UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු: අභයා මහරහත් තෙරණින් වහන්සේ

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු: අභයා මහරහත් තෙරණින් වහන්සේ

අනන්ත අප්‍රමාණ වූ ගුණ ආකරයක් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරටුකොට ආර්ය මහා සංඝරත්නය කකුධ භාණ්ඩයයක් සේ කේශර සිංහරාජයකු සේ වීථියෙහි වඩින ආකාරය පිළිබඳව මනා වූ පැහැදීමක් ඇති කරගත්තීය. බුදුරජාණන් වහන්සේට උපුල්මල් මිටිය පූජාකොට මනාව සිත පහදවා ගත්තාය.

පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අප පෘථග්ජන හිතක් දරාගත් නිසා ඇලී ගැලී වාසය කරන්නෙමු. බුදුපියාණන් වහන්සේ පහළ වී සුවාසු දහසක් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සේක. ඒ ශ්‍රී සදහමින් සැනසුනු ආර්ය උතුමෝ අතිමහත් වෙති.

කෙලෙස් බර සිතක් දරන කළ සසර දුක තමා වෙලාගනී. දුක්ඛිත වූ සසර දුකින් අතමිදී ආ මඟ කුදු ගිය මඟකුදු නොදන්නා වූ මහරහත් උතුමන්ගේ ගමන සුන්දරය. එවන් වූ සුන්දර භූමියට පිළිපන් අභයා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදා ගනිමු.

සිඛී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි අරුණවතී නගරයෙහි අරුත නමින් රජෙකු වූහ. එම අරුණ රජුගේ අගමෙහෙසිය වී අභය කුමරිය මහත් රජ සැප සම්පත් වින්දනය කළාය. දිනක අරුණ රජතුමා සුන්දර ලඳක වූ ඕ හට උපුල් මල් මිටියක් දුන්නේය.

“මේ තරම් අලංකාරවත් වූ ශෝභාසම්පන්න වූ උපුල්මල් මාගේ මේ ගඳගහන අසාර වූ හිසෙහි පළඳවා ගැනීමෙන් කවර ප්‍රයෝජනයක් ද? එයින් මට කිස¼ිදු අරුතක් නොවේ. මේ උපුල්මල් පිදුමට සුදුසු වන්නේ ප්‍රඥාවෙන් අගතැන්පත් වූ තථාගත බුදුරජාණන් වහන්සේට පූජාකළහොත් ඉතා අගනේය”යි සිතුවාය. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ සිහිකරමින් දොර අසල සිටියේ තථාගතයන් වහන්සේ වඩිනාතුරුය.

අනන්ත අප්‍රමාණ වූ ගුණ ආකරයක් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරටුකොට ආර්ය මහා සංඝරත්නය කකුධ භාණ්ඩයයක් සේ කේශර සිංහරාජයකු සේ වීථියෙහි වඩින ආකාරය පිළිබඳව මනා වූ පැහැදීමක් ඇති කරගත්තීය. බුදුරජාණන් වහන්සේට උපුල්මල් මිටිය පූජාකොට මනාව සිත පහදවා ගත්තාය.

ශ්‍රද්ධාවෙන් පූජා කරන ලද එම උපුල්මල් හත බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉහළින් ඡත්‍රයක් සේ පිහිටමින් අලංකාරමත් විය. එම උත්තුංග දසුන දුටු ඈ මහත්සේ ප්‍රීති ප්‍රමෝදයට පත්ව පහන් වූ සිතින් යුක්තව ඇඳිලිබැඳ නමස්කාර කළාය.

එසේ කරන ලද කුසල කර්මයේ බලයෙන් තව්තිසා දිව්‍ය බවනෙහි ඉපිද මහත් වූ සැප වින්දාය. දිව්‍ය ලෝකයෙහි දී ඇයගේ හිස මුදුනෙහි නිල්වන් වහලක් දිස්විය. එයින් දසත දිව්‍යමය සුවඳ හමායයි. දවසක නෑ සමූහයා කැඳවූ කල ඒ සියලු පිරිසද නිල්වියනක් සේ පෙනේ. කරන ලද උපුල් මල් පිදීමේ කුසලයෙන් දෙවිවරුන් හැත්තෑ දෙනෙකුගේ මෙහෙසිය වී දිව්‍ය සැප වින්දාය. සෑම අවස්ථාවකම සෑම දෙනාටම ප්‍රමුඛ වී කටයුතු කළාය. මෙලෙස අනන්ත අප්‍රමාණ වූ දිව්‍ය ලෝක සැප වින්දේ තථාගත බුදුරජාණන් වහන්සේට උපුල්මල් පිදීමේ ආනිසංස බලයෙනි.

එමෙන් ම හැටතුනක් වූ සක්විතිරජුන්ට අගමෙහෙසිය වූවාය. සියල්ලෝම ඇයගේ බසට අවනත වූවා. ඇයගේ සිතැඟි පරිදි කටයුතු කළෝය. ඇයගේ සිරුර උපුල්මල් පැහැගති. සුවඳවත් වූ සිරුරක් දැරුවාය. දුර්වර්ණවත් වූ දේහයක් කිසිදු කලෙක නොදැක්ක ඕ තොමෝ මහත් වූ සැපයන්ට උරුමකම් කීවේ සම්බුද්ධ පූජාවේ මහත් වූ ආනිසංසයෙනි.

මෙලෙස දිව්‍යලෝක සම්පත් අත්විඳ අප තථාගත බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි උදේනි නුවර එක් කුලගෙයක උපත ලබා “අභයමාතා” වගේ මිතුරියකව වාසය කළාය. අභයමාතාව පැවිදි වූ කල ඇය කෙරෙහි හටගත් සෙනෙහස නිසාම ඇය ද රජගහනුවර වාසයට ගොස් පැවිදිභාවයට පත්වූවාය. එක්දින හුදකලාවම කෙලෙසුන් මඩිනු වස් අසුභ භාවනා වැඬීමට යෝග්‍ය අරමුණක් ලබාගැනීම උදෙසා සීතවනයට පිවිසියාය.

අප තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ සුගන්ධකුටියෙහි වැඩවාසය කරන කල්හි ඇය පශ්චිමභවික තැනැත්තියක වූ නිසාවෙන් අභයාවගේ සිත කෙලෙසුන්ගෙන් මිදීමට ආසන්න බව බුදුනෙතින් දැක වදාළ සේක.

ඇය සිටිනා ස්ථානයට දීප්තිමත් ආලෝක ධාරාවක් යවා තමන් වහන්සේ එම ස්ථානයෙහි වැඩසිටින ආකාරය දක්වමින් ශරීරයේ අස්ථිර ස්වභාවය දක්වමින් මා හැඟී දහම් දෙසුමක් පැවැත්වූ සේක. එම දේශනාව මැනවින් ශ්‍රවණය කළ අභයා තෙරණිය සිතට දිරිගෙන කෙලෙස් තවන වීර්යය ඇතිව විදර්ශනා වඩා රාගාදි සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරමින් මහරහත් භාවයට පත් වූ රහත් උත්තමාවියක බවට පත්වූවාය.

භාග්‍යවත් බුදුනෙතින් දැක ඕ තොමෝ කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ අවවාදයට අභයා මහරහත් තෙරණියගේ ප්‍රීති උදානය බවට පත්විය.

“අභයෙ භිදුරොකායො
යත්ථ සත්තා පුථුජ්ජනා
නික්ඛීපිස්සාමිමං දේහං
සම්පජානා සතිමතී”

“අභයා, පුහුදුන් මිනිසුන් ඇලෙන්නා වූ මේ සිරුර බිඳෙනසුලුය. මම මේ සිරුර පිළිබඳ යථා තත්ත්වය දැක සිහිකල්පනාවෙන් යුක්තව බහාලමි.”

“බහුහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ

තණ්හක්ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං”

“බොහෝ දුක්කම්කටොළු හේතුකොටගෙන අප්‍රමාදයෙහි නියැළුණු මම තණ්හාව දුරුකිරීමට පැමිණියෙමි. බුදුරදුන්ගේ අවවාදය අනුගමනය කළෙමි.”

මෙසේ උතුම් රහත් භූමියට පත් අභයා මහරහත් තෙරණියෝ තමන් ලැබූ විමුක්ති සුවය විෂද කළ සේක. නැවත සසරෙහි ඇලීමක් ගැටීමක් නැතිව රහත් භූමියේ ස්පර්ශලාභය ලද ඇය කෙතරම් ශ්‍රේෂ්ඨද? එවන් වූ සිතක් කෙතරම් ප්‍රභාෂ්වරද?

භාග්‍යවත් බුදුසමිදාණන් පහළ නොවුණි නම් එවන් වූ උතුමන්ගේ පහළවීමක් ද නොමැත්තේය. අලංකාරවත්ව, සුන්දරව සරසන මේ කයේ අනියත බව දැන ලෝකයේ ප්‍රඥා ඇස අවදි කිරීමට අභය තෙරණියෝ සමත්වූයේ බුදුසමිඳුන්ගේ උතුම් වදනිනි.

පාරමී දම් පුරා සසරේ අතහැරීම පුරුදු කළ ඕ තොමෝ රහත් භූමිය ලබා සැනසීම පිළිබඳ සිතන සිතකට මහත් වූ ශ්‍රද්ධාවක් උපදී. උන්වහන්සේලාගේ ප්‍රසන්න වූ ඉඳුරන් ඉරියව් ශාන්තවෙති. නික්ලේෂි වෙති. එවන් වූ සිතක් ලබන්නට කෙතෙරම් වීර්යය වැඩිය යුතු වන්නේද? බුදුසමිඳුන් ජීවමානව නැති මෙවන් වූ යුගයක උන්වහන්සේගේ දහම් රසය විඳ සසරින් එතෙරවීමට අභයා තෙරණියගේ වීර්යය හා පැවැත්ම, දන්දීම අප පිහිටක් සරණක් කොට ගනිමු.

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]