UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වී වදාළ නා උයනේ අරියධම්ම අනු නා හිමි

ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්:

අපවත්වී වදාළ නා උයනේ අරියධම්ම අනු නා හිමි

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටක වාගීශ්වර නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ව්‍යක්ත විශාරද ධර්මානුධර්මපටිපන්න සංඝසෝභන ගුණයන්ගෙන් පිරිපුන් සිල්වත්, ගුණවත් ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමක් වූහ.

කුරුණෑගල ඉමිහාමින්නේගම දිසානායක මුදියන්සේලාගේ කලුබණ්ඩා උපාසකතුමා ගේ සහ මානිංගමුවේගෙදර පුංචි මැණිකා මහෝපාසිකාව උන්වහන්සේගේ දයාබර මව්පිය දෙපළ වූහ. සහෝදර සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ හතරවැනියා ලෙස 1939 අප්‍රේල් 24 වනදා උපන් කුමරු ‘දිසානායක මුදියන්සේලාගේ හීන්බණ්ඩා’ නම්විය.

එම කුමරුවා නිලගම ප්‍රථම පාඨශාලාවෙන් අටේ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූ අතර පැවිදිවීමේ අදිටනින් ධර්ම ශාස්ත්‍රය හැදැරූහ.

1954 දී අරඹන ලද නාඋයන ආරණ්‍ය නිසාත් වයස අවුරුදු 14වන විට මාතර ශ්‍රී ඤාණාරාම මාහිමියන් සහ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මා හිමියන් දැන හඳුනාගන්නට ලැබීමත් නිසා තව තවත් පැවිද්දට හිත යොමු වුයේ ය.

1956 බුද්ධ ජයන්ති වසරේ දී ඔක්තෝබර් 27 වන දා ස්වකීය පියාණන් සමඟ නාඋයන ආරණ්‍ය වෙත ගොස් එහි වැඩ සිටි විගොඩ බෝධිරක්ඛිත හිමියන් වෙත බාර වී දස සිල් සමාදන් වූහ. 1957 මාර්තු 02 වන දා ගල්දූව ආරණ්‍ය වෙත ගොස් එහි දී මූලික වත් පිළිවෙත් සපුරා 1957 මාර්තු 27 වන දා මාතර ශ්‍රී ඤාණාරාම මා හිමියන්ගේ හා කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මා හිමියන්ගේ සුරතින් පැවිදිබිමට පත්විය. ඒ නාඋයනේ අරියධම්ම හිමි නාමයෙනි.

නාථගන ආරණ්‍ය සේනාසනාධිපති ගැටමාන්නේ විමලවංස මා හිමියන් යටතේ සාමණේර අවධියේ දී අධ්‍යාපනය ලැබූහ.

නිමලව ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මඩවල ධම්මතිලක මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ඤාණරාම මා හිමි, පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මා හිමි, ගැටමාන්නේ විමලවංස මා හිමි, මූනගම සිරිසුමන මා හිමි සහ දේවගොඩ මංගලසිරි මා හිමි යන කර්මාචාර්යන් වහන්සේලා ප්‍රධාන මහ සඟරුවන වෙතින් 1959 ජූලි 15 වනදා උපසම්පදාවට පත්වූහ.

ගැටමාන්නේ විමලවංස හිමියන් වෙතින් විනය පිටකය අටුවාව සහිතව හැදැරූ අතර 1961 දී පැවැති යෝගාශ්‍රම සංස්ථා දසවස් සැමරුමේ දී විනය පිටකයේ විභංග කොටසට ඒ වන විට දැක් වූ ස්මරණ ශක්තිය නිසා ‘විභංගාචරිය’ සම්මානයෙන් පිදුම් ලැබූහ. විනය පිටකය පාඩම් කර අවසන් කළ උන්වහන්සේ අභිධර්ම පිටකය හා සූත්‍ර පිටකයත් පාඩම් කළහ. රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් හා දෙවිනුවර ඤාණාවාස මා හිමියන් වෙතින් අභිධර්ම පිටකය මැනවින් හැදැරූහ.

1979 දී මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන කර්මස්ථන ආචාර්යයන් වහන්සේ ලෙස නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමථ විපස්සනා භාවනා පුහුණු කළ අතර දිගු කලක් පුරා රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසකත්වය ගෙන ක්‍රියා කළහ.

සූවිසි පටිඨාන ප්‍රත්‍ය නය සංග්‍රහය නම් වූ සංක්ෂේප පටිඨාන සන්නය, වීථි විභාගය සහිත පටිඨාන ත්‍රි රාශිය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ඉතිහාසය, සංක්ෂිප්ත භික්ෂූ ශීලය, සාරාණීය ධර්ම චින්තා, භාවනා, යමක වාචනා මාර්ගය, කර්මස්ථාන ප්‍රදීපය, බුදුගුණ භාවනා, දහම් ගුණ භාවනා, සඟ ගුණ භාවනා, මෛත්‍රී - අසුභ – මරණසති භාවනා, සතිපටිඨාන භාවනා, විපස්සනා භාවනාව, අභිධර්ම භාවනා, විශේෂාභිධර්ම භාවනා ආදී ග්‍රන්ථ රැසක් නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් බිහිවිය. එමෙන් ම උන්වහන්සේගේ ධර්ම දේශනා අතුරෙන් බිහි වූ ග්‍රන්ථ රාශියක් ද වේ.

මාතර ශ්‍රී ඤාණාරාම මා හිමියන් සහ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මාහිමියන් රෝගාතුරව වැඩ සිටිය දී ගුරු උවටැන නොපිරිහෙලා ඉටු කළහ.

බුරුමයට එකොළොස්වරක් පමණ වැඩම කර ඇති අරියධම්ම ස්වාමීන් වහන්සේ මහා සී භාවනා පුහුණුවෙන් විදසුන් වඩා අනතුරුව ‘සමථ පූර්වංගම විපස්සනා’ භාවනා ක්‍රමයට වැඩි කැමැත්තක් දක්වා ඌ - ආචිණ්න පා - අවුක් සයාඩෝ මා හිමියන් වෙතින් පෞරාණික විශුද්ධි මාර්ගය ඇසුරෙන් සැකසූ සමථ විපස්සනා භාවනා පුහුණුව ලැබූහ.

මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිවානය, චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවල ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් පවත්වමින් බොහෝ දෙනාගේ සිත් සතන් අමාදහමෙන් පහන් කළහ.

2006 දී බුරුම රටෙන් මහා කම්මට්ඨානාචාර්ය සම්මානයත් 2012 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් මහෝපාධ්‍යාය පදවිය සහිත ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ශාසනධජ ගෞරව නාමයන් 2014 දී ශ්‍රී ජිනවංස ඤාණාරාම වංශාවතංස ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් ද නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිදුම් ලැබූහ.

සසුනඹරට මහත් මෙහෙවරක් ඉටු කළ නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් දා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට සැප්තැම්බර් 07 වන දා අපවත්වී වදාළහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත් 12 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී තෛ‍්‍රනිකායික මහ සඟරුවනෙහි සහභාගිත්වයෙන් අතිවිශාල සැදැහැවතුන් පිරිසක් මධ්‍යයේ සිදු කැරිණ.

උන්වහන්සේට අමාමහ නිවන් සුව පතමු

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]