UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාද්දුව තල්පිටිය දළදාවත්ත මහ පෙරහර

වාද්දුව තල්පිටිය දළදාවත්ත මහ පෙරහර

පෙරහර ශ්‍රී ලාංකික සංස්කෘතියට බද්ධ වූ සංස්කෘතික අංගයකි. අනුරාධපුර නගරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමේදී රාජ්‍යයේ මහා රජුගේ සහභාගිත්වයෙන් මහා පෙරහරක් පැවැත් වූ බව මහාවංසයේ සඳහන්ය. ශ්‍රී දළදා පූජෝත්සවය සඳහා ක්‍රි.ව. 5 සියවසේ දී පැවති පෙරහර පිළිබඳ චීන දේශාටක පාහියන් හිමියෝ සඳහන් කරති. පෙරහර මතුනොව සැරසිලි ජාතක කතා චිත්‍ර නිදොපිත තොරණ, උත්සව ශ්‍රීයෙන් යුත් පරිසරය එම වාර්තාවේ දැක්වෙයි.

වාද්දුව තල්පිටිය දළදාවත්ත මහා පෙරහර අඛණ්ඩව පැවත්වෙයි. 81 වන වාර්ෂික පෙරහර සැප්තැම්බර් මස 03 දින වීථි සංචාරය කෙරේ. එය හුදු පෙරහරක් පමණක් නොව දළදාවත්ත මහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් වාද්දූව තල්පිටිය ප්‍රදේශය පුරා පැවැත්වෙන මහා සංස්කෘතික මංගල්‍යයකි. වාද්දුව පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයේ පන්සල් 55 පමණ ඇත. අප කුඩා කාලයේ දළදාවත්ත විහාරස්ථානය වටා වන විශාල සංස්කෘතික මහෝත්සවයක් වැනි උත්සවයක් අනෙක් කිසි විහාරස්ථානයක නොවීය.

දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වූ අවස්ථාවේ පටන් අනුරාධපුර රාජ්‍ය සමයේ සිට නුවර යුගය දක්වා රාජ්‍යය සාමකාමී කාලවල මහා පෙරහර පැවැත්විණි. රාජ්‍ය අර්බුද සමයේ පෙරහර නැවතිණි. අර්බුද ඇති කළ ආක්‍රමණිකයන් බෞද්ධයන් වූ කාලවල වුව පෙරහර හා පූජා පැවැත්විණි. සමහරු දළදාව පැහැර ගත්තේ පූජනීය වස්තුවක් ලෙස තමන් සන්තක කර ගැනීමටයි. එම අවස්ථාවල මහා සංඝයා වහන්සේ උතුම් දළදාව සඟවමින් රැක ගත්හ.

කෙසේ වුව කෝට්ටේ යුගයේ ලංකාවට පැමිණි පෘතුගිසි ආක්‍රමණිකයෝ තරම් ශ්‍රී ලාංකික සංස්කෘතිය කාබාසිනියා කළ වෙනත් පිරිසක් නොවූහ. කැලණි මහ වෙහෙර ඇතුළු මුහුදු බඩ ආශි‍්‍රත සියලු විහාරස්ථාන විනාශ කර දැමූ ඔවුනට අවශ්‍ය වූයේ දළදාව විනාශ කර දැමීමයි. කෝට්ටේ ජයවර්ධනපුර රාජධානියේ පහළ වූ දොන් ජුවන් ධර්මපාල හරහා රාජ්‍යයේ නෛතික බලය ලත් පෘතුගීසීහු රාජ්‍ය සංකේතය වූ දළදාව විනාශ කිරීමට සැළසුම් කළේ ය. එය ක්‍රියාත්මක වීමට පැය විසි හතරකට පෙර දළදාවේ භාරකාර හිරිපිටියේ දියවඩන නිලමේතුමා දළදාව බේරා ගත්තේ ය. ‘කෝට්ටේ කලාලේ දත මැද ගනින් රාලේ’ යැයි (කෝට්ටේ) ඇති ආලයෙන් පලක් නැත. දළදා වහන්සේ ගෙන උඩරටට පළා යවාලත් නිවේදනයෙන් කිඹුලන් පිරුණු දියවන්නා ඔයට දළදාව ගෙන පැන පීනු හිරිපිටියේ නිලමේතුමා ජීවිත පරිත්‍යාගයෙන් දළදාව රැක ගත්තේ ය. පරසතුරු ඔත්තුකරුවන්ගෙන් සීතාවකට යන ගමනේදී දළදාව සඟවා තැබුවේ දළදාවත්තේ නා ගසක බෙනයකයි. එදා දළදා පහන් පූජාවට තෙල් සැපයූ තෙල් පිටියේ පිහිටි එම භූමිය පසු කලෙක බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ සංඝරාජ භික්ෂු පරම්පරාවේ මල්වතු පාර්ශ්ව භික්ෂු සංඝයා විසින් දළදාවත්ත මහා විහාරය බවට පත් කළහ. බෙහෙතකට වත් තල් ගසක් සෙවීම අසීරු තෙල්පිටිය ජන ව්‍යවහාරයෙන් තල්පිටිය බවට පත්විය. එයින්ම දළදාවත්ත විහාරස්ථානය පූජනීයත්වයට පත් විය.

මූලාශ්‍ර සංරක්ෂණය කරමින් මෙම ඓතිහාසික පරිසරය රකිමින් ශිලා ලේඛන හා මුද්‍රිත ලේඛන සකසමින් වර්තමාන දළදාවත්ත මහා විහාරාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ සංරක්ෂණ ක්‍රියාවලිය ප්‍රසංසනීය වෙයි.

දළදා පෙරහර පිළිබඳ මගේ මතකය 1953 පමණ කාලයේ සිට විය යුතු ය. අපේ මෑණියන් සමඟ අපි සති පිරිත් කාලයේ සවස මහා පිරිත් ශ්‍රවණයට ගියෙමු. ඒ 1953 පමණ කාලයේයි. ගුත්තිල කාව්‍යයේ දැක්වෙන උදේනි පුර වැනුම වැනි පරිසරයකි. එහෙත් පුරා අවන්හල් හා සුරාමතින් නටන්නෝ නැත. නයි පෙන හැඩය ගත් බැලුම් බෝලයක් හිස දවටා ගැනීම මාගේ අභිරුචිය විය. උක්ගස් ගස්පිටින් කපා හේත්තු කළ විවිධ රස කැවිලි රකිණු, සෙල්ලම් බඩු සහිත කුඩා කඩ සිය ගණනක් පන්සල අවට වූ බවයි. මාගේ මතකය, අන්නාසි කෑල්ලක් ශත තුනක් පමණ මිල අධිකය. වෙළෙඳාම් සැර බැවින් බඩු මිල ද සැරය. සැතපුම් දෙකකට වැඩි දුරක් පාගමනේ එන අපට ගමන් වියදම් වැය නොවීය. බස් හෝ වාහන හෝ මේ මග නොවීය. එසේ වූවා නම් යාමට හා ඒමට බසයට එක් අයකුට ශත පහක් වත් වියදම් කරන්නට සිදුවේ. අද මෙන් වාහන බහුල නොවූනිසා ම උත්සව සමයේ දිනපතා දහස් ගණනක් ජනතාව දළදාවත්තේ ගැවසුනහ.

එකල පෙරහර යන ගාලු පාර, මොරොන්තුඩුව පාර යන ප්‍රධාන පාරවල් තාර දමා තිබුණි. එම පාරවලට වැටී තිබුණු පාර වල් බොරලු පාරවල්ය. ප්‍රධාන පාරවල තැනින් තැන විදුලි පහන් විය. අප පෙරහර නැරඹූ මොරොන්තුඩුව පාරේ ලයිසක්කාගේ කෝපි කඩය ළඟ ද පාර මැදට එළිය දෙන විදුලි බුබුලක් විය. පෙරහර බැලීමට එම තුම්මංහන්දියේ විශාල පිරිසක් විය. නැට්ටුවන් වැඩියෙන් නටන්නේ හන්දි වළලු. මේ අලංකාර පෙරහර හා සංස්කෘතික ආගමික උත්සවය තරම් සිත් ඇද ගන්නා කිසිදු උත්සවයක් එකල වාද්දුවේ හෝ අවට හෝ නොවීය.

පෙරහරට පෙර අප නොකඩවා මහා රාත්‍රියේ දොරකඩ අස්න ඇසීමට පා ගමනින් යන්නෙමු. වාද්දුව මිනී පිට්ටනිය හරහා යා යුතු මේ ගමනට චිත්ත ධෛර්යය ලැබුණේ විශාල පිරිසක් හුලු අතු ගෙන ගිය බැවිනි. අද මෙන් විදුලි ගස් නොවීය. සැදැහැවත්තු පෙරහරට ගමන් කරන පාර දෙපස පහන් වැට තනා තිබුණි. අද මෙන් ෂඩ්වර්ණ වූ පාලම් කොඩි නොවීය. එහෙත් බෞද්ධ කොඩි වැල් වලින් පාර සරසා තිබුණි. මාගේ මතකයට අනුව පෙරහරේ නැටුම් වලින් සියයට අසූවක් තල්පිටිය, වාද්දුව මඩවිල්ගොඩ ආදී ප්‍රදේශවල නැටුම් කණ්ඩායම් නොමිලයේ කළ රංගනය උඩැක්කි, ලී කෙළි, බාලිකා මල් නැටුම් ආදිය පාසල් වලින් සැපයිණි. එය මා හොඳින්ම දන්නේ එකල වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ 6 වසර උගෙනුම ලැබූ දැනට ජීවතුන් අතර නැති මාගේ සහෝදරයා නැටුම් ආචාර්ය ප්‍රේමදාස මහතාගේ උඩැක්කි කණ්ඩායමේ නැටූ බැවිනි. පෙරහර බලන අප දෙස ඔහු හොරහින් බලන ආකාරයත් ඔහු ගැන අපේ අම්මාගේ උද්දාමයත් මට සිහිවේ. අපේ ගමේ බුදු පෙරහර සාදු සාදු සාදු යැයි හඬ නගමින් ගමන් කරන මල් රැගත් උපාසිකාවන් හා උපාසකයන් හැර පෙරහර පිටුපස බහුරු කෝළම් නොවීය. ආයුධ ගත් විශාල පොලිස් බල ඇණි නොවීය. සැතපුම් පහක් පමණ පා ගමනින් යන මෙම පෙරහරේ දී කිසිවකුට හෘදය අමාරු ඇති නොවීය. මේ චිත්තා කර්ෂණීය වාද්දුවේ දළදා පෙරහරයි. එහි 81 වන වාරය 2016 සැප්තැම්බර් මස 03 දින වීථිසංචාරය කෙරේ. අපේ ගමේ බුදු පෙරහර සාදු සාදු සාදු.....!

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]