සතුටු විය.

අනතුරුව මඝමානවක තෙමේ මාර්ග සැකසීම ආරම්භ කළේය. කඳු සහිත තැන් සමතලා කොට ගස් , අතු ආදිය ඉවත් කොට පහසුවෙන් යා හැකි ලෙස මාර්ග පිළියෙළ කළේය. මඝ මානවකගේ මෙම යහපත් ක්‍රියාව දුටු අනෙක් පිරිස ද ඔහුට එක් වීය. සියල්ලෝම තිස් තුන් දෙනෙක් වූහ. ඒ සියලු දෙනා ඒකරාශී වී මුළු ගම්මානයම සංවර්ධනය කළහ.

මඝමානවකගේ මෙම සත් ක්‍රියාව දුටු ගම්මුලාදෑනියා මෙයින් තමන්ට ලැබෙන සියලු ලාභ ප්‍රයෝජන නැති වෙති’යි කුපිතව මොවුන් විනාශ කර දමමි’යි සිතා රජු වෙතට ගොස් සොරකල්ලියක් ගම වනසති’යි ගම නසති’යි පැමිණිලි කළේය. ඔවුන් අල්වා ගෙන එන්නැ’යි රජු නියෝග කළ අතර, අනතුරුව සියලු දෙනා ඇතුන් ලවා පාගවා මරා දමන ලෙස අණ කළේය. මඝ මානවක සෙස්සන් අමතා සියලු දෙනාට ක්‍රෝධ නොකර මෛත්‍රියම දක්වන්නැ’යි ඉල්ලීය. මෛත්‍රියේ ආනුභාවයෙන් ඇතුනට ඔවුන් සමීපයටවත් පැමිණිය නොහැකි විය.

මෙසේ වීමට කිසියම් හේතුවක් ඇතැ’යි සිතූ රජතුමා ඔවුන්ගෙන් විමසූ විට තමන් හොරුන් නොවන බවත්, ගම්මුලාදෑනියා තමන්ට බොරු චෝදනා කළ බවත්, තමන් කිසිවෙකුට ක්‍රෝධ නොකරන බවත්, මෛත්‍රීය වඩන බවත්, ඒ සත්‍ය බලය හැර වෙනත් කිසිදු බලවේගයක් තමන් තුළ නොමැති බවත් මඝමානවකයෝ රජුට කීහ.

ඔවුන්ගේ ගුණය තිරිසනුන්ටත් දැනුණු බව අවබෝධ කළ රජතුමා ඇතු ද පිරිනමා තම ගමට යන්නට අවශ්‍ය කටයුතු යෙදීය. තමන් කළ පින්කම්හි ආනිසංස මෙලොවදීම දුුටු පිරිස බොහෝ ප්‍රසාදයට පත්ව ගමට ගොස් ගමෙහි සිවු මංසන්ධියෙහි විශ්‍රාම ශාලාවක් කරලීමට තීන්දු කළහ. මෙම ශාලාවෙහි ඉසුරුවතුනට ද , දුප්පතුන්ට ද, ගිලනුන්ට ද යනුවෙන් කොටස් තුනක් වීය. මෙහි කැණිමඬල සුධර්මා බිසව වෙතින් ලබා ගත් හෙයින් ‘සුධර්මා ශාලාව’ ලෙසින් ද ප්‍රසිද්ධ විය. එසේම නන්දා නම් බිසව මේ අසල “නන්දා” නම් පොකුණක් තැනුවාය. මඝ මානවකයාත් පෙර කියන ලද සප්ත ව්‍රතයන් සපුරා ගනිමින් කල් ගත කළේය.

මෙසේ විශිෂ්ට සමාජ මෙහෙවරක නිරත වූ මඝමානවක ඒ පිනෙන් දිවි කෙළවර තව්තිසාවෙහි ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස උපත ලැබුවේය. එහි අසුරයන් ද පරාජය කොට වෛජන්ත ප්‍රාසාදයෙහි වාසය කළේය. පරසතුමල් උයන් දස දෙස පහළ විය. ඓරාවන නම් හස්ති රාජයෙක් ද , සුධර්මා, නන්දා හා චිත්‍රා බිසොවුන් ද සක් දෙවිඳුගේ දිව්‍ය බිරින්දෑවරුන් ලෙස පහළ විය.

මෙසේ ශක්‍රයා පිළිබඳ පූර්ණ වූ කතාව බුදුහිමියෝ මහාලී ක්ෂත්‍රියාට කියා වදාළහ. මනුෂ්‍ය ලෝකයෙහි අප්‍රමාදීව සහ යහපත් ප්‍රතිපදාවෙන් යුතුව දිවි ගෙවීමේ අගය ද පෙන්වා වදාළහ. එබැවින් අප්‍රමාදීව කුසලයෙහි නිරත වීමේ වටිනාකම පෙන්වා දුන්හ. මහාලීය ශාක්‍ය පුත්‍රයා මේ අසා සෝවාන් ඵලයට පත් වූයේය.

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]