UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ආචාර්ය ගොඩගම මංගල නා හිමි

මහනුවර අස්ගිරිය මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයාධිපති, අස්ගිරිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව විසින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරාධිපති පදවියට පත්කර ඇත.

අස්ගිරිය මහා විහාරපාර්ශ්වයේ මහානායක පදවිය දරමින් විශාල ශාසනික, ආගමික, ජාතික මෙහෙවරක් ඉටුකළ අපවත්වී වදාළ පලීපාන ශ්‍රී චන්දානන්ද මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් ලෙස 1971 දී අස්ගිරිය මහා විහාරයේදී පැවිදි දිවියට පත්ව 1978 දී උපසම්පදාව ලබා මහනුවර සංඝරාජ, සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමයේ ශ්‍රී ඤාණේශ්වරයන පිරිවෙන් වලින් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධිය ද දර්ශන විශාරද උපාධියද ලැබූහ. ආචාර්ය ගොඩගම මංගල හිමියෝ 1983 දී අස්ගිරිය මහා විහාරයීය කාරක සභික මහා සංඝ සභාවේ කාරක පදවියට පත්ව වර්ෂ පහළොවක් නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරයටද පත්ව අස්ගිරිය මහා විහාරයීය මහා සංඝයා වහන්සේලා සම්බන්ධව ප්‍රාදේශීය මට්ටමෙන් මතුවූ ජාතික, ආගමික, ප්‍රශ්න, ගැටලු, අර්බුදයන්හි ඒවා නිරාකරණය කිරීමෙහි තීක්ෂණ දැනුමක් ඇතිව, පලීපාන චන්දානන්ද මාහිමිපාණන්ගේ ශාසනික කටයුතු සම්බන්ධ ලිපි ලේඛන සකස් කිරීමෙහිලා දායක වූහ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය වෙනුවෙන් මුලින්ම මංගල හිමියෝ සම්බන්ධ වූයේ මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ උප ගුරුවරයෙකු වශයෙන් පත්වීමෙනි. පාසල් අධ්‍යාපනයේ විශිෂ්ටතා දැක්වූ ගොඩගම මංගල හිමියෝ කෙටි කාලයකදී වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති පදවියට පත්විය. මංගල හිමියෝ, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය පදවියට පත්ව වසර තුනක් විශ්ව විද්‍යාලයේ උසස් ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළහ. අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්ම මට්ටමක බෞද්ධ විද්‍යාලයක් ලෙස විවිධ විෂයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල දක්වා ඇති 180 ක පමණ ආචාර්ය මණ්ඩලයක් ද සමඟ තුන්දහසක පමණ ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය ලබන ශ්‍රී චන්ද්‍රනන්ද බෞද්ධ විද්‍යාලය ආචාර්ය ගොඩගම මංගල හිමියෝ ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් දායාද කළ බෞද්ධ අධ්‍යාපන පීඨයකි.

ආචාර්ය මංගල හිමියෝ ජාත්‍යන්තර වශයෙන් තායිලන්තය, චීනය, ජපානය, කොරියාව, වියට්නාමය, තායිවානය වැනි රටවල ථෙරවාදී බුදුදහමේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන ගණනාවකටම සම්බන්ධව කටයුතු කර ඇත. තායිලන්තයේ මහාචූලා ලංකෝන් රාජ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ රාජ්‍ය කටයුතුවලට සම්බන්ධව ප්‍රගතිය සඳහා අවශ්‍ය සාකච්ඡාවලට සහභාගි වෙති. මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි පවතින ශාසනික හා පොදු ආගමික සේවාවන් සම්බන්ධව කටයුතු කරන මංගල හිමියෝ ශ්‍රී දළදා සමිඳු තේවාව බාරව අවස්ථා කිහිපයකදීම නිරතව විශේෂයෙන්ම ශ්‍රී දළදා සමිඳු මුල්කරගෙන විවිධ පර්යේෂණ මත ශාස්ත්‍රීය ග්‍රන්ථ, ශාස්ත්‍රීය ලේඛන විශේෂාංග රාශියක් සංස්කරණය කර බොදු සාහිත්‍ය කෙතට දායාද කර ඇත. යටිහල රාජමහාවිහාරය දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරය, අස්ගිරිය මුල්ලේගම පන්සල යන විහාරවල අධිපති වශයෙන් ද නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අනුශාසක ලෙස ද කටයුතු කරති.

ඓතිහාසික රංගිරි දඹුලු රජ මහා විහාරාධිපති නායක පදවියෙන් පිදුම් ලැබූ ආචාර්ය ගොඩගම මංගල නාහිමිපාණන්ට සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් ශාසනික, ආගමික, බෞද්ධ අධ්‍යාපනික හා සංස්කෘතික අතින් තව තවත් සේවාවක් ඉටුකිරීමට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආසිරිවාදය ලැබේයයි ප්‍රාර්ථනා කරමු.


පැළෑණේ සුවිනීත හිමි

අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් ශ්‍රී ලංකේය සම්බුද්ධ සාසනයේ උන්නතිය සඳහා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය ද 1981 දී මාතර සිරිවජිරඤාණ ධර්මායතනය ද පිහිටුවා ගනු ලැබීය. ආරම්භයේ සිටම මෙම ආයතනය මගින් ආගමික, සාසනික, ජාතික අධ්‍යාපනික වශයෙන් ඉටුකරනු ලබන්නේ අග්‍රගණ්‍ය සේවාවකි.

මාතර, මැද්දවත්තේ සිරි වජිරඤාණ ධර්මායතනයේ වර්තමානයේ විහාරාධිකාරි තනතුර දරන්නේ ශාස්ත්‍රති, පණ්ඩිත පැළෑණේ සුවිනීත මා හිමියන්ය.

උන්වහන්සේ 1954 සැප්තැම්බර් 02 දින වැලිගම, පැළෑණ ගම්පියසේදී ජන්ම ලාභය ලැබූහ. එන්.එච්.පී. ආරියදාස මුදලාලි මහතා පියාණන් වූ අතර එන්.එච්. ඩබ්ලිව්. ජස්ලින් නෝනා මහත්මිය මෑණියෝ වූහ.

ළමා කාලයේ සේනක සමිත නමින් හැඳින්වූ මෙම කුමරුවෝ මූලික පාසල් අධ්‍යාපනය පැළෑණ සිරි වජිරඤාණ මහා විද්‍යාලයෙන් ලැබූහ. අනතුරුව ඉගෙනුම් කටයුතු කළේ වැලිගම ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයෙනි.

කුඩා කාලයේ සිටම මනා ශික්ෂණයකින් හා ගුණනුවණින් පිරුණු මෙම කුමරුවෝ පාසල් අධ්‍යාපනය ලබන කාලයේම,අවුරුදු 11 දී මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී 1965 අපේ‍්‍රල් 02 දින අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානා හිමිපාණන් වහන්සේගේ හා අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමි පාණන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැළෑණේ සුවිනීත හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ නේවාසිකව වැඩ වෙසෙමින් පැළෑණේ සුවිනීත සාමණේර හිමියෝ උගත යුතු මූලික බණ දහම් හා වත් පිළිවෙත් මැනවින් ප්‍රගුණ කළහ. එසේම ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපන කටයුතු වල ඉතා උද්‍යෝගීව නිරත වූහ. ඉගෙනුම් කටයුතුවලදී සුවිශේෂී දස්කම් දැක්වු පැළෑණේ සුවිනීත සාමණේර හිමියෝ 1971-1978 කාලසීමාව තුළදී ප්‍ර,ප්‍රථම, මධ්‍යම, හා අවසාන විභාග වලින් සමත්වී පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ අතර ත්‍රිපිටකාචාර්ය විභාගයෙන්ද සාමාර්ථය ලැබූහ.

පැළෑණේ සුවිනීත සාමණේර, හිමියන් උපසම්පදාව ලැබුවේ 1974 මැයි 25 වැනි දින පැළෑණේ ගංගාරාමයේ උදකුක්ඛේප සීමා මාලකයේදීය.

පණ්ඩිත උපාධිය සමත්වීමෙන් පසු පැළෑණේ සුවිනීත හිමියෝ 1978 සිට 1982 දක්වා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ගුරුවරයකු ලෙසවිශේෂ මෙහෙයක් ඉටුකළහ. එසේ ගුරු සේවාවේ නිරත වී සිටින අතර තුරේම තම ගුරුදේව මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන්ගේ උපදෙස් පරිදි 1984 ජුනි මාසයේ මාතර මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතන තනතුරට පත්වූ පැළෑණේ සුවිනීත හිමියෝ මේ දක්වාම ආගමික, ශාසනික, අධ්‍යාපනික වශයෙන් අත්‍යුදාර අතිවිශිෂ්ඨ සේවාවක් ඉටු කරති.

1985 දී පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් අතර 1990 දී ශාස්ත්‍රපති උපාධි ද ලැබූහ.

මැද්දවත්ත ධර්මායතනයේ සේවය කරන කාලවකවානුවේ ක්‍රියාත්මක කළ උත්තුංග මෙහෙවරක් වන්නේ 1991 දී සිරි වජිරඤාණ ධර්මායතන දහම් පාසල ආරම්භ කිරීමය. ඒ මගින් දරුවන් දහස් ගණනකට ධර්මඤාණය ලබා ගැනීමට මග හෙළිවිය.

මැද්දවත්ත ධර්මායතනයේ උන්නතිය, සංවර්ධනයට අප්‍රතිහත ධෛර්යයෙන් හා නිරන්තර කැපවීමෙන් ක්‍රියාකරන සුවිනීත හිමියෝ, විහාරස්ථ සාසන සේවක සමිතියේත්, සාසන සේවිකා සමිතියේත් පූර්ණසහාය ලබා විහාරාංග රාශියක් සපුරා ලීමට සමත් වූහ.

ඒ අනුව ඉදිවූ දෙමහල් ධර්ම මන්දිරය, බුදු මැදුර, ඉතා දර්ශනීය අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරය අටවිසි බෝ මළුව, ළමා පුස්තකාලය භාවනා කුටි, ප්‍රථමාධාර ඒකකය, ඝණ්ඨාර කුළුණ, ආදිය සුවිශේෂි ස්ථානයක් ගනී. ඒ හිමියන්ගේ ශ්‍රේෂ්ඨ පරිශ්‍රමයෙන්, දූරදර්ශී ඥානයෙන් ධර්මායතන භූමියේ ඉතා අලංකාර ඔසු උයන් දෙකක් ආරම්භ කර ඇත. ඉතා දුර්ලභව ගණයේ ඖෂධීය ශාඛ රාශියක් එහි ඇති අතර ගම් වාසීන්ගේ අවශ්‍යතාවලදී එම ඖෂධීය ශාඛ මහත් පිටිවහලක් වී ඇත.

පැළෑණේ සුවිනීත හිමියෝ පොදු ආගමික සේවාවන්ද ඉටු කරති. කලක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘රුහුණූසේවයේ’ ‘අසපුව‘ වැඩ සටහනේ උපදේශක ස්වාමින් වහන්සේ නමක්ලෙස සේවය කළහ. එසේම ව්‍යක්ත දේශක හිමිපාණන් වහන්සේ නමක් ලෙසද කීර්ති නාමයක් හිමිකර ගෙන ඇත.

නිර්මාණය කර ඇති අගනා ග්‍රන්ථ අතර ධර්මවිජය ළමා අත්පොත, තෙරුවන් වැඳුම පිදුම තුන්සූත්‍රය හා තෙරුවන් ගුණ, අටවිසි බෝධි වන්දනා ගාථා, පින්පොත,ආදීය ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගනී. ශාස්ත්‍රපති, පණ්ඩිත, පැළෑණේ සුවිනීත හිමියන්ගේ ජන්ම දිනය යෙදෙන සැප්තැම්බර් 02 දින වෙනුවෙන් උන්වහන්සේ කරන ලද ආගමික සාසනික මෙහෙවර වෙනුවෙන් උපහාර වශයෙන් විශේෂ අට විසි බෝධිපූජාවක්, ධර්මදේශනයක්, විශේෂ අවශ්‍යතා ඇති මව්වරුනට වියලි ආහාර පාර්සල් බෙදාදීමක් පාසල් සිසුන් රැසකට පාසල් පොත්, උපකරණ ලබාදීමක් ඇතුළු පින්කම් මාලාවක් සැප්තැම්බර් 02 දින මැද්දවත්ත සිරිවජිරඤාණ ධර්මායතනයේදී පැවැත්වීමට දායකකාරකාදීන් සියලු සංවිධාන කටයුතු කර ඇත.


පත්බේරියේ විමලඤාණ නා හිමි

කිරුළපණ ශ්‍රී පූර්වාරාමය ඇතුලු විහාර ගණයෙහි අධිපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙහි නියෝජ්‍ය ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පත්බේරිය ශ්‍රී විමලඤාණ නාහිමිපාණන් වහන්සේගේ 67 වන ජන්ම දිනය අගෝස්තු මස 20 වැනි දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් ලේ දන්දීමේ පින්කමක්, දේශීය වෛද්‍ය සායනයක් හා ඡ්‍යොතිෂ සායනයක් සහ ආශිර්වාද බෝධිපූජා පින්කමක්, පැවැත්වීමට කිරුළපන ශී‍්‍ර පූර්වාරාම දායක මහා සභාව ඇතුලු සමිති සමාගම් කටයුතු සංවිධානය කර තිබිණි.

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]