UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමාජ මෙහෙවරේ අපේක්ෂාව ජාතික ආගමික සංහිඳියාවයි

සමාජ මෙහෙවරේ අපේක්ෂාව ජාතික ආගමික සංහිඳියාවයි

 "වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා ඉකුත් ලෝක ළමා දිනය යෙදුනු දා උන්වහන්සේ මුල්ගල තැබූහ. තිහාරිය අල් අස්හාර් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා ඉකුත් 6 වනදා මුල්ගල තබන ලදී. හින්දු ආගමික පාසල් දරුවන් වෙනුවෙන්ද එවන් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවීමටද උන්වහන්සේගේ අපේක්ෂාවයි. "
 


ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි

යහපත් වූ අදහස් ජනතාවගේ සිත්සතන් තුළ පෝෂණය කළ යුතු වෙයි. එමෙන්ම එබඳු යහපත් අදහස් ඇති සැමට සාමුහිකව ජීවත්විය හැකිවේ. ගෘහස්ථ ජීවිතය එකම පවුලක සාමාජිකයන්ගේ එකතුවකි. එවන් පවුල් කිහිපයක එකතුවක් සමාජයක් වෙයි. මෙසේ එක් එක් තැනැත්තා යහපත් වූ තරමට සමාජයම යහපත් වන බව පෙනීයන්නකි. මිනිස් සමාජය තුළ සමඟිය. සංහිඳියාව උදාකරවීම මෙකල වෙසෙන අපගේ වගකීමය. ඒ සඳහා ශක්ති පමණින් තම තමන්ට කළ හැකි දෑ ඉටුකිරීමද වගකීම වන බව ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමියෝ පවසති.

සමාජයේ වෙසෙන අද දරු පරපුර හෙට වැඩිහිටි පරපුර බවට පත්වේ. ඔවුන් නැණ නුවණින් මෙන්ම ගුණ නුවණින්ද පෝෂණය කළ හැකි වන්නේ නම් එය මහත් සමාජ මෙහෙවරක් වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

පාසල් අධ්‍යාපනයෙහි නිරත දරුවන් වෙනුවෙන් මහත් මෙහෙවර රැසක යෙදෙන අත්තනගල්ල රජ මහා විහාරාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ සංකල්පයකට අනුව පාසල් තෙමහල් ගොඩනැගිලි කිහිපයක් විවිධ විද්‍යාවලට මේ වන විට උන්වහන්සේ විසින් ඉදිකරවා දී ඇත.

ඒ අතර වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා ඉකුත් ලෝක ළමා දිනය යෙදුනු දා උන්වහන්සේ මුල්ගල තැබූහ. තිහාරිය අල් අස්හාර් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා ඉකුත් 6 වනදා මුල්ගල තබන ලදී. හින්දු ආගමික පාසල් දරුවන් වෙනුවෙන්ද එවන් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවීමටද උන්වහන්සේගේ අපේක්ෂාවයි.

ආනන්ද නාහිමියන් වෙත විදේශීය හිතමිතුරන්ගෙන් ලැබෙන පරිත්‍යාග මෙසේ මහ මෙහෙවරක යොදනු ලැබේ.

අපේ රටේ පූජනීය මහ සඟරුවන ආදර්ශවත් මෙහෙවරක නිරත වන අතර ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන් විසින් සිදුකරන සුවිසල් මෙහෙවරෙන් බිඳක් මෙසේ සටහන් කරමු.

අත්තනගල්ල රජ මහා විහාරය, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරය ඇතුළු විහාරස්ථානයන්හි අධිපති ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරයේ ප්‍රධාන ලේඛකාධිකාරි අත්තනගල්ල පතිරාජ පරිවේනාධ්‍යක්ෂ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝ නායක උපාධ්‍යාය ධුරන්දර ආචාර්ය පන්නිල ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාම ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරට විහාරාරම වෙත, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, මහජන මෙහෙවරට මේ වන විට කළ සුවිශේෂ මෙහෙවර අපරිමිතය.

අත්තනගල්ල රජ මහා විහාරයේ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් රුපියල් කෝටි හතරක වියදමෙන් අංග සම්පූර්ණ තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් උන්වහන්සේ විසින් ඉදිකරවූහ.

අත්තනගල්ල පතිරාජ පිරිවෙන නැවත පිහිටුවා සම්බුදු සසුනේ චිර ජීවනය පිණිස ගුණ නැණින් යුතු භික්ෂූන් වහන්සේ බිහි කිරීමේ අරමුණින් සාමණේර භික්ෂූන් වහන්සේ පුහුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 300 ක පමණ වියදමෙන් අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් හා ලක්ෂ 400 ක වියදමෙන් විශාල දාන ශාලාව, මුළුතැන් ගෙය, භාවනා ශාලාව ඇතුළුව තෙමහල් ගොඩනැගිල්ල ක් ද ඉදිකරවූහ.

අත්තනගල්ල රජ මහා විහාරස්ථානයේ සිල් සමාදන්වන උපාසක උපාසිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් දෙකෝටියක වියදමෙන් සුවිශාල දෙමහල් ධර්ම ශාලාවක් තැනවූහ.

අත්තනගල්ල රජ මහා විහාරයේ දෙමහල් මහජන පුස්තකාලය රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඉදිකරවා පෞද්ගලික මුදලින් මාස්පතා සේවය කරන්නන් වෙත වැටුප් ගෙවමින් පවත්වා ගෙන යනු ලැබේ.

අත්තනගල්ල රජ මහා විහාරයේ නව විහාරාංග රැසක් ඉදිකරවා සසුනට පූජාකළ අතර ප්‍රදේශයේ ඉගෙනුමට දක්ෂ ආර්ථික අපහසුතා ඇති සිසුන් පන්සියයකට අධික පිරිසකට මාස්පතා ශිෂ්‍යාධාර සඳහා රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් දැනටද වැය කරනු ලැබේ.

අවට විහාරස්ථාන වන හග්ගල්ල ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයට රුපියල් ලක්ෂ 330 ක වියදමෙන් සංඝාවාසයක් සහ චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් ඉදිකරවූහ. වල්ගම්මුල්ල ශ්‍රී බෝධි නන්දනාරාමයේ බුදු මැදුර සහ මාඉඹුල්කන්ද පුරාණ ගල්ලෙන් විහාරයේ සංඝාවාසය තැනීමට ආධාර පිරිනැමීම. යටියන ශ්‍රී ජයවර්ධනාරාමයේ දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකරවාදීම, කඹුරාගල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාංග සඳහා ආධාර පිරිනැමීම, ප්‍රදේශයේ විහාරස්ථාන සඳහා ත්‍රිපිටක පොත් කට්ටල පිරිනැමීම ප්‍රදේශයේ පිරිවෙන් අටකට රු. 480000 වියදමින් පරිගණක යන්ත්‍ර ලබාදීම ආදිය උන්වහන්සේ කළ පරිත්‍යාග අතර කීපයක් වේ.

රෝහල් සංවර්ධන පදනමේ සභාපතින් වහන්සේ ලෙස වතුපිටිවල ජේ.පී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ දරු වාට්ටුව රුපියල් ලක්ෂ 250 ක වියදමෙන් ඉදිකරවාදීමත්, භික්ෂූන් වහන්සේලා උදෙසා රුපියල් ලක්ෂ 32 ක් වැයකර සියලු පහසුකම්වලින් යුත් භික්ෂු වාට්ටුවක් ඉදිකරදීම සහ දස සිල් මාතාවන් සඳහාද වාට්ටුවක් ඉදිකරදීමත් සෙම පටල පරික්ෂාව සඳහා විද්‍යාගාරයක් ඉදිකරවීම ආදි මෙහෙවර රැසක් සිදු කර ඇත.

සුනාමි උවදුරෙන් පසු නිවාස 336 ක් පමණ හික්කඩුවේ තෙල්වත්ත, පැරෑලිය , දළුවතුමුල්ල, හම්බන්තොට , රිදීගම ආදි ප්‍රදේශවල ඉදි කරවා ඇත.

දළුවතුමුල්ලේ දෙමහල් සංඝාවාසය හා බුද්ධ මන්දිරය සහ හික්කඩුව සුමංගල විදුහලේ බුදුමැදුර ඉදිකරවීම සහ ගොඩගම හා තෙල්වත්ත විහාරස්ථාන දෙක සංවර්ධනය හා ළදරු පාසල් දෙකක්ද ආරම්භ කරන ලදී. අම්පාර කල්මුණේ සුනාමියට ලක්වූ ප්‍රදේශයේ ළදරු පාසලක් ඉදිකරවීමද උන්වහන්සේගේ සේවා අතර වේ.

අනුරාධපුර විහාර පාළුගම මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ හයක වියදමෙන් බුදුමැදුර ඉදිකරවාදීම සිදු කළ පන්නිල ආනන්ද නාහිමියෝ විද්‍යාල කීපයකට තෙමහල් පාසල් ගොඩනැගිලි ඉදිකරවා දීමට කැපවූහ.

ඒ අතර උඩුගහ වල්පොල කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ එකසිය අසූවක වියදමෙන් තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවූහ.

ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයටද රුපියල් ලක්ෂ එකසිය අනූවක වියදමින් එවැනිම තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් පිරිනැමූහ.

මහනුවර නියන්ගොඩ ධර්මාලෝක පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක වියදමින් දෙමහල් භික්ෂු නේවාසිකාගාරයක් ඉදිකරවා පිරිනැමූහ.

ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන් අධ්‍යාපනය ලැබූ කඹුරාගල්ල මහා විද්‍යාලයට (වර්තමානයේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි විද්‍යාලය ) තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවමින් පවතී.

කිරිඳිවැල සංඝමිත්තා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල ද දැනට ඉදිවෙමින් පවතී.අලවල මහා විද්‍යාලයීය ගොඩනැගිල්ලද ඉදිකරමින් ඇත.

වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේද තෙමහල් ගොඩනැගිල්ලක් විද්‍යා, ගණිත, හා තාක්ෂණවේදී සිසුන් සඳහා ඉදිකරවීමට ලෝක ළමා දිනය යෙදුණු ඉකුත් පළමු වනදා උන්වහන්සේ විසින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.

උන්වහන්සේ සිදුකරන මෙහෙවර රටේ ජාතික ආගමික සංහිඳියාව සඳහා නිර්ලෝභීව කෙරෙන පරිත්‍යාග යැයිද සමාජ මෙහෙවරෙහි යෙදෙනවිට මල් මෙන්ම ගල්ද එන බවත් ඒ සියල්ලම උපෙක්ෂාවෙන් මුහුණ දෙන බවද උන්වහන්සේ පැවැසූහ.

   
   
   
 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]