UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දියුණුවේ දොරටුව 14: දියුණුවට බාධා කරන සත්විසි මදය

දියුණුවට බාධා කරන සත්විසි මදය

සත්විසි මදය ලෙස ධර්ම විසිහතක් තිබෙනවා. එයින් උඩඟුවීමෙන් කිසිම කෙනෙකුට දියුණුවක් ලබන්නට බැහැ. ආධ්‍යාත්මික , බාහිර, ලෞකික, ලෝකෝත්තර, දෛනික වශයෙන් දියුණුවක් ලබන්නට බැහැ. එයින් නිදහස්ව ඒ සත්විසි මදයෙන් තොරව කටයුතු කරන අයට ආධ්‍යාත්මික, බාහිර , ලෞකික ,ලෝකෝත්තර , දෛනික දියුණුව ලබන්නට පුළුවන්.

ඒවා බුදුදහමට අනුව සියලු තතු විමසා බලා දැනගෙන තමන්ගේ සිත දියුණුකර ගැනීමට කටයුතු කළ යුතුයි. එයින් මනුස්ස, දේව, බ්‍රහ්ම, නිවන් සම්පත් ආදී සියලු සම්පත් ළඟාකර දෙන්නට පුළුවන් බව තථාගත ධර්මයේ සඳහන් වෙනවා. සත්විසි මදය යනු ජාති, ගෝත්‍ර, ආරෝග්‍ය, යෞවන, ජීවිත, කාම, ලාභ, සත්කාර, ගරුකාර, ඔරෙක්කාර, පරිවාර, භෝග, වර්ණ, සුත , රත්තඤ්ඤ, පිණ්ඩපාතික , ගුණවන්තඥප්ති, අනවඤාප්ති , ඉරියාපථ , ඍද්ධි , යස, සීල, ත්‍යාග, සිප්ප, ආරෝහ පරිණාහ, සන්ඨාන, පාරිභෝගික යන මද විසිහතක් තථාගත ධර්මයේ සඳහන් වෙනවා. ඉපදීම පිළිබඳව හටගනු ලබන මදය උප්පත්ති නොහොත් ජාති මදය ලෙස හඳුන්වනවා. ඒ ඉපදී තිබෙන වංශය, ජාති, ඉපදී තිබෙන ආකාරය සිතුවොත් මත් වෙනවා. එය හොඳ දෙයක් නෙවෙයි. ආරෝග්‍ය මදය – නිරෝගිකම ගැනම සිතලා මත්වී වාසය කිරීමත් හොඳ දෙයක් නොවෙයි. ජීවිත මදය – තමන්ගේ ජීවිතය තරම් අන්‍යයන්ගේ ජීවිතය වටින්නේ නැහැ”යි සිතා ඒ පිළිබඳව මත්වී සිටීම ජාති මදයයි. ගෝත්‍ර මදය– තමාගේ ගෝත්‍රය, වංශය ගැන සිතලා මා තමයි ඉහළ ගෝත්‍රය, වංශය යැයි සිතා ඒ පිළිබඳව මත්වීමයි. යෞවන මදය– මා දැන් සිටින්නේ තරුණ වියෙහිය. අන් අයගේ තාරුණ්‍යය මගේ තරුණ විය තරම් වටින්නේ නැහැ”යි සිතා මත්වීමයි. ලාභ මදය– මට විතරයි ලැබෙන්නේ අන් අයට එහෙම නැහැ”යි සිතීමයි. මගේ ව්‍යාපාර, මගේ ගව සම්පත මගේ කෘෂි කර්මාන්තය දියුණු වෙලා මට නොයෙක් ලාබ ලැබෙනවා කියලා මත්වී වාසය කිරීමයි. මේවා පිරිහීමක් මිස දියුණුවක් වෙන්නට බැහැ. සත්කාර මදය – මට විතරයි සත්කාර සම්මාන, ගෞරව ලැබෙන්නේ. අනෙක් අයට ඒ මුකුත් නැහැ”යි තමන්ට ලැබෙන සත්කාර සම්මාන ගැන මත්වී වාසය කිරීමයි. ගරුකාර මදය – මට විතරයි ගරු බුහුමන් දක්වන්නේ. ඒ වගේ අන් අයට නැහැ කියලා තමන් මත්වී උඩඟු වෙලා අනුන් පහත් කර සැලකීම ගරුකාර මදයයි. ඔරෙක්කාර මදය– මා තමයි පෙරටුව යෑමට එකම සුදුස්සා මා කියන දෙය තමයි හැමෝම අහන්න ඕන කියලා නොයෙකුත් දුර්මත ඇති කරගෙන තම හිතේ මත්වීම වැඩිකර ගන්නවා. පරිවාර මදය – මට පරිවාර සේනාව සිය ගණන්, දහස් ගණන් සිටිනවා. මේ ගමත්, අහවල් ගමත් මගේ පිරිසයි සිතමින් තම පරිවාර සම්පත ගැන මත්වී උඩඟුව වාසය කිරීමයි . භෝග මදය – මිල මුදල් , කෙත්වතු, යාන වාහන ආදී නොයෙකුත් සම්පත් තියෙන්නේ මට පමණයි. අන් අයට එහෙම නැහැ කියලා සිතීම භෝග මදයයි. වර්ණ මදය – මගේ සිරුරේ වර්ණය දෙවියෙක්, දිව්‍යාංගනාවක් වාගේ සිතා අනුන්ගේ පැහැය දුර්වර්ණ බව දර්ශනය නැතැයි පහත් කොට සලකා තමන් වර්ණ මදයෙන් මත්වීමයි. සුත මදය – මට විතරයි අහන්න පුළුවන්. දරාගන්න පුළුවන්. අනෙක් අයට අහන්න බැහැ. දරාගන්න බැහැ. බහුශුැත බව මට වගේ නැහැ කියලා අනුන් ප්‍රතික්ෂේප කරලා තමන්ගේ ශුැත භාවය සිතමින් උඩඟු වී මත්වීම. පටිභාන මදය – මම දක්ෂයෙක්මි. ප්‍රතිමාන කෞෂල්‍ය ඇත්තෙක්මි සිතා අනුන් පහත් කර තමන් උසස් කර සලකා මත්වීමයි. රත්තඤ්ඤ මදය – මා පමණයි මුල පටන් විස්තර දන්නේ. ඒ නිසා මගෙන් හැම දෙයක්ම අහන්න ඕනැයි සිතා මත්ව වාසය කිරීමයි. බුද්ධ ශාසනයේ පළමුවන රහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේයි. උන්වහන්සේ බුද්ධ ශාසනය මුල පටන්ම දත් නිසා චිරරාත්‍රඥප්‍රාප්ත මහ රහතන් වහන්සේ නමින් හැඳින්වූවා. නමුත් රහත් බව ලැබූ කොණ්ඩඤ්ඤ තෙරණුවන්ට කිසිම මද මාන්නයක් නැහැ. නමුත් බොහෝ දෙනා යමක් මුල පටන්ම දන්නවා නම් මද මාන්නයක් ඇති වෙනවා. පිණ්ඩපාතික මදය – මේ මදය ඇත්තේ ඇතැම් භික්ෂූන් වහන්සේටයි. දානයකට වැඩියොත්, මට විතරයි මේ තරම් දානය ලැබෙන්නේ මට විතරයි මේ තරම් ආහාර ලැබෙන්නේ යැයි සිතමින් ලැබෙන දේ පිළිබඳව මත්වීමයි. ගුණවන්තඥාප්ති මදය – මට විතරයි තර්ජන , ගර්ජන කරන්නේ සිතා එයින් මත්වීම . ඉරියාපථ මදය– මට වාඩිවෙලා පැය දෙක, තුන, හතර සක්මන් කරන්න, සිටගෙන ඉන්න පුළුවන් කියලා තමන් ගැනම කථා කරමින් අනුන්ට බැහැ කියලා සිතිමයි. එහෙමනම් , මේ කිසිවකින් මත්වී වාසය කිරීම සුදුසු නැහැ. ඍර්ධි මදය – නොයෙක් ඍර්ධි ප්‍රාතිහාර්ය මට දක්වන්න පුළුවන්. මගේ මේ දක්ෂකම අන්‍යයන්ට නැතැයි සිතමින් අන් අය පහත්කර තමන් උසස්කර සලකමින් මත් වීමයි. යස මදය – මට කීර්ති , ප්‍රසංසා ඕන තරම් ලැබෙනවා සිතමින් එයින් මත් වීම අයහපත් දෙයක්.

සිප්ප මදය – තමන් ඉගෙනගත් සිප් සතර පිළිබඳ ධර්මතා පිළිබඳ සිතමින් අනුන් පහත්කර තමන් උසස් ලෙස සැලකීමයි. ආරෝහ මදය– මගේ තමයි ආරෝහ පරිණාම ලක්ෂණ තිබෙන්නේ යැයි සිතීම. නමුත් බුද්ධ ශ්‍රී දේහය දැකුම්කළුයි. මනරම්. ඒ ගැන හිතා බුදුරජාණන් වහන්සේ සිදු කරගත්තේ පිනක්. ධර්ම ඥාන , භාවනාඥාන , දියුණු කරන්න පුළුවන් කියලා සතුටට පත්වී පෙර දැක්වෙන නීවරණ බලවත්වි තමාගේ ධර්මතාව ඉස්මතු වුණා. ප්‍රතිභාන කෞෂල්‍ය මදය – දක්ෂව උපදින්නෙත් බොහොම ස්වල්ප දෙනයි සිතමින් උඩඟු වීම. පරිපූර්ණ මදය – හැම දෙයකින්ම මා පිරිපුන්. කිසිම අඩුපාඩුවක් නැහැ. කෙත් වතු යාන වාහන ආදියෙන් පිරිපුන් නිසා සෑම අතින්ම පරිපූර්ණයි සිතමින් ඇතිවන මදය පිරිපුන් මදයයි. සන්ඨාන මදය – සටහන් තැබීමෙන් ඇතිවෙන මදය ආදී පිරිහීමේ ක්‍රම විසිහතක් සත්විසි මදය යනුවෙන් හඳුන්වනවා. එසේනම්. සත්විසි මදයම විරුද්ධාර්ථයට ගෙන එයින් තමන්ට පුළුවන් දියුණුවේ දොරටු සලසාගෙන මෙලොව පරලොව සුගතියත් නිවනත් ලඟා කර ගන්න. එහෙමනම්, සත්විසි මදය ගැන හොඳ දැනීමක් ඇතිකරගෙන පිනට, දහමට , ගුණයට නැඹුරුව කටයුතු කර මෙලොව පරලොව සකසාගෙන පාරමී ගුණ දහම් දියුණු කර නිවන් මඟ පසක් කරගන්න මේ කරුණු ඉතාමත් වැදගත්.

සිත සකසාගන්න අසීරු අයට මේ කියන පාඩම බොහොම හොඳයි. සිතේ පහළවෙන මද විසිහත සත්විසි මදය පාපී සිතිවිලිබව හඳුනාගෙන, මදයෙන් මත්නොවී ඒවා ප්‍රතික්ෂේප කරගෙන යහපත් මඟට බැසගෙන නිවන් මඟ උදෙසා කටයුතු කළ යුතුයි.

මෙලොව, පරලොව, ජීවිතය සකස් කරගැනීමට යහපත් ධර්ම අවශ්‍යයයි. කෙනෙකු නිවනට පත් කරනු ලබන්නේ තම තමාගේ පාරමී ගුණ වාසනාවයි. අන්න ඒ වාසනාවන් ගැන සිතමින් කල්පනාකර ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයෝ දියුණු කරගෙන හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්, පව් කරන්න එපා පින්කරගෙන ගුණ දහම් දියුණුවෙන් යහපත සකසා ගෙන නිවන් මඟ සලසා ගන්න. තිරිසන් ලෝකයේ සැවොම දියුණුවට කැමැතියි. මිල මුදල් කෙත්වතු , යාන වාහන ආදී ආර්ථික වශයෙන් දියුණුවක් සකසා ගැනීමට පින අවශ්‍යයයි.

මුල, මැද, අග පින සකසාගත්තොත් ඒ පිනට අවශ්‍ය සම්පත් ලබන්න පුළුවන්. සැප සම්පත් අපේක්ෂා කරන්නන් දාන, ශීල, භාවනා පින් කළොත් සැප ලැබෙනවා. දුගී , දුප්පත් අසරණ බවින් අත්මිදී පුණ්‍යවන්ත, ගුණවන්ත ජීවිත ගතකර ඉතාමත් සැනසිලිදායකව මේ ගමන ඉදිරියට යාමට සුවිශේෂී වන්නේ උත්සාහයයි. උත්සාහවන්තයාට තිබෙන සත්‍යයේ බලය නිසා “උත්සාහවන්තයා ජය ගනී” යනුවෙන් හැඳින්වෙනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොවේ පහළ වී පිරිහීමේ සහ දියුණුවීමේ ක්‍රම වදාළා.

සිඟාලෝවාද සුත්‍රය, කසීභාරද්වාජ සූත්‍රය, අග්නි භාරද්වාජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සුත්‍රය , මහා මංගල සුත්‍ර වැනි සූත්‍ර දේශනාවලින් සිත දියුණුකරන්නේ කෙසේදැ”යි තථාගත ධර්මයේ හොඳින් සඳහන් වෙනවා.

තමාගේ යහපත සකසාගෙන මේ ගමන නොනැවතී ඉදිරියට යාමෙන් තමන්ට පුදුම විදිහේ ශක්තියක්,බලයක් ලබාගන්න පුළුවන්. එසේ සිතමින් බුද්ධ ශාසනයක ලබාගත යුතු ධර්මතා හොඳට ලබාගෙන පරලොව ජීවිත වාසනාවන්ත කරගත යුතුයි.

භික්ෂු , භික්ෂුණී , උපාසක, උපාසිකා, යන සිව්වනක් පිරිස ලොවුතුරු තථාගත දහමට අනුව වැඩකටයුතු කර ශීල, සමාධි, ප්‍රඥා ආදී බෝධි පාක්ෂික ධර්ම දියුණුවෙන් දාන, ශීල, නෛෂ්කර්ම ආදී දස පාරමිතාවන් සපුරා ගෙන තමන්ම උත්සාහ ගත්තා. එසේනම්, තමාගේ දියුණුව, යහපත තමාම සලසා ගැනීමට උත්සාහවත් වන්න.

පින තිබුණොත් සැප ලැබේවි. මනුෂ්‍යයාට , දෙවියාට ,භික්ෂූන් වහන්සේට සැපවත් දිවියක් ලබන්න පින අවශ්‍යයයි. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මේ උතුම් මඟ ගමන් කරමින් ආශිර්වාදයෙන් කටයුතු කළා. මේ උතුමන් තුනුරුවන්ට ඇප කැප වී ජීවිත පූජාවෙන් අප්‍රමාණ පින්දහම් කළේ තමාගේ යහපත සඳහාමයි. පිනට දහමට මෙන්ම පරලොවට නැඹුරුව ශීල ආදී ප්‍රතිපත්ති අනුගමනය කරන ඕනෑම අයෙකුට මේ ලොවුතුරු දහම අවබෝධ කරගන්න පුළුවන්. ඔබ, අප සියලු දෙනාම ශීල, සමාධි, ප්‍රඥාවන් වඩා පාරමිතාවන් සපුරා ගැනීමට සත්විසි මදයෙන් දුරුවීමට අවශ්‍ය ශක්තිය, බලය ලැබේවා’යි තෙරුවන් සරණින් අනන්ත බුද්ධාදී ගුණයෙන් රත්නත්‍රයේ ආනුභාවයේ බලයෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]