UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අකුසලය බැහැර කර කුසලය සම්පාදනය කර ගනිමු

අකුසලය බැහැර කර කුසලය සම්පාදනය කර ගනිමු

ලොවෙහි පුද්ගලයින් නොයෙකුත් ආකාරයට වර්ගීකරණය කළහැක. ඒ ඒ අයගේ හැකියාවන්, දැනුම, තරාතිරම, රැකියාව ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් අනුව සිදුකෙරෙන වර්ගීකරණයන්ට අනුව ඒ ඒ පුද්ගලයා, ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ කුමන මට්ටමක සිටින්නේද? යන්න තීරණය කළ හැක. ඒ ඒ වර්ගීකරණයන් අතර පුද්ගලයන් ඉහළ තලයකට එසවෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ නිවැරදි භාවිතය හේතුවෙනි.

ධර්ම මාර්ගය යනු ලෞකික දියුණුව පමණක් නොව තම සංසාරික ජීවිතයම නිවැරදි කරන උතුම්ම භාවිතයයි. එම ධර්මය තමන් කොපමණකින් භාවිතා කර ඇත්ද? යන්න විමසා බැලීම, නිබඳව කළ යුත්තකි. අප මහා සර්වඥෝත්තමයාණන් වහන්සේ ධර්ම මාර්ගය භාවිතා කරන ඇත්තන්ගේ භාවිතාව අනුව කුමන මට්ටමක සිටින්නේද? යන්න දැන ගැනීම සඳහා තම අනුගාමිකයින් වර්ගීකරණයකට ලක් කළ එක් වටිනා අවස්ථාවක් අංගුත්තර නිකායේ සත්වන නිපාතයේ දෙවන පන්නාසකයේ මහා වග්ගයේ ධම්ඤ්ඤු නම් සූත්‍ර ධර්මයේ අවසන් භාගයේ සඳහන්ව ඇත. සාමාන්‍ය පුද්ගල වර්ගීකරණයන් අතර සුවිශේෂීම හා උතුම්ම වර්ගීකරණයක් ලෙස මෙම වර්ගීකරණයන් ගත යුතු වන්නේ ලොවෙහි උතුම්ම සැනසීමේ මාර්ගයේ තමන් කුමන මට්ටමක සිටිනවාද? යන්න තේරුම් ගත හැකි බැවිනි.

ඒ ඒ පුද්ගලයාගේ මානසික දියුණුව අනුව ධර්මය තුළ ක්‍රියාත්මක වන ආකාරය තීරණය වේ. එබැවින් මෙම වර්ගීකරණයට අනුව තමන්ගේ රුචිකත්වයන් සත්‍යවාදීව විමසා බැලීමෙන් තමන් ධර්මය තුළ සැබෑවටම කුමන මට්ටමකට අයත් දැයි තමන්ටම තීරණය කර ගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ මෙම පුද්ගල වර්ගීකරණය දේශනා කර ඇත්තේ පහත සඳහන් ආකාරයට ඒ ඒ කරුණින් පුද්ගලයා පැසසිය යුතු බවටත්, ගැරහිය යුතු බවටත් පත්වන බව අවධාරණය කරමිනි.

1. මූලිකව පුද්ගලයන් දෙදෙනෙකු විද්‍යාමාන වේ. ආර්යයන් දක්නට කැමති පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ආර්යයන් දක්නට අකැමැති පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.

2. ආර්යයන් දක්නට කැමති පුද්ගලයන් දෙදෙනෙකු වේ. සදහම් අසනු කැමති පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. සදහම් අසනු අකැමැති පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.

3. සදහම් අසනු කැමතිි පුද්ගලයන් දෙදෙනෙකු වේ. යොමු කළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. යොමු නොකළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.

4. යොමුකළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයන් දෙදෙනෙකු වේ. අසා එම ධර්මය ධාරණය කරන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. අසා එම ධර්මය ධාරණය නොකරන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.

5. අසා එම ධර්මය ධාරණය කරන පුද්ගලයන් දෙදෙනකු වේ. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය පිරික්සන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය නොපිරික්සන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතුවේ.

6. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය පිරික්සන පුද්ගලයන් දෙදෙනෙකු වේ. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන් පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නොපිළිපන් පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.

7. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන් පුද්ගලයන් දෙදෙනෙකු වේ. ආත්මහිත සඳහා පිළිපන් පරහිත සඳහා පිළිපන් පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ආත්මහිත සඳහා පිළිපන් පරහිත සඳහා නොපිළිපන් පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.

මෙම උතුම් බුදු වදන් තුළින් අපට අනාවරණය කර ගත හැකි කරුණු බොහොමයකි. පිළිවෙලින් මෙම අවස්ථා හත දෙස බලන විට පෙනී යන්නේ පියවරින් පියවර වඩාත් යහපත් පුද්ගලයකු වර්ගීකරණයට බඳුන් වන බවයි. හත්වන පියවරේ පළමු පුද්ගලයා, කිසිදු කරුණකින් ගැරහීමකට ලක් නොවන අතර පළමු පියවරේ දෙවැන්නා, ඉන් පහත සඳහන් සියලු කරුණුවලින්ද ගැරහීමට ලක්වන බව පැහැදිලිවේ. මන්ද යත් ආර්යයන් දැකීමට හෝ අකමැති තැනැත්තා ධර්ම ශ්‍රවණය, කන් යොමා ධර්මය ශ්‍රවණය කිරීම්, ආදී ඉන් පසු ඇති කිසිදු පියවරකට කැමති නොවන බැවිනි.

කරණීයමෙත්ත සූත්‍රයේදී නිවන් අවබෝධ කිරීම සඳහා තමන් තුළ වර්ධනය කර ගත යුතු කරුණු රාශියක් හෙළිදරව් වන අතර නිවන් දැකීම සඳහා නොකළ යුතු දෙය ලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක් කාරණාවක් පමණි. එනම් ‘න ච කුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤුපරේ උපවදෙයු්‍යං’ නුවණැත්තන් විසින් උපවාදයට ලක් කරන කිසිවක් නොකළ යුතුයි යන්නයි. ලොවෙහි පහළවූ නුවණැත්තන් අතර පරම වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. එසේනම් බුදුපියාණන් වහන්සේගේ උපවාදයට ලක්වන කිසිවක් අප විසින් නොකළ යුතුව ඇත. ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන රුචි අරුචිකම්ද, ඒ ඒ තැනැත්තන්ගේ තුළ ක්‍රියාත්මක වන කෙලෙස් තත්ත්වයන් මත රඳා පවතී. අකුසල් වැඩිවන විට සිහිය නැතිවන බැවින් සංසුන් නොවන බැවින් අඩුම තරමින් ධර්මය ශ්‍රවණය හෝ සිදු නොවන බව පැහැදිලි වේ.

මෙම වර්ගීකරණය තුළ තමන් සිටින්නේ කුමන තැනකද? යන්න ඉතා සත්‍යවාදීව තමන් තුළින්ම විමසා බලා භාග්‍යවතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වූ මට්ටමත් තමන්ගේ වර්තමාන තත්ත්වයත් සංසන්දනය කර අභිවෘද්ධියක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු ය. සියලු දේ සිදුවීමට මූලික වන්නේ පුද්ගලයකුගේ සන්තානගතව, ඒ දේ සිදුකිරීමට ඇති අවබෝධාත්මක කැමැත්ත හා එම කැමැත්තට චිත්ත අභ්‍යන්තරයෙන්ම ඇතිවන බලයයි. එම අවශ්‍යතාවයන් කිසිවක් ඉබේ ඇතිවන්නේ නැත. එම කුසලයන් තමන් තුළ වර්ධනය කර ගත යුතු වේ. ක්‍රියාත්මක භාවයට යන්නේ වර්ධනය වී ඇති ප්‍රමාණය මතයි.

කුසල් අකුසල් යනු සිතක ඇතිවන චිත්ත බලවේගයි. යම් සිද්ධියකට අනුකූලවන කුසල හා අකුසල වේගයන් දෙකක් ආසන්න කාල පරාසයන් තුළ සිතක නැඟෙන විට ක්‍රියාත්මක බවට යන්නේ වඩාත් ප්‍රබල චිත්ත වේගයයි. කුසලය පිළිබඳ නොදන්නා, නුවණ නොමැති, සමහර පුද්ගලයින්ට කුසල් නූපදින අතර නුවණැති, කුසලය පිළිබඳ දන්නා, අයට ද කුසල් ඉපදුනද විටෙක ක්‍රියාත්මක බවට නොයන අවස්ථා ඇත්තේ ඉහත සඳහන් කළ ආකාරයට එම කුසල වේගය ප්‍රබල නොවන බැවිනි. උපදින අකුසල අභිබවා ක්‍රියාත්මක වීමට නම් උපදින කුසල බලය අකුසල බලයට වඩා ප්‍රබල විය යුතු ය. ඉහත හත් වැන්නේ පළමුවන පුද්ගලයා මට්ටමට ක්‍රියාත්මක වන පුද්ගලයා බොහෝ කුසල වේගයන් සහිත පුද්ගලයකු බව ඉතා පැහැදිලිය. එතුමා ආත්ම හිතකාමී, පරහිතකාමී පමණක් නොව එම තත්ත්වයට පැමිණ ඇත්තේ ධර්මය අසා, ධාරණය කර, අර්ථයන් විමසා දැන, එම ප්‍රතිපත්තිය තුළ පවා සිටිමිනි.

කුසලය යනු අකුසල නැතහොත් ලෝභ, ද්වේෂ, මෝහ, අභිබවා යාමට පුද්ගලයකු තුළ ඇති හැකියාවයි. එම කුසල අර්ථ දැක්වීමට අනුව ඉහත කාරණාවන් පහත ආකාරයට පැහැදිලි කර ගත හැක.

1. පස්කම් සැපයට ඇති ඇලීම අභිබවා, හැරදමා, ආර්යයන් දැකීමට කැමැත්ත උපදවා ගැනීමට කුසලයක් හැකියාවක් නොමැති පුද්ගලයා.

2. කල්‍යාණ මිත්‍රයින් දැක, ආශ්‍රය කළද බණ ඇසීමට කුසලයක් ඡන්දයක් උපදවා ගත නොහැකි පුද්ගලයා.

3. බණ ඇසුවද, කන් යොමා අවධාරණයෙන් බණ ඇසීමට හැකියාවක් කුසලයක් නොමැති තැනැත්තා.

4. කන් යොමා අවධාරණයෙන් බණ ඇසුවද, ධාරණය කර ගැනීමට කුසලතාවයක් නොමැති තැනැත්තා

5. ධාරණය කර ගත්තද, අර්ථය විමසීමට හැකියාවක් නොමැති තැනැත්තා

6. අර්ථය විමසුවද, ප්‍රතිපත්තියට පැමිණීමට ශක්තියක් හැකියාවක් නොමැති පුද්ගලයා

7. ප්‍රතිපත්තියට පැමිණ ආත්ම හිතකාමී වුවද, පරහිතකාමී වීමට හැකියාවක් නොමැති තැනැත්තා

ශක්තියක්, කුසලයක්, හැකියාවක් නොමැතිවීම අකුසලයක්ම වේ. එනම් ලෝභ, ද්වේෂ, මෝහ අතහැර නිවන් දැකීමට ඇති හැකියාවේ අඩුවයි. බුදුන් වහන්සේ එක් මොහොතකට හෝ අකුසලය අනුමත කළේ නැත. හිස ගිනි ගත්තකු එම ගින්න නිවා ගැනීමට, ඇඳුමට ගිනි ගත්තකු එම ගින්න නිවීමට වෙහෙස වනවාට වැඩි වේගයකින් කුසලය සම්පාදනය කර ගත යුතු බව අවධාරණය කළහ. කුසලය අකුසලය හඳුනා ගෙන කුසල් සම්පාදනය කර ගැනීමට, කුසල් අකුසල් හඳුනාගත හැකි තවත් පැතිකඩක් මෙම ධර්ම කරුණු තුළින් පැහැදිලි වේ. මෙම කරුණු දෙස විමසිල්ලෙන් බලා තමන්ගේ තත්ත්වය නොහැකියාව ප්‍රවේශමෙන් අවබෝධ කරගත් පසු එම නොහැකියාව අභිබවායාමට තම චිත්ත ශක්තිය වර්ධනය කර ගත යුතු ය. එය නැති කුසලයන් ඇති කර ගැනීමයි. බොහෝ විට අප සිත තිබෙන කුසලයේ රැඳී සිටියත් නැති කුසල් ඇතිකර ගැනීමට උත්සාහවත් නොවෙයි. විමසිලිමත් නොවෙයි. එසේ වර්ධනය කර ගත හැක්කේ නිවැරදි මෙනෙහි කිරීම තුළිනි.

යමක් කිරීමෙන් ඇතිවන ප්‍රතිලාභයන් දැන හා එය නොකිරීමෙන් සිදුවන පාඩු දැන, එම ප්‍රතිලාභ හා පාඩු පිළිබඳ යමෙක් මෙනෙහි කරන්නේ නම් එම තැනැත්තාගේ සිත එම දෙය කිරීමට යොමු වේ. එම ක්‍රියාව කිරීමට ඇති බලය වැඩිවේ. එබැවින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සබ්බාසව සූත්‍රය ආදී සූත්‍ර ධර්මවලදී නුවණැත්තා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී, දැන මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි, යන්න දේශනා කරන්නට යෙදුණි. මෙනෙහි කළ යුතු දේ, නොකළ යුතුදේ කුමක්ද ? යන්න ධර්මය ගවේෂණය කරන්නාට පහසුවෙන් හමුවේ. නමුත් බොහෝ දෙනා මෙම ධර්මයන් මෙනෙහි කිරීම අතපසු කරයි. එබැවින් දැනගත් ධර්මයන් මෙනෙහි කිරීම ඉතා වැදගත් වේ. මෙනෙහි කිරීම යනු කට පාඩම් කිරීම නොවේ. හැඟීමක් චේතනාවක් ඇතිවන ආකාරයට විමසා බැලීමයි. එවිට එයට අදාළ කුසල හැඟීම වර්ධනය වේ.

තව දුරටත් මෙනෙහි කරන්නාට එය ක්‍රියාත්මක වන තත්ත්වයට වර්ධනය වේ.

උදාරහණයක් ලෙස ඉහත එක් පියවරක රැඳී සිටින්නකු ඊට වැඩි වර්ධනයක් ඇති කර ගැනීමට කළ යුත්ත විමසා බැලීම වඩා වැදගත් වේ. කන් යොමා අවධාරණයෙන් බණ ඇසුවද, ධාරණය කර ගැනීමට කුසලතාවයක් නොමැති තුන්වැනි පියවරේ පුද්ගලයා, බණ අසා ධාරණය කර ගැනීමේ ආනිශංසයන් හා එසේ අසා ධාරණය නොකිරීමේ නිශ්ඵල බවත් හොඳින් දැන ගත යුතු ය. නුවණැත්තන්ගෙන් හෝ අසා දැන ගත යුතු ය. එසේ දැන ගෙන පමණක් සෑහීමකට පත් නොවී දැනගත් දේ මෙනෙහිකළ යුතු ය. එනම් අසා ධාරණය නොකිරීම කිසිදු ඵලයක් නොවන බවත්, ධාරණය නොකර මනසින් දැක අවබෝධ කර ගැනීමට කිසි දිනක සිදු නොවන බවත්, කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට නොගැනීමක් බවත්, බහුශ්‍රැතයකුවීමට අවකාශ නොලැබෙන බවත්, ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයකු නොවී ධර්මය අවබෝධ කළ නොහැකි බවත්, ආදී වශයෙන් කරුණු දැන මෙනෙහි කරන්නාට එම අසන ධර්මයන් ධාරණය කර ගැනීමට සිත් උපදිනවා පමණක් නොව නැවත නැවත මෙනෙහි කිරීමෙන් ක්‍රියාත්මක බවටද පත්වෙනු ඇත. මෙසේ යම් පියවරක ඉන් ඉදිරියට යා නොහැකිව රැඳී සිටින්නවුන් වැරදි අවබෝධයක් නිසා හෝ නොදන්නාකමක් නිසා හෝ එසේ රැඳී සිටීනම් බුදුන් වහන්සේගේ උපවාදයට ලක්වන පුද්ගලයකු බවට පත් නොවී, නිවැරදි කරුණු සොයා බලා නිවැරදි මෙනෙහි කිරීම් කර තම අභිවෘද්ධිය ඇති කර ගෙන උතුම් ධර්මයේ සාන්දෘෂ්ඨික බව අත් දැකිය යුතු ය.

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]